Print this Article


ක්‍රියාවක් කළ සැණින් කර්මය ඵල දෙනවාද?

ක්‍රියාවක් කළ සැණින් කර්මය ඵල දෙනවාද?

කර්මය වනාහී අචින්ත්‍ය විෂයයක්. කර්ම විෂයය පිළිබඳව සිතීමට හෝ සෙවීමට වෙර නො දරන ලෙස බුදුරජාණන් වහන්සේ වදාළා. කර්ම විෂයය ගෝචර වන්නේ බුදුවරුන්ට පමණයි.නමුත් බුද්ධ ශ්‍රාවකයෝ වන අපට කර්මය පිළිබඳව ඇත්තේ මතිමතාන්තර රැසකි. යම් ක්‍රියාවක් කළ සැණින් එම කර්මය ඵල දෙනවාද? නැද්ද? යම් කර්මයක් කළ පසු එය ඵල දෙන්නේ මේ ජීවිතයේ දී ද? නැතිනම් වෙන ජීවිතයක දී ද? අහෝසි කර්මය කියන්නේ කුමකටද? ආදිය බොහෝ දෙනා ට ඇති ගැටලුයි.

අප විසින් මේ ජීවිතය තුළදී හොඳ කර්ම සහ නරක කර්ම කියන කර්ම දෙකම කරනවා. හොඳ කර්මයක් කළවිට විපාක බලාපොරොත්තු වෙනවා ද? නැද්ද? අපි විපාක බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අප නරක කර්ම කළාම ඒවාට අප විපාක බලාපොරොත්තුවක් නැහැ.

ස්වාමීන් වහන්සේලා වඩම්මවා, නිවසේ දානයක් දීලා හාමුදුරුවරු නිවසින් පිටතට වැඩම කිරීමටත් පෙර දානයේ ප්‍රතිවිපාක ලැබෙනවා නම්, ඒ ගැන අපි හැමදෙනාම සතුටුයි. නමුත් නරක කර්මයක් කළොත්? අයියෝ, ඒවා නම් සංසාරයටම එපා කියා අපි හිතන්නේ.

මේ නො හිතන, නො පතන නරක කර්මයක විපාකයක් ලැබුණොත් ඊට පස්සේ අපි මොකක්ද කරන්නේ? අනේ මම කොතරම් හොඳවැඩ කළත් මට හැමදාම කරදරනේ. නිදහසක් නැහැනේ. මේවා කරලා වැඩක් නැහැ. හැමදාම මට නරකමයි කියන වැරැදි මතයට, වැරැදි දෘෂ්ටියකට බොහෝ දෙනා එනවා. අපි හොඳ කර්මවල හොඳ විපාක ඉක්මනටම බලාපොරොත්තු වෙනවා. නමුත් එසේ කර්මවල විපාක ක්ෂණිකව ම ලැබෙන්නේ නැහැ.

කළ සැණින් විපාක දෙන කර්ම

එසේ කළ සැණින් විපාක දෙන කර්මයකුත් තිබෙනවා. එය හිත සම්බන්ධ ක්‍රියාවක්. දැන් අපි නරක කර්මයක් කළොත් එයට ක්ෂණිකව ලැබෙන විපාකය නම් එයින් අපේ සිත කෙලෙසී යාමයි. හිත වැනසී යාමයි. විනාශ වී යාමයි. නමුත් අපි හොඳ කර්මයක් කළොත්, ඒ කළ වහාම අපේ හිත සැනසෙනවා. හිත සතුටු වෙනවා. හිත ප්‍රබෝධමත් වෙනවා” කියා ඔබ අත් දැක ඇති. මේ අප කරන කර්මයෙන් අප ලබන ක්ෂණික විපාකය යි. අර ක්‍රියාවට ආවේණික ඵලයක් එයට පසුකාලීනව ලැබෙන්න පුළුවන්. කරන කර්මවලට විපාක එසැණින් ම ලැබෙන්නේ නැහැ, කියන කාරණය මේ ගාථාවෙන් පැහැදිලි වෙනවා.

