[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

හාරිස්පත්තුවේ අරියවංශාලංකාර මාහිමි

වසර පහකට පෙර අපවත් වී වදාළ ආචාර්ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර ස්වාමීන් වහන්සේ මහනුවර හාරිස්පත්තුව මාරුද්දන ග්‍රාමයෙහි 1939 දී උපත ලැබූහ. 1959 දී ගුරුවරයෙකු වශයෙන් සේවය ඇරඹූ උන්වහන්සේ අධ්‍යාපන අමාත්‍යංශයේ ආගමික අංශයට අනුයුක්ත වෙමින් රට පුරා පිහිටි පාසල් පද්ධතිය ආවරණය වන පරිද්දෙන් සාරධර්ම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබූහ.

අනතුරුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට එක්වෙමින් එවකට පැවති විද්‍යාපීඨ සහ සියලුම ගුරු විද්‍යාල වෙත යමින් ඒවායෙහි පුහුණුව ලබමින් සිටි ගුරු අභ්‍යාස ලාභීන්ට බුදු දහම සහ සාරධර්ම අධ්‍යාපනය පිළිබඳ පුහුණු වැඩසටහන් දියත් කරන ලදහ. එම වකවානුව තුළ උන්වහන්සේගේ මෑණියන් වහන්සේගේ ඉල්ලීම පරිදි විද්‍යාපීඨ නිවාඩු සමයෙහි දී 20 වතාවක් පමණ තාවකාලික ව පැවිදි දිවියට පත්වූහ. එහි දි අවස්ථා තුනක දී උපසම්පදාව ලැබීමට ද උන්වහන්සේ භාග්‍යවන්ත වූහ. සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ස්ථිරව පැවිදි බිමට පත් වූ අරියවංශාලංකාර හිමිපාණෝ අපවත්වන තුරුම කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ විසූහ.

කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපතිව එකල වැඩ විසූ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය කහටපිටියේ සුමතිපාලාභිධාන නා හිමිපාණන් වහන්සේ වෙතින් “කම්මට්ඨානාචාර්ය” පදවිය ලැබූහ. එතැන් පටන් ගමින් – ගමට පාසලෙන් – පාසලට, පන්සලෙන් – පන්සලට වැඩම කරවා පන්සිල් රකින සමාජයක් ගොඩනැගීම සඳහා විදර්ශනා භාවනාව හඳුන්වා දෙමින් එය දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය වූ ද, ප්‍රායෝගික වූ ද, අංගයක් බවට පත් කිරීමට උන්වහන්සේ තම ජීවිතය කැප කළහ.

විශ්ව විද්‍යාලයක අභ්‍යන්තර ශිෂ්‍යයකු නොවූ උන්වහන්සේ පිළිවෙලින් ශාස්ත්‍රවේදි උපාධිය, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව , ශාස්ත්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධිය දිනා ගැනීමට සමත් වූ අතර උන්වහන්සේ විශ්ව විද්‍යාලයන්හි අභිධර්මය පිළිබඳව කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කිරීමට වරම් ලැබූ හ. උන්වහන්සේ කලක් ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ සභාපති තනතුර හෙබවූ හ. ලිඛිත හා විද්‍යුත් ජනමාධ්‍ය භාවිත කරමින් මිනිසුන් තුළින් “මිනිස්කම” මතු කරලීම සඳහා උන්වහන්සේ තම පෑන සමඟ අභීත හඬ යොදා ගනු ලැබූහ.

2014 මාර්තු මස 21 දින උන්වහන්සේ අපවත් වූ අතර උන්වහන්සේගේ ශ්‍රී දේහය යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට භාර කෙරිණි. අපවත්වීමෙන් පසු තමන් වහන්සේගේ අවසන් කටයුතු ඉතාම චාම් අන්දමින් සිදුකරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිය හ. එය එසේම සිදු විය. එමඟින් ඉතිරිවන මුදල් නිවාස නැති අය වෙත නිවාස ඉදිකර දෙන ලෙසට උන්වහන්සේගේ ඉල්ලීම විය. එය ද එසේම ඉටු විය. එම මුදල් ද කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දායක සභාව උන්වහන්සේ වෙනුවෙන් පරිත්‍යාග කළ මුදල් ද යොදා පසු ගිය වසරවල නිවාස දෙකක් ඉදි විය. ඉන් එකක් මහනුවර, තෙල්දෙණිය නගරාසන්නයේ ජීවත් වූ , රට ජාතිය වෙනුවෙන් අවසන් සටනේ දි දිවි පිදූ රණවිරුවෙකුගේ බිරිඳ හා දරු තිදෙනාට ය. අනෙක කුරුණෑගල රාජකාරියේ යෙදී සිටිය දී මියගිය පොලිස් නිලධාරියෙකුගේ බිරිඳ හා දරු දෙදෙනාටය.

