Print this Article


බුදුරදුන් මහා කරුණාවෙන් නාගදීපයට වැඩම කළ සේක

බුදුරදුන් මහා කරුණාවෙන් නාගදීපයට වැඩම කළ සේක

බක් මාසය යනු බත් මාසය යි. කෘෂිකාර්මික ජීවිතයකට හුරු වූ ලක්වැසියා මහා අස්වැන්නක්, ලබා අටු කොටු පුරවා ගන්නා මාසය බක් මාසය යි. එසේ සමෘද්ධිමත් කාලයක් උදාවන විට අනෙකුත් ගස් වැල් ද පල බර වී පරිසරයේ සිත්කලු වෙනසක් ඇති වන විට ජනතාවට නිදහසේ ගත කිරීමට ගැළපෙන කාලයක් බක් මාසය තුළ උදාවෙයි. ඉතා ඈත කාලයේ පටන්ම ලක්වැසියන්ට බක් මාසය වැදගත් වූයේ මේ නිසා ය. ඒ අනුව මෙරට අලුත් අවුරුදු සමය උදාවන්නේ ද බක් මාසයේ ය.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය ලක්වැසියන්ට ලැබුණු අලුත් අවුරුදු තෑග්ගක් බඳු ය. ඒ වනවිට බුදුරදුන් බුද්ධත්වයට පත්ව පස්වන වර්ෂය ද උදාවෙමින් පැවතිණි. මහා කරුණාවෙන් ලොව දෙස බලා වදාරන බුදුරදුන් එකල ලංකාවේ වාසය කළ චූලෝදර හා මහෝදර නා රජුන් මැණික් පුටුවක් මුල්කර ගෙන යුද්ධ කිරීමට සූදානම් වන බව සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිට දිවැසින් දුටු සේක.

එසේ යුද්ධයක් හටගත්තොත් අනාගතයේ සම්බුදු සසුන පිහිටන ශ්‍රී ලංකාවේ නාග පිරිසට සිදුවිය හැකි හානිය පිළිබඳ කල්පනා කළ උන්වහන්සේ මහත් කරුණාවෙන් යුක්තව බක් මස අව පසළොස්වක පොහෝ දිනක ශ්‍රී ලංකාවට දෙවන වර වැඩම කළ සේක.

මහෝදර නා රජු ලංකාද්වීපයේ සිට මහා සමුද්‍රයේ යොදුන් පන්සියයක් දුරට බලය පතුරවා ගෙන සිටි අතර ඔහුට “ තිරවිතා” නම් නැගෙණියක් වූවා ය. කන්වඩමන් නම් පර්වතයේ විසූ නාගයෙකු සමඟ විවාහ වී සිටි ඇයට චුලෝදර නම් වූ පුත්‍රයෙක් සිටියේ ය. එකල චුලෝදර ලංකාවාසී නාගයන්ගේ ප්‍රධානියා විය. මහෝදරයෝ පියා මිය යන මොහොතේ දී තමා සන්තකව පැවති අගනා මැණික් පුටුව තිරවිකාට පැවරුවේ ය. එම වටිනා වස්තුව අත්පත් කර ගැනීමේ අරමුණින් මහෝදර හා චුලෝදර යුද්ධ කිරීම පිණිස නාගදීපයට රැස්වී කඳවුරු බැඳගත් හ.

ඊට පෙර වර්ෂයේ පොසොන් මාසයේ ශාක්‍ය, කෝලිය වංශිකයින් ජලය මුල්කර ගෙන මහා යුද්ධයක් කිරීමට සූදානම් වූ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එම ස්ථානයට වැඩමකර තම ඥාති පිරිසට අනුකම්පාකර යුද්ධයේ ආදීනව පෙන්වා වදාළේ යම් සේ ද, ඒ හා සමාන වූ මහා කරුණාවෙන් උන්වහන්සේ මේ ලංකාද්වීපයට වැඩමකර විනාශකාරී යුද්ධය වැළැක්වීමට කටයුතු කළේ බක් මස අව පුරපසළොස්වක පොහෝදා ය.

සිදුවීමට යන විනාශය දුටු බුදුරජාණන් වහන්සේ ආකාශයෙන් නාගදීපයට වැඩම කර අහසේ පලක් බැඳ වැඩසිටි සේක. බක්මහ අව පුරපසළොස්වක පොහෝදා මහා ඝනාන්ධකාරයක් මවා උන්වහන්සේ සියලු නාගයන් භීතියට පත් කළ සේක. භයින් ත්‍රස්ත වූ නාගයෝ බුදුරදුන්ගෙන් අභය ඉල්ලා බැගෑපත් වන්නට වූ හ.

සියලු දෙනා භය නිසා ත්‍රස්ත වන බවත්, ජීවිතයට ආශා කරන බවත්, ඒ නිසා යුද්ධය වනාහී නිරර්ථක ක්‍රියාවක් බවත් පැහැදිලි කළ උන්වහන්සේ යුද්ධ කිරීමෙන් ජාති ජාතිත් නොසංසිඳෙන වෛරයක් ඇතිවන නිසා වෛරය දුරු කළ යුතු බව වැඩිදුරටත් සඳහන් කළ සේක.

මෙහිදී උන්වහන්සේ ලක්වැසි නාගපිරිසට කාකෝලූක ජාතකය දේශනා කරමින් කපුටන් හා බස්සන් අතර කල්පයක් මුළුල්ලේ පවතින මහා වෛරය ඇති වූ ආකාරය විස්තර කළ සේක. ඉන් අනතුරුව ගත වූ පොසොන් මාසයේ තම ඥාති පිරිස රෝහිණී ගඟ දෙපස කඳවුරු බැඳ ගෙන එතරම් නොවටිනා ජලය වෙනුවෙන් රජවරුන්ගේ ජීවිත විනාශ කර ගන්නට උත්සාහ කළ ආකාරය පැහැදිලි කර එබඳු යුද්ධයක් වළක්වා ගැනීමෙන් සැනසීම ළඟාකර ගත හැකි ආකාරය ඵන්දන ජාතකය අනුසාරයෙන් විස්තර කළ සේක.

