Print this Article


අසමසම ගුණ මහිම: බුදුබව සහ සක්විති රජකම

බුදුබව සහ සක්විති රජකම

දෙතිසක් වූ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි උතුමෙකු ආකාර දෙකකට පවතී. එක් ආකාරයක් නම් ගිහි ගෙයි වසනවා නම් සක්විති රජ කෙනෙක් වීම ය.

ඒ සක්විති රජු සතර මහා ද්වීපය ම පාලනය කරන්නේ ය. ධාර්මික වන්නේ ය. පාලනය කරන රාජ්‍යයන් ස්ථාවර බවට පත්වන්නේ ය. ඒ රාජ්‍යය වෙනකෙකු විසින් ආක්‍රමණය කරනු ලබන්නේ යැයි බියක් නූ පදින්නේ ය. සක්විති රජ කෙනෙකුට රත්න හතක් පහළවන බව සූත්‍ර දේශනාවන්හි සඳහන් ය. එනම් චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මනු රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය හා පරිණායක යන රත්නයන් ය.

දීඝ නිකායේ දී විස්තර වන ලෙස මහා සුදර්ශන රජතුමා සක්විති රජ කෙනෙකි. දිනක් රජු, දිය නා පිරිසුදු වී උපෝසථ සීලය ආරක්ෂා කර පැන්වඩා චක්‍ර රත්නය ලැබේවායි! ප්‍රාර්ථනා කර ඇත. චක්‍ර රත්නය යනු ආයුධයකි. එහි හැඩය කරත්ත රෝදයක් වැනි ය. ඒ වටා උල් දාහකි. මේ චක්‍ර රත්නය සැම විට ම කැරකෙන්නේ ය. ඒ හඬ සතුරන් බියපත් කරයි. චක්‍ර රත්නයේ ආධාරයෙන් සක්විති රජු යම් රාජ්‍යයකට පිවිසුණේ නම් එම රාජ්‍ය පාලනය කරන රජු පැමිණ යුද්ධයකට නොපෙළඹී ඔබවහන්සේ ම මෙම රාජ්‍ය පාලනය බාර ගන්නයි ආරාධනා කරන්නේ ය. එකල්හි ඒ සක්විති රජු එම රාජ්‍ය බාරගෙන, ධාර්මිකව, නිරන්තරයෙන් පන්සිල් සමාදන්ව දස කුසලයන්හි සමාදන්ව රාජ්‍ය පාලනය කරන්න යැයි පවසා නියෝජිතයන් වශයෙන් ඒ ඒ රජවරුන්ට ම රාජ්‍යයන් කරගෙන යෑමට බාරකරයි. මේ මහා සතර දීපයට ම අයත් සියලු රාජ්‍යයන්ගේ අයිතිය සක්විති රජතුමා සතු ය. මේ චක්‍ර රත්නය අතුරුදහන් වන්නේ සක්විති රජතුමාගේ රාජ්‍ය අවසන් වූ දිනයක ය.

දෙවැනි රත්නය හස්ති රත්නයයි. හස්ති රත්නයන් ලබන්නට නම්, චක්‍ර රත්නය ලබන්නට සිල් ආරක්ෂා කරමින් කළ ප්‍රාර්ථනය ම සිදු කළ යුතුයි. මෙහි හස්තියා ඉතාමත් අලංකාර, ප්‍රියමනාප, රජතුමාගේ සිතිවිලි අනුව හීලෑ වන ඇතෙකි. “හස්තියා දැන් මා සමීපයට ආ යුතුයි රජතුමාට සිතිවිල්ලක් ඇති වූයේ නම් ඒ අනුව හස්තියා ක්‍රියාත්මක වන්නේ ය. උදේ ආහාරය ගෙන හස්තියා සමඟින් පෘථිවිය වටා ගමන් කළේ නම් දිවා ආහාරයට නැවත මාළිගයට පැමිණිය හැකි ය. එම හස්ති රත්නය එපමණ වේගවත් ය.

“අශ්ව රත්නය” ඊළඟ රත්නයයි. බොහෝ ප්‍රියමනාප ය. හිස කළුය. ශ්වේත වර්ණ සිරුරක් සහිත ය. බෙහෙවින් වර්ණවත් ය. හස්ති රත්නය සේ ම අශ්ව රත්නය ද වේගවත් ය.

