Print this Article


බොදු දනට කරුණාවෙනි:  සීලවන්ත ජීවිතය

සීලවන්ත ජීවිතය

මම ය, මාගේ ය ස්ථිර යි, නිත්‍යය යි, සදාකාලිකව ම සැපයි, දුකයි ආදී වශයෙන් අරමුණු ඇද බැඳ තබා ගැනීමක් නොකළ යුතුයි. හට ගන්නා වූ සියලු අරමුණු ක්ෂණයක්, ක්ෂණයක් පාසා හට අරගෙන එහි ම ඒ මොහොතේ ම බිඳී යන බව, නැතිව යන බව සිහියට නතු කරගෙන සිත පුරුදු පුහුණු කළ යුතුයි.

එනම්, කිසිවක් ස්ථිර, සාදාකාලික නොවන බවත්, හට අරගෙන එහි ම නිරුද්ධ වී යන බවත් තේරුම් ගැනීමයි. එවිට අකුසල සිතිවිලි හෝ දිගින් දිගට ම සිතේ පවත්වාගෙන යෑමට හේතුවක් විය යුතු වන්නේ නැහැ. කුසල සිත මැදිහත් කරගෙන හට අරගෙන එහි ම නැති වූ අකුසල සිත නැවත හට නොගන්නට චිත්ත ශක්තියක් හෙවත් චිත්ත සමාධියක් ඇති කරගත හැකියි. පවත්වා ගත හැකියි. මේ ගැඹුරු අවබෝධය හෙවත් සමාධිය බවට පවත්වාගන්නට පුළුවනි නම් පහසුවෙන් ම සිත පිරිසුදු කර ගත හැකිවෙනවා.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක. විශාඛාවෙනි, තවදුරටත් කිලිටි සිතේ පිරිසුදු බව පිණිස උපක්‍රමයෙන් යම් ක්‍රියාදාමයන් කළ හැකි අවස්ථා පිළිබඳව විස්තර කරන්නට පුළුවනි. මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා, ආර්ය සංඝරත්නයේ ගුණ මෙනෙහි කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අධිශීල, අධිචිත්ත, අධි ප්‍රඥා මාර්ගයෙහි මනා සේ පිළිපන්නේ වෙයි. එනම් “සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,” ආදී වශයෙන් ඒ ගුණ නමය මෙනෙහි කරනවා. මේ සඟ ගුණ ඔබ දන්නා නිසා නැවතත් මෙහි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

අවසානයේ ඔබගේ සිතට දැනෙනවා. “අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස” ලෝකයාට අනුත්තර වූ පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳුවේ ම ය. එනම් ඒ ආර්ය සංඝ රත්නය යි. මේ ආදී වශයෙන් සංඝයාගේ ගුණ සිහි කරන පුද්ගලයාගේ සිත පැහැදීමට පත්වෙනවා. ප්‍රමෝදයක් උපදිනවා. සිතෙහි යම් වූ ද උප කෙලෙස් හෝ වෙත් නම් ඒවා ප්‍රහාණය වෙනවා. වෛරය, ඊර්ෂ්‍යාව, බද්ධ වෛරය, පළිගැනීම, දැඩි ආශාව, විෂම වූ ලෝභය ආදී වශයෙන් උප කෙලෙස් පැවතුණේ නම් ඒවා ප්‍රහාණය වෙනවා. විශාඛාවෙනි, මෙයට ආර්ය ශ්‍රාවක, සංඝයා විෂයයෙහි උපෝසථ ය පවත්වමින් වාසය කරන්නේ යැයි, සංඝයා සමඟ වසනුයේ යැයි කියනු ලැබේ. එනම් ආර්ය සංඝ රත්නය සමඟ පරමාර්ථ ධර්ම අවබෝධයෙන්, දහම් ඇසින් යුතුව වාසය කරනවා යැයි කියනු ලැබේ. නැවත සඳහන් කළොත් එය සංඝ උපෝසථය හා සංඝයා සමඟ වාසය කිරීම හැටියට ධර්ම කතාවේ පෙන්වා දෙනවා.

“අයං වුච්චති විසාඛෙ අරියසාව කො
සංඝෝ උපෝසථං උපවසති
සංඝේ න සද්ධිං සංවස්සති
සංඝං වස්සං ආරද්ධ චිත්තං පසේධති”

මේ නිසා ම සංඝයා මුල්කොටගෙන ඔහුගේ හෝ ඇයගේ සිත පහදිනවා. ප්‍රමෝදය උපදිනවා.