අපවත් වී වදාළ ආචාර්ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර මාහිමිපාණන් වහන්සේගේ පස්වන වර්ෂ පූර්ණ ගුණානුස්මරණය පින්කම් විවිධ පළාත්වලදී සිදු කිරීමට” ආචාර්ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර මාහිමි පදනමේ” ශාඛා ජාලය හා අනුබද්ධ ආයතනත් උන්වහන්සේ වැඩ විසු, කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දායක සභාවත් කටයුතු සූදානම් කර තිබිණි. අපවත් වී වදාළ ආචාර්ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර මාහිමිපාණන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධිය පසක් කර ගැනීමට හේතුවාසනා වේවා.


කළුදෑවල විවේකානන්ද මාහිමි

පානදුර වෑකඩ ධර්ම ප්‍රසාද මහා විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී කළු දෑවල විවේකානන්ද හිමිපාණෝ පිළිවෙත් සරු සරල පැවිදි ජීවිත ගත කරන මහා සංඝයා වහන්සේලා අතර විශේෂයෙන් ම කැපී පෙනෙන හිමි නමකි.

උන්වහන්සේ 2019 අප්‍රේල් මස 4 වෙනි දිනට 70 වැනි වියට පා තැබූහ. එබැවින් විවේකානන්ද හිමියන්ට දිගාසිරි පැතීමේ පින්කම් මාලාවක් විහාරස්ථානයේදී පැවැත්විණි.

1949 පෙබරවාරි මස 7 වෙනි දින පානදුර කළුදෑවල නම් ගම්මානයේ දී උන්වහන්සේ උපත ලැබී ය. පාසල් අධ්‍යාපනය ලැබුවේ පානදුර බෞද්ධාලෝක මහා විද්‍යාලයෙනි. 1968 ඔක්තෝබර් 8 වෙනි දින පානදුර වත්තල්පොල සුමේධානන්ද මාහිමිපාණන් වහන්සේ යටතේ පැවිදිභාවය ලබා ගත්හ.

1971 ජූනි මස 24 වෙනි දින වත්තල්පොල සුමේධානන්ද, දෙල්ගොඩ මේධානන්ද කරගම්පිටියේ ජිනරතන යන හිමිවරුන් යටතේ උපසම්පදාව හිමි කර ගත්හ.

විවේකානන්ද හිමිපාණෝ පිරිවෙන් අධ්‍යාපනය ලැබුවේ පානදුර රන්කොත් විහාරස්ථ පිරිවෙන සහ පානදුර පිංවත්ත සද්ධර්මාකර විශ්වවිද්‍යාලීය පිරිවෙනිනි. 70 වැනි විය සමරන කළුදෑවල විවේකානන්ද හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.


ඕමාරේ කස්සප අනු නා හිමි

කඹුරුපිටිය සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රාජමහා විහාරය, ගෝදාව ශ්‍රී බෝධිරාජාරාමය, බිබුලෙවෙල දෙහිගහහේන ශ්‍රී සුගත ධර්මායතනය, ගතාර අභිනවාරාමය, රාජගිරිය සිරි ජයතිලිණාරාමය යන විහාරස්ථානයන්හි ආධිපත්‍යය උසුලන, සපුගොඩ විද්‍යානිකේත විද්‍යායතන පරිවේණාධ්‍යක්ෂ ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක සහ ප්‍රධාන ලේඛකාධිකාරි, ශාස්ත්‍රපති ඕමාරේ කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමකි.

වලස්මුල්ල ඕමාරේ විසු ජාතුංගේ හීන්හාමි මහෝපාසිකා මාතාවගේ හා සර්දින් දිසානායක අමරකෝන් මහතාගේ අතිජාත පුත්‍ර රත්නයක් ලෙස 1955 ජනවාරි 11 වැනි දින ඕමාරේ කස්සප අනුනාහිමියෝ ජන්මලාභය ලැබූ හ. ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ හ/ඕමාර මහා විද්‍යාලයෙනි. 1968 ඔක්තෝබර් 31 වැනිදා සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරයේ දී ප්‍රව්‍රජ්‍යාභාවයට පත් වු කස්සප හිමියන් ගේ ප්‍රව්‍රජ්‍යාචාර්යයන් වහන්සේලා වූයේ තත් විහාරාධිපතිව වැඩ සිටි රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ගතාරේ සුගතපාල මාහිමි, මහාචාර්ය ගතාරේ ධම්මපාල අනුනාහිමි සහ ගැටමාන්නේ සෝභිත, කුඩාගොඩ චන්දරතන යන හිමිවරු ය.

