[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 බොදු දනට කරුණාවෙනි: සැදැහැ සිතගෙනෙයි සෙත

සැදැහැ සිත ගෙනෙයි සෙත

" අපි දෙවියන් පිළිබඳව අනුස්මරණය කරන්නේ, මම දෙවියෙක් වී තවදුරටත් බහුල වශයෙන් කාම සැප සම්පත් ලබනවා කියන අදහසට නොවෙයි. දෙවියන් ඒ දේවත්වයට පත් වූයේ ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ප්‍රඥා ගුණ වැඩීමෙන් නම්, මා තුළත් මේ ගුණ පවතිනවා ද? ඒ ගුණ නොමැතිනම් ඇති කර ගන්නවා."

උපෝසථ දිනය මුල්කරගෙන තවදුරටත් මේ කිලිටි සිත පිරිසුදු කරගන්නා ආකාරය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. විශාඛාවෙනි, මේ සසුනේ ආර්ය ශ්‍රාවකයා දෙවියන් පිළිබඳව සිහිපත් කරනවා.

චාතුම්මහාරාජික දෙවියන් පිළිබඳව සිහිපත් කරනවා. ඒ වගේ ම තාවතිංසයේ දෙවියන් පිළිබඳව සිහිපත් කරනවා. යාමයෙහි දෙවියන්, තුසිතයේ දෙවියන්, නිම්මානරතියෙහි දෙවියන්, පරනිම්මිතවසවර්තියෙහි දෙවියන් පිළිබඳව සිහිපත් කරනවා. බඹලොව වැසි දෙවියෝ වැඩ සිටිනවා. ඒ පිළිබඳව සිහිපත් කරනවා. ඉන් ඔබ්බට උපන් දෙවියෝත් සිටිනවා. ඒ දෙවියන් පිළිබඳවත් සිහිපත් කරනවා. අකනිඨාබඹලොව දක්වා ම දෙවියන්, බඹුන් පිළිබඳව සිහිපත් කොටගත හැකියි.

යම් බඳු වූ ශ්‍රද්ධාවකින් සමන්නාගත වූ ඒ දෙවියන් මෙයින් චුතව එහි උපන්නා හු නම් මට ද එබඳු ශ්‍රද්ධාවක් පවතින්නේ යැයි හැබෑවට ම ඒ ශ්‍රද්ධාව පවත්වාගෙන මෙනෙහි කළ යුතුයි. යම් බඳු වූ සීලයකින් සමන්නාගත වූ ඒ දෙවියන් මෙයින් චුත වූවා හු එම දෙව්ලොව උපන්නා හු නම් මට ද එබඳු සීලය පවතින බව වැටහේ. යම් බඳු වූ ශ්‍රැතයකින් සමන්නාගත වූ ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නා හු නම් මට ද එබඳු ශ්‍රැතයක් ඇතැයි විද්‍යමාන වේ. මෙහි දී ශ්‍රැතය යැයි සඳහන් කළේ පෘථුපඤ්ඤා වශයෙන් ධර්මය ශ්‍රවණය කොට මතකයේ තබාගෙන, ධර්මය මනසිකාරය කරමින්, සක්ඛායදිට්ඨිය බැහැර කිරීම පිණිස කටයුතු කරන ශ්‍රවණයකි. එනම් ශ්‍රවණය කරන විට හා ඊට පසුවත් ලෝභ, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයෙන් කටයුතු කිරීමයි. එය ධාරණය කරගෙන මෙනෙහි කිරීමයි. යම් බඳු වූ ත්‍යාගයකින් එනම් පරිත්‍යාගයෙන් සමන්නාගත වූ ඒ දෙවියෝ මෙයින් චුතව ඒ දෙව්ලොව ඉපදුණා නම් මට ද එබඳු චාග සම්පත්තියක් පවතින බව දැනෙනවා.