සිතෙහි යම් වූ ද උප කෙලෙස් වෙත් ද ඒවා ප්‍රහාණය වෙනවා. විශාඛාවෙනි, මෙසේ කිලිටි චිත්තයාගේ හෙවත් කිලිටි සිත්වල පිරිසුදු බව මෙසේ පිළිවෙත් මාර්ග අනුගමනය කිරීමෙන් සිද්ධ වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් සිතෙහි හටගන්නා වූ කෙලෙස් පිරිසුදු කර ගැනීම පිණිස මාර්ගය මෙසේ දේශනා කරනවා. විශාඛාවෙනි, කෙසේ නම් උපක්‍රමයෙන් කිලිටි සිතෙහි, පිරිසුදු බව සිදුවේ ද? මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා මෙසේ සිහිපත් කරනවා.

“අහෝ වත මේ සීලානි
අඛණ්ඩානිි, අච්ජිද්දානි, අසබලානි,
අකම්මාසානි, භුජිස්සානි,
විඤ්ඤුප්පසත්ථානි, අපරාමට්ඨානි,
සමාධි සංවත්තනිකානි”
යනුවෙනුයි.

මෙහි අදහස නම් ආර්ය ශ්‍රාවකයා උපෝසථය මැනවින් ආරක්ෂා කරන්නේ, මුලින් හෝ අගින් තමන් සමාදන් වූ සීලය නොකඩා ආරක්ෂා කරනවා. එනම් අවබෝධයෙන් යුතුව සීලය රැක ගන්නවා. මේ අවබෝධය යනු සීලය, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන් පිණිසය යන අදහසයි.

මැද එක ශික්ෂා පදයක් හෝ වේවා නොකඩා සිල්පද රකිනවා. එනම් “අච්චිත්ධයි” පිළිවෙලින් ශික්ෂා පද දෙක තුන ආදී වශයෙන් නොකඩා රකිනවා “අසබලයි” අතර මැද එකින් එක ශික්ෂා පද නොකඩා රකිනවා. එය “අකම්මාසානි” යනුවෙන් හඳුන්වනවා. තෘෂ්ණා භාවයෙන් මිදී ස්වෛරීභාවය පවත්වාගෙන සීලය රකිනවා. එය “භුජිස්ස” යනුවෙන් හඳුන්වනවා. බුද්ධාදී උතුමන් ප්‍රශංසා කරන ආකාරයෙන් සීලය රකිනවා. එය “විඤ්ඤුප්පසත්ථ” ලෙසයි. ඒ වගේ ම මම මේ සීලයෙන් දෙවියෙක් වන්නෙමියි; නොකියන බැවින් “අපරාමට්ඨ” යනුවෙන් හඳුන්වනවා. නුඹගේ සීලය මේ ආදී වශයෙන් දොස් ඇතියි කිසිවෙකුටත් නො පැවසිය හැකි ආකාරයෙන් සීලය රකිනවා. එයත් “අපරාමට්ඨ” නමින් හඳුන්වනවා. උපචාර සමාධි, අරපණා සමාධි, මාර්ග සමාධි, ඵල සමාධි පිණිස ම සීලය ආරක්ෂා කරනවා. යොමු කරනවා. එය “සමාධි සංවත්තනික” ලෙසින් හඳුන්වනවා.

විශාඛාවෙනි, මේ ආදී ලෙසින් සම්මා සමාධිය පිණිස පවත්නා වූ තමාගේ සීලය අනුස්මරණය කරනවා. සීලය සිහි කරන ඔහුගේ හෝ ඇයගේ සිතත් පහදිනවා. ප්‍රමෝදයට පත්වෙනවා. සිතෙහි යම් බඳු උප කෙලෙස් වෙත්නම් එයත් ප්‍රහානය වෙනවා. විශාඛාවෙනි, මෙසේ කිලිටි වූ සිතෙහි පිරිසුදු බව පිළිවෙත් මාර්ගයෙන් හෙවත් උප ක්‍රමයෙන් සිදු කරගන්නට පුළුවනි.

භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා. විශාඛාවෙනි, කිලිටි වූ කැටපත් හි පිරිසුදු බව උපක්‍රමයෙන් පිරිසුදු වේ ද? එසේ ම සිතේ සකස් වෙන්නා වූ කිලිටි බවත්, පිරිසුදු කර ගත හැකියි. එනම් තෙල් නිසාත්, අළු නිසාත්, වල් ඔසුව නිසාත් පුද්ගලයා විසින් එයට යොදන්නා වූ තමන්ගේ හැකියාව, ක්‍රියාව නම් වූ ව්‍යායාමය නිසාත් පිරිසුදු වෙනවා. විශාඛාවෙනි, මෙසේ ම කිලිටි වූ කැටපත් හි, එනම් වීදුරුවෙහි පිරිසුදු බව සකස් වෙනවා ද? එපරිදිම කිලිටි වූ සිතේ පිරිසුදු බව සකස් කොට ගත හැකියි.

