Print this Article


ලොවට එළියක්

ලොවට එළියක්

“අම්මා” තරම් සදාදරණීය වචනයක්, අර්ථාන්විත වචනයක් මේ මිහිපිට තවත් වේද? උසුළනු නොහැකි තරම් දුක් කඳුළු දරුවන් වෙනුවෙන් උහුලන්නට ඇය ම මිස අන් කවරෙක් නම් සමත් වන්නද?

රක්ත වර්ණ රුහිරු, ශ්වේත වර්ණ කොට ඇය සිය දරුවාට ප්‍රාණය දෙන්නී ය. එපමණකින් නොනවතී. ලෝකයේ හොඳ මිනිසුන් අතර වඩාත් හොඳ මිනිසෙක් තම දරුවාගෙන් දකින්නට ඇය සිහින මවන්නී ය. දිවා රෑ වෙහෙසෙන්නී ය. අපගේ අසමසම ශාස්තෘන් වහන්සේ ‘පුත්තා වත්ථු මනුස්සානං’ යැයි දේශනා කොට වදාළ උතුම් දහම් පණිවුඩය ඒ මව් සෙනෙහසට උතුම් අර්ථයක් එක් කරන්නේ ම ය. ‘අම්මා’, දරුවන් වෙනුවෙන් ඇයට කළ හැකි දේ විශ්මිත ය.

මුළු මහත් සමාජයක් සිය දරුවාට එරෙහිව නැගී සිටියද ජීවිතයම කැප කරමින් ඇය දරුවා රකින්නී ය. ජාතියක, ආගමක, කුලයක, බලයක, නිලයක වෙනසක් එහි නොමැත. ඒ හද පිරි සෙනෙහස කවරකට නම් උපමා කරන්න ද? මහා සයුරට ය නැත. අම්මා ගේ දරු සෙනෙහස මහා සයුරද පරදවන්නේ ය. මේ මිහි කතට ය. ඒත් නැත. මව් සෙනෙහස නම් මිහි කතට ද වඩා විසල් ය.

තෝමස් අල්වා එඩිසන් බොහෝ කලකට පෙර විදුලි බල්පය නිපදවූයේ ය. අඳුරට ආලෝකයක් දුන්නේ ය. කුඩා කල ඔහු ඉගෙනගත් පාසලේ ගුරුවරයා කුඩා ලිපියක් ඔහු අත තැබුවේ ය. අම්මා පමණක් එය කියවිය යුතු බව ඔහුට කීවේ ය. ගෙදර ගිය එඩිසන් අම්මාට ලිපිය දුන්නේ ය. “කුමක්ද එහි ලියැවී තිබෙන්නේ” එඩිසන් ඇසුවේ ය.

අම්මාගේ දෑසේ කඳුළු ය. “ඔබේ පුතා අති දක්ෂයෙක්. ඔහුට උගන්වන්නට තරම් ගුරුවරයෙක් මේ පාසලේ නෑ. කරුණාකර නිවසේ තබා ඔහුට උගන්වන්න” යි ලිපියේ ඇතැයි අම්මා කීවා ය. එදා සිට අම්මා එඩිසන්ගේ ගුරුවරිය වූවා ය. කලෙක දී එඩිසන් ගේ අම්මා මිය ගියා ය. තෝමස් අල්වා එඩිසන් ඒ ශතවර්ෂයේ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවා වූයේ ය.

දිනක් නිවසට ගිය එඩිසන්ට ට්‍රන්ක පෙට්ටියක වූ පරණ කොළ කැබැල්ලක් හමුවුණි. ඒ කලකට පෙර ඔහුගේ ගුරවරයා තම මවට දෙන ලෙස කී ලියුම ය. එඩිසන් එය කියෙව්වේ ය.

“ඔබගේ දරුවා පල් මෝඩයෙක් ය. තව දුරටත් ඔහුට මේ පාසලේ ඉගැන්විය නොහැකි ය. නිවසේ තබා උගන්වන්න” එහි ලියැවී තිබුණේ ය. එඩිසන්ගේ සිතට මහත් වේදනාවක් දැනුණේ ය.

“තෝමස් අල්වා එඩිසන් නම් අම්මා විසින් සියවසේ ශ්‍රේෂ්ඨයකු කරන ලැබූ මෝඩ දරුවෙක් ය.”

ඔහු සිය දිනපොතේ ලියා තැබුවේ ය.

ඒ මව්වරුන් ගේ සැටි ය. ලෝකයක් ඒකාලෝක කරන්නේ ඒ මව් සෙනෙහස ය.