|
|
ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ බක් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 අපේ‍්‍රල් 19 වනදා සිකුරාදා |
|||
ශ්‍රී මහා බෝධීන් වහන්සේ, පාත්‍රය පාරිභෝගික ධාතූන් වහන්සේ ලෙසින් සැලකේ. පුරාණ ජම්බුද්වීපයේ පවා බුද්ධකාලයට පසුව බුදුපිළිම නිර්මාණයට පෙර වැඳුම් පිදුම් කළේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ස්තූපය. ධර්ම චක්‍රය, ඡත්‍රය, වජ්‍රාසනය හා ත්‍රිරත්නය ආදී සංකේතවලට ය. ඒ අතරේ සිරිපතුල ද තිබුණි. මේ බව ජම්බුද්වීපයේ පුරාණතම මූර්ති කැටයම් ඇති භාරුත්, සාංචි, අමරාවතී හා නාගර්ජුණ කොණ්ඩ වැනි පුදබ්මිවල දක්නට ඇත. (භාරත – ලංකා බෞද්ධ උරුමය සිරිසමන් විජේතුංග පි. 2 - සරස්වතී ප්‍රකාශන 2006) ලංකාවේ බුදුපිළිම නිර්මාණයට පසුව ද සිරිපතුල් වන්දනය දිගටම පවත්වාගෙන එන්නට ඇතැයි සිතිය හැකි සාධක සංස්කෘතික ත්‍රිකෝණයට අයත් අභයගිරිය දාගැබේ හා අනිකුත් පුදබිම්වල පුරාවිද්‍යා කැණීම්වලින් සොයාගැනීමට හැකි වී ඇත. පුරාණ ජම්බුද්වීපයෙහි මෙන්ම, පුරාණ ශ්‍රී ලංකාවේ ද වන්දනීය වස්තුවක් ලෙසින් බුදුපිළිමය පත්වීමට පෙර ශ්‍රී පාද ලාංඡනය ශෛලමය සිරිපතුල් හා වජ්‍රාසනයට වැඳුම් පිදුම් කර ඇත. අභයගිරිය, ජේතවනාරාමය, ථූපාරාමය, මිරිසවැටිය ආදී පුදබිම්වල මෙන්ම තිස්සමහාරාමය, සිතුල්පව්ව, රජගල, දීඝවාපිය, යටාලය ඇතුළු පැරැණි පුදබිම්වල ශෛලමය සිරිපතුල් නිර්මාණ හමුවී ඇත. (වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය සිරිසමන් විජේතුංග පි. 52 දයාවංශ ජයකොඩි සහ සමාගම 2003)
කොඩ්ඩිකේනි මුලතිව්වලින් ක්‍රි.ව. 3 වැනි සියවසට අයත් ශෛලමය සිරිපතුල් නිර්මාණයක් හමු වී ඇත. මෙවැනි ශෛලමය සිරිපතුල් නිර්මාණ නාගර්ජුණකොණ්ඩ පුද බිමෙහි (දක්ෂිණ භාරතයේ ආන්ධ්‍රා ප්‍රදේශ්හි) ද දක්නට ඇත. එහි අෂ්ට මංගල ලකුණු ද දැක්වේ. අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි ලංකාවෙන් හමු වූ ශෛලමය සිරිපතුල් නිර්මාණ රැසකි. දෙපතුල් සටහන් සහිත හතරැස් ශෛලමය පුවරු රාශියක් පුරාණ පුදබිම්වලින් හමු වී ඇත. අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි මෙවන් ශෛලමය සිරිපතුල් නිර්මාණ රැසක්ම දක්නට ලැබේ. අඩි 4 ය 4 ප්‍රමාණයේ සිට අඩි 1 ය 1 ප්‍රමාණ තෙක් විවිධ ප්‍රමාණවලින් යුත් මේ ශෛලමය පුවරුවල සියල්ලක්ම පාහේ සිනිඳු සමතල මතුපිටෙහි සතර වටේ පටු ඉටි තීරුවක් හැර උත්තලව මතු