කඹුරුපිටිය සපුගොඩ විද්‍යානිකේත විද්‍යායතන පිරිවෙනින් හා පැපිලියාන සුනේත්‍රාමහාදේවි මහ පිරිවෙනින් ධර්ම විනය භාෂා ශාස්ත්‍රාදිය මැනවින් හදාළ කස්සප හිමියෝ 1974 ජුනි 05 වැනිදා මහනුවර මල්වතු මහා විහාරීය උපෝසථාගාරයේ දී උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූ හ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම ශාස්ත්‍රවේදී උපාධිය ද, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද, රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් දෑ අවුරුදු ගුරු පුහුණුව ද ලබා ගත්හ. 1983 දී සපුගොඩ විද්‍යානිකේත විද්‍යායතන පිරිවෙනේ උප ගුරුවරයකු ලෙස ගුරු සේවයට පිවිසි කස්සප හිමියෝ 1984 සිට 2004 දක්වා එහි පරිවේණාධිපති ලෙස අද්විතීය සේවාවක් සිදු කළහ. වසර 05 ක් පමණ කිරුළපන ශ්‍රී පඤ්ඤාලෝක ධර්ම නිකේතන පිරිවෙනේ පරිවේණාචාර්යවරයෙකු ලෙස ද වසර 03 ක් අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස ද ක්‍රියා කළහ.

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ සමාරම්භක අවස්ථාවේ පටන්ම ඒ වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් සිදු කළ උන්වහන්සේ මේ වන විට තත් මහා සංඝ සභාවේ සුවිශේෂී වගකීම් රාශියක් දරති. එහි විධායක කාරක සභික, නියෝජ්‍ය ලේඛකාධිකාරි, ප්‍රධාන ලේඛකාධිකාරි සහ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවි වෙනුවෙන් පත්කරගත් උන්වහන්සේ 2015 දි අනුනායක ධුරයට සමානඡන්දයෙන් පත්කර ගත්තේ එකී සේවාවන් වෙනුවෙන් ශ්‍රී රෝහණ මහා සංඝ සභාව දැක් වූ ගෞරවෝපහාරයක් ලෙස යි.

කස්සප අනුනාහිමියන් සමාජ සේවාවන් රැසක් සිදු කරමින් ද, විවිධ සංවිධානවල ප්‍රධාන නිලතල දරමින් ද කාලීන සේවාවන් රැසකට නිසි නායකත්වය සපයති. කඹුරුපිටිය ආඳපාන රෝහලේ සහ ඕවිටිගමුව කරුණාරත්න වැඩිහිටි සෙත් සෙවණෙහි දියුණුවට කැපවීම, සපුගොඩ ප්‍රදේශයේ නිවාස රැසකට අවශ්‍ය පානීය ජල ළිං හා වැසිකිලි කැසිකිලි සාදවා දීම, මං මාවත් ප්‍රතිසංස්කරණය කරවා පොදු නාන ළිං සාදවා දීම, ආර්ථික දුෂ්කරතා සහිත පාසල් සිසුන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම, සපුගොඩ අසරණ පවුලකට නිවාසයක් සාදාදීම අනු නා හිමි ගේ සමාජ සේවා අතර කිහිපයකි.

කඹුරුපිටිය ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ලෙස වසර 08 ක් ද මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධීකාරි ලෙස වසර 08 ක් ද සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ කෘත්‍යාධිකාරි සභාවේ නියෝජ්‍ය සභාපති ලෙස වසර 04 ක් ද කඹුරුපිටිය මූලික රෝහලේ සංවර්ධන පදනමේ අනුශාසක ලෙස වසර 11 ක් ද ඕවිටිගමුව කරුණාරත්න වැඩිහිටි සෙත් සෙවණේ විධායක අනුශාසක ලෙස මේ දක්වා ද රුහුණු රට භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම්, රුහුණු ජන කලා හවුලේ සභාපති, කඹුරුපිටිය සංවර්ධන සභාවේ සභාපති තුන් හෙළ ජාතික ව්‍යාපාරයේ නියෝජ්‍ය සභාපති ලෙස ද කස්සප අනුනාහිමියන් ගේ සේවාවන් විවිධ ඉසව් ඔස්සේ පැතිර ගොස් තිබේ.

ලෝ සසුනේ වැඩ වඩන්නට ඕමාරේ කස්සප අනු නාහිමියන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් 12 වන දා සිකුරාදා අපර භාග 01.23 ට ලබයි.  13 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 12 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා සිකුරාදා.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]