Print this Article


මහ සඟරුවනෙහි ජගත් සබඳතා වර්ධනය කරමු

වතුරුවිල හේමාලෝක හිමි

"නිතරම සිනාමුසු මුහුණින් පසුවූ උන්වහන්සේ අරමේ ඉදිරිපිට පුටුවක් තබා වැඩහිඳ කුමන ආකාරයේ දුකක් කරදරයක් තියාගෙන පැමිණියත් සියලුදෙනාට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කළහ. අවමඟුලකදී, කරදරයකදී රෝහල් ගත කිරීමක දී නායක හාමුදුරුවෝ පළමුවෙන්ම එම ස්ථානයට වැඩම කළහ. සිත් සැනසෙන කාරුණික වදනින් යමක් පැවසූහ. එය ලොකු කුඩා කාටත් පොදු ය."

භික්ෂූන් වහන්සේ නමක් ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, අල්පේච්ඡ මුදු ගුණයෙන් යුක්ත ද, නිරහංකාර ද, දෑ හිතකාමී ලක්ෂණයෙන් යුක්ත ද, එවන් භික්ෂුව සඟ ගුණයෙන් ශෝභමාන ය. ගොළුම්මහර ශ්‍රී සුභද්‍රාරාම විහාරාධිපතිව වැඩ සිටි ශාස්ත්‍රපති ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤාලෝක ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝනායක වතුරුවිල හේමාලෝක නාහිමිපාණන් වහන්සේ එවන් සුපේශල ශික්ෂාකාමී සංඝ පීතෘවරයෙකි. දැන උගත්කමින් මෙන්ම පි‍්‍රයශීලී ශ්‍රමණ ආකල්පයන්ගෙන් අනූන උන්වහන්සේ ආගන්තුක සත්කාරයේ දී බෙහෙවින් නිර්ලෝභී වූ හ.

උදෑසන දානය රැගෙන යන දායක දායිකාවනට නෙත ගැටෙන්නේ සල්මල් වට්ටියක් දෝතට ගෙන බුදු මැදුර තුළට වඩින නා හිමියන් ය. කෙතරම් අසනීප තිබුණත් උන්වහන්සේගේ දිනචරියාවේ පළමුවැන්න වූයේ බුද්ධ වන්දනාවයි.

නිතරම සිනාමුසු මුහුණින් පසුවූ උන්වහන්සේ අරමේ ඉදිරිපිට පුටුවක් තබා වැඩහිඳ කුමන ආකාරයේ දුකක් කරදරයක් තියාගෙන පැමිණියත් සියලුදෙනාට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කළහ. අවමඟුලකදී, කරදරයකදී රෝහල් ගත කිරීමක දී අපේ නායක හාමුදුරුවෝ පළමුවෙන්ම එම ස්ථානයට වැඩම කළහ. සිත් සැනසෙන කාරුණික වදනින් යමක් පැවසූහ. එය ලොකු කුඩා කාටත් පොදු ය.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි හා විශ්වවිද්‍යාලයේ ආයතනාධිපති ආචාර්ය පාතේගම ඥානාරාම නාහිමියන්ගේ ශිෂ්‍යයකු වූ වතුරුවිල හේමාලෝක නාහිමියන් 1972 දී ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපතිධූරයට පත් විය. එදා සිට මේ දක්වා එහි උන්නතිය වෙනුවෙන් ඇපකැප වූ උන්වහන්සේ මෙම දර්ශනීය පින්බිමේ බුදු මැදුර, වෙහෙර වහන්සේ, බෝධීන් වහන්සේ, සංඝාවාසය, දෙමහල් ධර්ම ශාලාව, ගොඩනගන්නට දැරූ වෙහෙස අපමණ ය. කළ කැපකිරීම අති උදාර ය. දෙපයට පාවහන් යුගලක් හෝ නොමැතිව ගෙන් ගෙට වැඩමවා විවිධ පින්කම් සිදුකොට ගොඩනැඟූ ශ්‍රී සුභදාරාමය වර්තමානයේ ඉතා දැකුම්කළු මනරම් පුණ්‍ය භූමියක් බවට පත්ව ඇත්තේ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යේ ප්‍රතිඵලයක් ලෙස යි.