යම් බඳු වූ ප්‍රඥාවකින් සමන්නාගත වූ දෙවියන් මෙයින් චුතව එම දෙව්ලොව ඉපදුණේ නම් මට ද එබඳු ප්‍රඥාවක් විද්‍යමාන වෙනවා. තමාගේ හා දෙවියන්ගේ හා ශ්‍රද්ධාව, ශීලය, සතිය, ශ්‍රැතය, චාගය, ප්‍රඥාව අනුස්මරණය කරන ඒ පුද්ගලයාගේ සිත ප්‍රසාදයට පත්වෙනවා. ඒ නිසා ප්‍රමෝදයක් හටගන්නවා. සිතේ මෙබඳු උපකෙලෙස් වෙත්නම් ඒවා ප්‍රහාණය වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේ ම පිළිවෙත් මාර්ගය අනුගමනය කිරීමෙන් කටයුතු කළ හැකියි. මෙය දස අනුස්සති සමථ භාවනාවේ දී දේවතා අනුස්සති හැටියටත් දැක්වූවා.

එමෙන් ම මුලින් සඳහන් කළ සියලු අනුස්සති පිළිවෙත් මඟ දස අනුස්සති කතාවට එකතුකොටගත හැකියි. එනම් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදී වශයෙනුයි. මෙහි දී පැහැදිලි කරගත යුතු වන්නේ, අපි දෙවියන් පිළිබඳව අනුස්මරණය කරන්නේ, මම දෙවියෙක් වී තවදුරටත් බහුල වශයෙන් කාම සැප සම්පත් ලබනවා කියන අදහසට නොවෙයි. දෙවියන් ඒ දේවත්වයට පත් වූයේ ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ප්‍රඥා ගුණ වැඩීමෙන් නම්, මා තුළත් මේ ගුණ පවතිනවා ද? ඒ ගුණ නොමැතිනම් ඇති කර ගන්නවා. ඒ ගුණ පවතින්නේ නම් තවදුරටත් දියුණු කරගෙන වාසය කරනවා කියන අදහසිනුයි.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, යම් පරිදි කිලිටි වූ රන් කැබැල්ලක පිරිසුදු බව පිණිස මෙසේ උපක්‍රමශීලි වෙනවා. එනම් ව්‍යායාමයෙන් කටයුතු කරනවා. ඒ කෙසේ ද? ඒ රන් කැබැල්ලේ පිරිසුදුවීම් පිණිස උඳුනත්, ලුණුත්, ඒ වගේ ම යොදන්නා වූ ඖෂධය නිසාත්, එයට පිඹිනා නලය නිසාත්, එය අල්ලන්නා වූ අඬුව හෙවත් උපකරණය නිසාත්, ඒ වගේ ම පුද්ගලයාගේ දක්ෂ බව, පරිනත බව මුල්කරගෙන ඇති කරන්නා වූ ක්‍රියාදාමය නිසාත් පිරිසුදු වෙනවා. සකස් වෙනවා.