විශාඛාවෙනි, කෙසේ කිලිටි වූ චිත්තයාගේ පිරිසුදු බව උප ක්‍රමයෙන් වේ ද? විශාඛාවෙනි, මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා අප මුලින් සඳහන් කළ හෙයින් අඛණ්ඩ, අච්ඡිද්ද, අසබල, අකම්මාස, භුජිස්ස, විඤ්ඤුප්පසත්ථ, අපරාමට්ඨ, සමාධි සංවත්තනික ලෙසින් එනම් සමාධිය පවත්වා ගැනීම පිණිස ම තමාගේ සීලය සිහි කරනවා ද? එසේ සිල් සිහිකරන ඔහුගේ සිත පහදිනවා. එවිට සිතේ ප්‍රමෝදයක් ඇතිවෙනවා. මේ ප්‍රමෝදය ඇලීම් සහ ගැටීම්වලින් විනිර්මුක්තයි. සිතෙහි යම් බඳු උප කෙලෙස්වෙත් ද? ඒවාත් ප්‍රහානය වෙනවා.

විශාඛාවෙනි, මේ ආර්ය ශ්‍රාවකයා ගේ සීල උපෝසථය වන්නේ ද? සීලය සමඟ වාසය කරන්නේ යැයි ද කියනු ලබනවා. සිල් පිළිබඳව ඔහුගේ සිත පහන් වෙනවා. එනම් පහදිනවා. සිතේ යම් බඳු වූ ද, උප කෙලෙස් වෙත්නම් ඒවා ප්‍රහාණය වෙනවා. විශාඛාවෙනි, මෙසේ කිලිටි සිතේ පිරිසුදු බව පිණිස ව්‍යායාමයෙන්, උපක්‍රමයෙන්, උත්සාහයෙන්, නුවණින් කල්පනා කොට සිදු කිරීමෙන් ඇතිකර ගත හැකියි.

මෙහි දී අප විසින් පැහැදිලි කර ගනු ලබන්නේ උපෝසථ දිනයක සමාදන් වන අෂ්ඨාංග සීලයෙන්, නවාංග සීලය හෝ මේ දස සීලය වේවා චිත්ත සමාධිය පිණිස ම අරමුණු කරගත යුතු බවයි. එසේ නොමැතිව සිල් පද කියා පැත්තකට වී වාඩි වී සිටීම හෝ එසේ නැති නම් නොකළ යුතු කතා රාජ කතා, චෝර කතා ආදී වශයෙන් නොකොට යුතු කතා සිදුකරමින් සිටීම හෝ එසේ නොමැතිනම් අලසකමින්, නිදිමත බවින් යුතුව හෝ කාලය ගත කිරීමෙන් ආර්ය උපෝසථයක් සකස් වෙන්නේ නැහැ.

ආර්ය උපෝසථයෙන් බලාපොරොත්තු වන්නේ සිතේ කිලිටි බව පිරිසුදු කර ගැනීම පිණිසයි. මේ නිසා නිවහනක සිට ඇවිත් උපෝසථ සීලය සමාදන් වන්නේ නම් ස්වාමියා, බිරිඳ, මවුපියෝ, දරුවෝ, සොහොයුරු, සොහොයුරියන් හෝ කල්‍යාණවන්තයන් ලෙස තමාගේ සමීපයේ සිටියත් ලෝභ, ද්වේෂ, මෝහ සකස්වෙන, නොකොට යුතු කතාවන්ගෙන් බැහැරව මෙසේ සඳහන් කළ අයුරින් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ, ධර්ම රත්නයේ ගුණ, ආර්ය සංඝ රත්නයේ ගුණ මෙනෙහි කරමින් එය චිත්ත සමාධිය පිණිස, පළ සමාධිය පිණිස ම මාර්ග සමාධිය, ඵල සමාධිය, ප්‍රඥා සමාධිය පිණිසම සිත පවත්වාගෙන නැවත නැවතත් මෙනෙහි කරමින් ඒ දිනය හෝ කාලය එනම් උපෝසථ දිනය හෝ ඒ කාලය ගත කළ යුතු වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. විශාඛාවෙනි, මේ ආදී වශයෙන් ආර්ය ශ්‍රාවකයා කටයුතු කරන විට ඒ ආර්ය ශ්‍රාවකයාගේ පැවැත් ම සීල උපෝසථය හැටියට හඳුන්වනවා. ඔහු සීලය සමඟ වාසය කරනවා යැයි ද දක්වන්නට පුළුවන්.