බියගම ප්‍රදේශයේ දූ දරුවන් දහමින් ගොඩනගන්නට බියගම ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරය වසර 19 ක් තිස්සේ දරමින් කරන ලද මෙහෙවර සුවිශාල ය. උන්වහන්සේ නව දහම් පාසල් ආරම්භ කිරීමට මෙන්ම තිබෙන දහම් පාසල්වලට නියමිත වේලාවට අවශ්‍ය පෙළ පොත්, නිල ඇඳුම්, දීමනා ලබාදෙමින් එම දහම් පාසල්වල අඩුපාඩු පිරික්සමින් ප්‍රාදේශීය සිසු නිපුණතා තරඟ, දිස්ත්‍රික් තරඟ, සමස්ත ලංකා තරඟ දක්වා සිසුන් යැවීමට උත්සුක වූහ. ප්‍රදේශයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සව දැඩි කැපවීමෙන් සතුටින් සංවිධානය කළ අතරම සහභාගිත්වය ද සිදු විය. විහාරස්ථානයේ ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසලින් සමස්ත ලංකා තරගවලින් ජයග්‍රහණය ලැබූ දූ දරුවන් උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයන් ය. අවට සියලු දහම් පාසල් වල දූ දරුවන්ට සැලකුවේ ද ඒ ආකාරයෙන්ම ය.

ප්‍රදේශයේ දිළඳු දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙමින් නිපොන් ශී‍්‍ර ලංකා අධ්‍යාපනික සංස්කෘතික කේන්ද්‍රයේ වසර 15 ක් තිස්සේ ප්‍රාදේශීය අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළේ අඩු ආදායම්ලාභී පවුල් සොයා පාසල්වලට ගොස් එම නිවෙස්වලට ගොස් දිවා රෑ නොතකා කළ කැපකිරීම විශිෂ්ට ය. උන්වහන්සේ අවසන් මොහොතේ ද සිතුවේ තමන්ගේ අසනීපය පිළිබඳව නොව ගමේ දූ දරුවන්ගේ අනාගතය පිළිබඳවයි.

නායක හාමුදුරුවෝ පාසල් ගුරුවරයෙකු ලෙස දරණාගම මහා විද්‍යාලයෙන් පටන්ගෙන සිය කුශලතා හමුවේ ඉදිරියට පය තබා අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ පිරිවෙන් පරීක්ෂක අධ්‍යාපන අධ්‍යක්ෂකධූරය දක්වා පැමිණි ගමන් මග විශිෂ්ට ය. ඉරු දින දහම් පාසල් දිනට, පොහොය දිනට විහාරස්ථානයේ වැඩ සිටිමින් ඒ කටයුතු සොයා බලන උන්වහන්සේ දන් පැන්, ධර්ම දේශනා සියල්ල අවසන් වනතුරු ඉතා උනන්දුවෙන් උද්‍යෝගයෙන් එම කටයුතු සිදු කළේ දායක පිරිසට බොහෝ ලෙන්ගතුව ය.

ප්‍රදේශයේ මහා සංඝරත්නය සමඟ බැඳුණු සංඝ සාමග්‍රිය උන්වහන්සේ අපවත් වූ මොහොතෙත් දැක ගැනීමට හැකිවිය. අවුරුදු සිරිත් විරිත් ගරු කරමින් රට පුරා විසිරී සිටින මහා සංඝරත්නය දැක බලා වැඳ පුදාගැනීමට අමතක නොකළහ.

නායක ස්වාමීන් වහන්සේගේ තෙමස් පුර්ණ පින්කම වෙනුවෙන් මෙම 19 දා බක්පුන් පොහෝදා රාත්‍රී 7.00 වතුරුවිල සුජාත නාහිමියන් වහන්සේගේ සුමදුර දම් දෙසුමකි. පසුදින පනස් නමක් විෂයෙහි මහා දානමය පින්කම සිදුකරනුයේ විහාරාධිකාරී බැරගම විමලධම්ම හිමියන්ගේ අනුශාසනා මත කඳුබොඩ, නාරවල දෙල්ගොඩ, බියගම, වඩුවේගම, කම්මල්වත්ත, දරණාගම යන ප්‍රදේශයේ කොළඹ පූර්වාරාමය විහාරවාසී මහා සංඝරත්නයේ සහභාගිත්වයෙනි.

විහාරස්ථ දායක සභාව, ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසල, විශාඛ, කුලඟන සමිතිය, පාතේගම ඥානාරාම හිමි ඇතුළු වතුරුවිල ඥාති පිරිස එම පුණ්‍ය මහෝත්සවය සංවිධානය කරති. ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.