සාමාන්‍ය මැණික් වර්ගවලට වඩා විශේෂ, පිරිසුදු නිල් මාණික්‍යයකි මනි රත්නය. මෙම මාණික්‍යයෙහි විශේෂත්වය නම් ලීයක රඳවා රාත්‍රී කාලයක යොදුන් දොළසක් තරම් උඩට එසවූයේ වූව ද යොදුන් විසි පහක් දුරට ආලෝකය විහිදෙන්නේ ය. ඒ ආලෝකයෙන් දවල් කාලයේ මෙන් ම ගොවියන්ට කුඹුරේ ගොවිතැන් කටයුතුවල නිරතවිය හැකි බව උදාහරණ කොට දක්වමින් මේ ආලෝකය පිළිබඳව සඳහන් කර ඇත. මේ මාණික්‍යය වගුරු බිමක හළේ නම් එහි මඩ ඉවත් වී පිරිසුදු ජලය පමණක් ඉතිරි වන්නේ ය.

පස්වැනි රත්නය ස්ත්‍රී රත්නයයි. බොහෝ උස නැති, බොහෝ මිටිත් නැති, වඩා කළුත් නැති, වඩා සුදුත් නැති, උසට ගැළපෙන මහතක්, මහතට ගැළපෙන උසක් ඇති මධ්‍යම ප්‍රමාණයේ ආරෝහ, පරිණාහ වර්ණ සම්පත්තියෙන් යුතු ස්ත්‍රියකි. එම ස්ත්‍රී රත්නයෙහි සම කපු පුළුන් සේ ය. බොහෝ සිනිඳු ය. මෙම ස්ත්‍රී රත්නය කළුවර කාමරයකට ගියේ නම් යොදුන් දොළහක් තරම් දුරට ශරීරයේ රශ්මිය විහිද යන්නේ ය. ඒ රශ්මියෙන්, කළුවර කාමරයක වූ ඉතා සියුම් දෙයක් පවා සොයා ගැනීමට හැකිවන්නේ ය. රජතුමාගේ සිතිවිලි අනුව ක්‍රියාත්මක වන මෙම ස්ත්‍රී රත්නය සුදු හඳුන් සුවඳ හමන සිරුරකින් සුවඳ වන්නී ය. සිනාසෙන කල් හි නෙළුම් මල් සුවඳ පැතිරෙන බව ද සඳහන් ය.

සය වැනි රත්නය ගෘහපති රත්නයයි. සක්විති රජතුමාට සත්රුවන් පහළ වන අවස්ථාවේ දී ම පහළ වූ රත්නයකි. ගෘහපති යනු මහා සිටුවරයෙකි. විශේෂත්වය නම් යොදුනක් තරම් දුර දකින්නට හැකි දිවැස තිබීම ය. අහසේ, පොළොවේ ඕනෑම ස්ථානයක රන්, රිදී, ධනය, මැණික්, නිධන් පවතී ද දිවැසින් බලා ඒවා රජතුමාට ගෙනත් දීමේ විශේෂ ශක්තියක් පවතී. රජතුමාට ධනය සෙවීමට මහන්සි විය යුතු නැත.

හත්වෙනි රත්නය ‘පරිණායක රත්නයයි’ සාමාන්‍යයෙන් සක්විති රජ කෙනෙකුට පුතුන් දාහක් ලැබෙන බව සඳහන් ය. බොහෝ විට ධර්මයේ සඳහන් වන්නේ පරිණායක රත්නය වැඩිමහල් පුත්‍ර රත්නය බවයි. සක්විති රජතුමාගේ ඇවෑමෙන් ඊළඟ සක්විති රජකම හා රාජ්‍ය ලබා ගන්නේ මේ පරිණායක රත්නයයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු උතුමෙක් ගිහිගෙය හැර දමා උතුම් පැවිදි දිවියට පත් වූයේ නම් ඒ උතුමන් වහන්සේ සසර පැවැත් ම සිඳලන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට ම පත්වෙති.