විශාඛාවෙනි, මෙසේ කිලිටි වූ රන් කැබලිවල පිරිසුදු බව සිද්ධ වෙනවා ද? එපරිදි ම කිලිටි සිතේ පිරිසුදු බව ඇති කරගත හැකියි. මුලින් සඳහන් කළ අයුරින් පරමාර්ථ ධර්මය ම නැවත නැවතත් මෙනෙහි කොට තමාගේ චිත්ත පාරිශුද්ධිය පිණිස සිහිය යොමුකරගත හැකියි. මෙහි දී අප තේරුම්ගත යුතු කරුණක් පවතිනවා. එනම්, මෙයට පෙර ලිපිවලින් සඳහන් කළා සේ අදහසකින් තොරව බුදුගුණ සජ්ඣායනාව හෝ සදහම් ගුණ සජ්ඣායනාව හෝ කිලිටි සිත පිරිසුදු කරන්න හෝ දක්වන දායකත්වය ඉතා ම අඩු බවයි. ඒ වගේ ම සමාදන් වන සීලයත් අවබෝධයෙන් ම ආරක්ෂා කරන්නේ නැති නම් එනම් සමාධිය මාර්ගඵල සමාධිය පිණිසම සිහිය යොමුකොටගෙන සීලය නොරක්නේ නම් ආහාරපාන, හිතමිත්‍රකම්, ලැබූ නොලැබූ දේ් ආදිය පිළිබඳව කල්පනා කරමින් කාලය ගත කරන්නේ නම්, සිතේ කිලිටි බව පිරිසුදුවීමක් නොව තවදුරටත් අපිරිසුදු වීමක් හෝ කිලිටි සිත කෙලෙසුන්ගෙන් තවදුරටත් ප්‍රබලවීමක් සිදුවිය හැකියි. මේ නිසා මෙතෙක් සඳහන් කළ ආකාරයෙන් කිලිටි සිතේ පිරිසුදුවීම පිණිස භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නැවත නැවතත් උපකරණයක් ලෙස ගෙන කෙලෙස් හි ප්‍රහාණය පිණිස උපකාර කරගත යුතුමයි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා. යම් පුද්ගලයෙක් කිලිටි සිතේ පිරිසුදු බව පිණිස, එනම් මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා සිතේ කිලිටි බව පිරිසුදු කර ගැනීම පිණිස දෙවියන් සිහිපත් කරනවා. එනම් චාතුම්මහාරාජික දෙවියෝ, තාවතිංසයේ දෙවියෝ, යාමයේ දෙවියෝ, තුසිතයේ දෙවියෝ, නිම්මානරතියෙහි දෙවියෝ, පරනිම්මිතවසවර්තියේ දෙවියෝ මේ දෙවියන් පිළිබඳව සිහිපත් කරනවා. එනම් ඒ දෙවියන් මෙයින් චුතව ඒ දිව්‍ය ලෝකවල ඉපදුණේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රැතය, චාගය, ප්‍රඤාවෙන් යුක්තව කාලය ගත කළ නිසා ය. මට ද එබඳු ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, චාග, ප්‍රඤා නම් වූ බවක් සිතේ පවතින බව දැනේ. තමාගේ හා ඒ දෙවියන්ගේ ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, චාග, ප්‍රඤාව අනුස්මරණය කරන ඔහුගේ හෝ ඇයගේ සිත ප්‍රසාදයට පත්වෙනවා. ඒ නිසා එහි ප්‍රමෝදයක් උපදිනවා. චිත්තයාගේ යම් බඳු උප කෙලෙස් වෙත්නම් ඒවා ප්‍රහාණය වෙනවා.

විශාඛාවෙනි, මෙහි දක්වන්නේ, සිතේ සකස් වුණා වූ උප කෙලෙස් ද බැහැර වීම නිසා මේ ආර්ය ශ්‍රාවකයා පැවසු උපෝසථය වාසය කරන්නේ යැයි සඳහන් කරනවා. එනම් දේවතා උපෝසථය වාසය කරනවා යැයි සඳහන් කරනවා. දෙවියන් සමඟ වාසය කරනවා යැයි ද සඳහන් කරනවා.

“අයං වුච්චති විශාඛෙ අරිය සාවකෝ දේවතෝ උපෝසථං උපාසති දේවතායේ සද්ධිං සංවස්සති” .

දෙවියන් මුල්කොටගෙන ඔහුගේ සිත පහදිනවා. ප්‍රමෝදයක් හටගන්නවා. සිතේ යම් බඳු උප කෙලෙස් වෙත්නම් ඒවා ප්‍රහාණය වෙනවා. කිලිටි සිතේ පිරිසුදු බව පිණිස මෙසේ කටයුතු කළ යුතුයි.

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් 12 වන දා සිකුරාදා අපර භාග 01.23 ට ලබයි.  13 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 12 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා සිකුරාදා.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]