නහි පාපං කතං කම්මං
සජ්ජු බීරංව මුච්චති
ඩහන්තං බාලමන්චේති
භසමච්ඡන්නෝව පාවකෝ
(ධම්මපද – බාල වග්ගය)

මෙම ගාථාවෙහි තේරුම කළා වූ පාප කර්මය ගව දෙනගේ තන බුරුල ඇල්ලූ විගස කිරි නික්මෙන්නාක් මෙන් එකෙණෙහිම විපාක නො දෙයි කියන එකයි. අටුවාවෙහි සඳහන් වන අයුරින් මෙම ගාථාවෙහි තේරුම යැයි අපි හිතුවේ දෙවු කිරි එකෙනෙහි ම මිදෙන්නේ නැහැ වගේ කර්මය විපාක දෙන්නේ නැහැ කියලනේ, නමුත් මෙහි දී අප තේරුම් ගත යුත්තේ එය නොවෙයි. මුච්චති යන පදයෙන් මිදෙනවා කියන තේරුම තමයි අටුවාව අරගෙන තිබෙන්නේ. මිදෙනවා කියන වචනයට සිංහල භාෂාවේ තේරුම් දෙකක් තිබෙනවා. මෘදු දෙයක් තද වෙන එක එයින් පළමු වැන්න යි. කිරි මිදෙනවා කියන එක එයට උදාහරණයක් ලෙස ගන්න පුළුවන්. මිදෙනවා යන්නෙහි අනෙක් තේරුම නික්මීම, ඉවත්වීම වශයෙන් ගත හැකි යි. මෙහිදී මුච්චති යනුවෙන් අදහස් කරන්නේ එළදෙනට හොඳට කිරි එරී තිබෙන විට බුරුලට අත තිබූ සැණින් කිරි එන එකයි. මේ ගාථාවෙහි තේරුම ඒ ආකාරයට කර්මයේ විපාක ලැබෙන්නේ නැහැ කියන එක තේරුම් ගැනීම ශ්‍රාවකයාගේ වගකීමක්.

කර්මයේ විපාක ලැබෙන්නේ කොහොමද?

ඩහන්තං බාලමන්වේති
භස්මඡනෝව පාවකෝ.

පාවක කියන්නේ ගිනි පුපුරට යි. භස්ම ඡන්න යන පදයේ ඡන්න කියන්නේ වැසී තිබෙන කියන එකයි. මොනවාගෙන් ද වැසී තිබෙන්නේ? භස්ම වලින්. භස්ම කියන්නේ අළුවලට යි. භෂ්මාවශේෂ කියන වචනය ඔය ඇත්තෝ අසා තිබෙනවානේ. අළුවලින් වැසී තිබෙන ගිනි පුපුර කිනම් මොහොතක හෝ ගින්නක් අවුළුවනවා. එවිට ගිනි පුපුරුවලින් ගිනිගන්නේ නැතත් එයට අදාළ පරිසරය සකස් වූ වහාම එය ගින්නක් බවට පත්වෙනවා. ඒ වාගේ කර්මයකට විපාක දෙන්න අවශ්‍ය කරන කාලයක් තිබෙනවා. එයට සුදුසු පසුබිමක් පරිසරයක් තිබෙනවා. ඒ පරිසරය සැකසුන ගමන් තමයි කර්මය විපාක දෙන්නේ. වේලාවකට ඒ පරිසරය ඉක්මනට සැකසෙන්න පුළුවන්. ඒ වගේ ම ඒ පරිසරය සැකසෙන්න තව ආත්මයක්, දෙකක්, තුනක් යන්නත් පුළුවන්. ආත්ම ගණනාවක් යන්නත් පුළුවන්. සමහර වේලාවකට ඔය අළු යට තිබෙන ගිනි පුපුරට කවුරුහරි වතුර ටිකක් දැම්මොත් එය නිවී යන්නාක් සේ අර කර්මය අහෝසි වී යන්නත් පුළුවන්.

කුඹුරක් වපුරන පුද්ගලයෙකුට එහි අස්වැන්න ක්ෂණිකව ම ලබාගන්න බැහැනේ. බුදුපියාණන් වහන්සේ උදාහරණයක් වශයෙන් වදාළා කර්මයක විපාක එවලෙහි ම ලැබෙන ආකාරයක් තිබෙන බව. චිංචිමානවිකාව පොළොව පළාගෙන අවීචි මහා නරකාදියට ගියේ අන්න ඒ වාගේ කර්ම විපාකයක් කරලයි.

එසේනම් මේ අනුව තමන් කළ හොඳ හෝ නරක කර්ම විපාක දීමට නියමිත කාලයක් හෝ දිනයක් නොමැති බවත්, එයට සුදුසු වූ පරිසරයක් පසුබිමක් සැදුන විට එහි විපාක දුක් විඳීමට සිදුවන බවත් අපට තේරුම් ගත හැකි යි.