මෙහිදී බුදුරජාණන් වහන්සේ ලංකාවාසී නාග පිරිසට විස්තර කර දුන්නේ ඕනෑම උසස් හෝ පහත් යැයි සැලකෙන අයකුට වුවත් අස්ථානයේ වෛර බැඳ හිංසා පීඩා කළහොත් ඒ අය ද වෛර බැඳගෙන අවසානයේ පලිගන්නා බවත් එයින් මහා විනාශයක් ඇතිවන බවත් ය. ඒ නිසා කිසිදිනක කවරෙකුට හෝ වෛර බැඳගෙන හිංසා පිඩා නොකළ යුතු බව උන්වහන්සේ වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ ලංකාවේ නාගදීපයට වැඩමකළ අවස්ථාවේ දී එහි රැස්ව සිටි නාග පිරිස ඔවුනොවුන් හෙළා දකිමින්, එකිනෙකා පහත් කොට සලකමින් ඉතා අශෝභන ලෙස හැසිරුණු නිසා උන්වහන්සේ ඒ පිරිසට ලටුකික ජාතකයෙන් ද අවවාද කළ සේක. ඉතා වටිනා උපදේශයක් වූ එම ලටුකික ජාතකයේ අතීත කතාව මෙසේ ය.

අතීතයේ බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජකෙනෙකු රාජ්‍යය කරන සමයේ අප මහා බෝසතාණන් වහන්සේ අසූදහසක් ඇතුන්ට නායකව උපන් සේක. එකල එක් කැටකිරිල්ලියක් මඟ අසල ගසක කූඩුවක් තනා බිත්තර දමා එය රකිමින් සිටියා ය. දිනක් බෝසත් ඇත් රජු හා ඇත් සේනාව ඒ මඟින් යනවිට තම කුරුලු කුඩුව නොතලා යන්නයි. ඇය බෝසතු ඇතුන්ගෙ න් ඉල්ලා සිටියාය. ඒ අනුව බෝසත් ඇත් රජු කුරුලු කූඩුව නොපෑගෙන සේ මැදිකොට සිට, ඉන් අනතුරුව, “ පිටුපසින් එන ඇතා ඉතා චණ්ඩයි” හැකිනම් උගෙන් ද මේ කූඩුව බේරා ගාන්නයි “ කියා ගියේ ය. කිරිල්ලිය එම නපුරු ඇත වෙත ද බැගෑපත් වූ මුත්, පැටවුන් පාගා දමා ඊට මුත්‍රා ද කළේය. මේ නිසා ඇතා කෙරෙහි වෛර බැඳගත් කැටකිරිල්ලිය මේ කතාව කවුඩෙකුට කියා නපුරු ඇතාගේ ඇස්වලට කොට වා අන්ධ කරවා, නිලමැස්සෙකුට කියා ඇස්දෙකට ඉහඳ තැබ්බවී ය. මෙයින් අසරණ වූ නපුරු ඇතින්න ජලය සොයමින් වනයේ අතරමං වූ විට කිරිල්ලිය සම්බන්ධ කියා නාද කරවා කඳු මුදුනකට ඇතා ගෙන්වා ගෙන නැවත කඳු පාමුල සිට ගෙම්බා ලවා නාද කරවා නපුරු ඇතා කන්දෙන පහළට පෙරළා පලිගත්තාය.

බුදුරජාණන් වහන්සේ තම ඥාතීන් වන ශාක්‍ය කෝලිය වංශිකයන්ට දේශනා කළ ධර්මය ලක්වැසි නාග පිරිසට ද දේශනා කිරීමෙන් පැහැදිලි වන්නේ ලංකාවාසී ඒ අයද තම ඥාතීන් සේ සැලකූ බව ය. ඒ අනුව උන්වහන්සේ දෙසා වදාළේ කෙනෙකු පහත් කොට සලකා කටයුතු නොකළ යුතු බවය. තවද තවකෙනෙකු පිළිබඳ වැරැදි වැටහීමක් ඇති කරගෙන ඒ අනුව තළා පෙළා හෙළා කටයුතු කිරීමෙන් වෛරය ඇති වන බව ය.

මෙසේ වෛරයක් ඇති කරගන්නා පුද්ගලයා ඉතා කුඩා පහත් හෝ අසරණ අයකු වුවත් ඒ අය සිත් තුළ ඇතිකර ගන්නා වූ වෛරය කරණ කොටගෙන මහා විනාශය ඇතිවිය හැකි බැවින් එබඳු නපුරු අදහස්වලින් වැළකී මෛත්‍රිය හා කරුණාව මුල්කරගත් සැමට සමසේ සලකන පුද්ගලයන් බවට පත්වී සාමය උදාකර ගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ එදා නාගදීපයේදී ලංකාවාසී නාග පිරිසට දේශනා කළ සේක. ඒ අනුව මේ බක් මාසයේ අප ද කළ යුත්තේ බක් මස බුදුරදුන් සිරිලක දෙසූ සාමයේ දහම පිළිපැද සියලු ජාතීන් වෙත මෛත්‍රිය පතුරුවා මෙරට සුවසේ දිවි තැබීමට අවැසි ආගමික පරිසරය ගෙවීමට නිර්මාණය කර ගැනීම ය.