කරන ලද සතරැස් රාමුව තුළ යාන්තමින් උත්තලව මතුව පෙනෙන ලෙස පතුල් දෙකක් මූර්තිමත් කොට ඇත. පටු ඉට් තීරුවකින් වට වූ රවුම් රාමුවක දෙපතුල් මූර්තිය දැක්වෙන සතරැස් ශෛලමය පුවරු ද ඉතා කලාතුරකින් දක්නට ලැබේ. සෑම දෙපතුලක් ම සමතලව නෙළා ඇත. විළුඹ පැත්ත අර්ධ කවාකාරව නෙළා ඇති අතර ඇඟිලි පැත්ත සෘජු තිරස් රේඛාවකින් මායිම්වන සේ සමදිගු ඇඟිලිවල යටි පිට මූර්තිමත් කර ඇත. ඇඟිලි පැත්ත සෘජු තිරස් රේඛාවක් සේ නෙළා ඇත. එබඳු පතුල්වල කිසිදු සැරසිලි සටහනක් නැත. එසේ වුව ද, බොහෝ සිරිපතුල්වල දක්නට ලැබෙන පොදු සැරසිලි සටහන වනාහි චක්‍ර සටහන ය. මෙම චක්‍ර සටහන ඇතැම් දෙපතුලක විළුඹ දෙකේ සටහන් කොට ඇති අතර බොහෝ සිරිපතුල්වල මැද ලකුණු කර ඇත. (රෝහණධීර ශාස්ත්‍රීය ලිපි එකතුව සංස්කාරක – පද්මසිරි කන්නන්ගර, පුරාතන ශ්‍රී ලංකාවේ ශ්‍රී පාද වන්දනාව සහ ශ්‍රී පාද ලාංඡන වන්දනාව ලිපිය. පි. 89 – 1998) විශාල පුවරුවල නිරූපිත දෙපතුල්වල සවිස්තර සැරසිලි, සටහන් රේඛාවලින් දක්වා ඇත. ඇඟිලි පහ ඉරිවලින් වෙන් කොට දක්වා ඇති අතර ඇඟිලි පුරුක් ද්විත්ව හෝ ත්‍රිත්ව රේඛාවලින් නිරූපණය කර ඇත. සමහර පතුලක කෙළවර ඇඟිලි පුරුක්වල ස්වස්තික ලකුණු බැගින් සටහන් කර ඇත. ප්‍රමාණයෙන් විශාල දෙපතුල්වල මැද ඇති චක්‍රය වටා මංගල ලක්ෂණ දක්වා ඇත. මේවා අතර, ඡත්‍ර, ශි‍්‍රවත්ස, භද්‍රපීඨ සංඛ, ධජ, වල්විදුනා, අංකුස, පූර්ණඝට, මීන යුගළ යන ලකුණු දක්නට ඇත. සමහර ශෛලමය සිරිපතුල්වල දෙපතුල් දෙක අතරේ ඡත්‍රයක සටහනක් ද නිරූපණය කර තිබේ. භාරත මූර්ති ශිල්පියා සිරිපතුල් නිර්මාණය කර තිබෙන්නේ බුද්ධ චරිතය හා සම්බන්ධ වූ අවස්ථා නිරූපණයට ය. එහෙත් අපේ පුරාණ මූර්ති ශිල්පීන් නිර්මාණය කළ ශෛලමය සිරිපතුල් හුදකලාව නිර්මාණය කර ඇත. උදාහරණයක් ලෙසින් පුරාණ භාරතයේ භාරුත්හි මූර්තියක අජාසත් රජතුමා සිරිපා සටහන් ඉදිරියේ දන ගසාගෙන නමස්කාර කරන අන්දම මූර්තිමත් කර ඇත. මෙහි බුදුරජාණන් වහන්සේ වෙනුවට එහි මූර්තිමත් කර ඇත්තේ සිරිපතුල් දෙක ය. එහි බ්‍රාහ්මී අක්ෂරයෙන් අජාසත භගවතො වන්දතෙ’ යනුවෙන් සටහන්කර ඇත. (භාරත ලංකා බෞද්ධ උරුමය - සිරිසමන් විජේතුංග පි. 3 – 4 – 2006) මේ අනුව අප රටේ ඉතා පුරාණ පුදබිමක් හඳුනා ගැනීමට ශෛලමය සිරිපතුල් නිර්මාණ උපකාරීවන බව ඉතා පැහැදිලි ය. දාගැබක සතර පැත්තේ තැබීමට ද පුරාණ කාලයේ ශෛලමය සිරිපතුල් භාවිත කර ඇති බව ද පුරාවිද්‍යා කැණීම්වලින් හෙළි වී ඇත. |
||||