Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්:  ඔබ සත්පුරුෂයෙකු ද? සත්පුරුෂයෙකු ද? අසත්පුරුෂයෙකු ද?

ඔබ සත්පුරුෂයෙකු ද? අසත්පුරුෂයෙකු ද?

" පුද්ගලයකු දීර්ඝ කාලයක් ඇසුරු කළ යුතු ය.

දීර්ඝ කාලයක ඇසුරකින් තොරව පුද්ගලයකුගේ

හොඳ නොහොඳ පිළිබඳව වාර්තාවක් දිය නොහැකි බව බෞද්ධ මතය වේ."

බුදු දහමෙහි හොඳ නරක විනිශ්චය කරනු ලබන්නේ පුද්ගලිකත්වයට වඩා “පොදු” බවට මූලිකත්වය ලබාදෙමිනි. හොඳ නරක පිළිබඳව බෞද්ධ මිනුම් වන්නේ සමාජ හිතසුව පිණිස කරනු ලබන ක්‍රියාව පිළිබඳව යි. එහිදී පුද්ගලිකත්වය බැහැර කරන අතර, පොදු යහපත පිළිබඳ සංකල්පය වැදගත් කොට සලකයි.

සමාජයෙහි ජීවත්වන පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව සත්පුරිස සූත්‍රය තුළ අවධාරණය වී තිබේ.

මහණෙනි, ඔබට අසත්පුරුෂයා ද ඊටත් වඩා වැඩි රුදුරු අසත් පුරුෂතරයා ද, සත්පුරුෂයා ද, ඊටත් වඩා සොඳුරු සත්පුරුෂකරයා ද කෙබඳු දැයි දේශනා කරමි. එය ඉතා මැනවින් අසන්න. නිතර හොඳින් මෙනෙහි කරන්න.

අසත්පුරුෂයාගේ ගති සිරිත්

(කතමා ච භික්ඛවේ අසප්පුරිසො) ඔහු ප්‍රාණඝාත කරයි. අන්සතු දෑ පැහැර ගනී. කාමයේ වරදවා හැසිරෙයි. බොරු කියයි. රහමෙර පානය කරයි. මෙබඳු ස්වභාව සහිත පුද්ගලයා අසත්පුරුෂ යැයි කියනු ලැබේ.

අසත්පුරුෂයා කෙබඳුද?

තමාත් ප්‍රාණඝාත කරයි. අන්‍ය පුද්ගලයාත් එහි සමාදන් කරවයි. (සමාදපේති) අන්සතු දේ පැහැර ගනී. අන්‍ය පුද්ගලයාටත් එය හුරු කරවයි. කාමයේ වරදවා හැසිරෙයි. අන්‍ය පුද්ගලයාත් එහි සමාදන් කරවයි. බොරු කියයි. සෙසු පුද්ගලයාටද එසේ කරන ලෙස අවවාද ලබා දෙයි. මත්වතුර පානය කරමින් සෙසු පුද්ගලයන් ද ඒ සඳහා සමාදන් කරවයි.

සත්පුරුෂයාගේ ගති සිරිත්

(කතමා ච භික්ඛවේ සප්පුරිසො) ඔහු ප්‍රාණඝාත නොකරයි. අන්සතු දේ පැහැර නොගනී. කාමයෙහි වරදවා නොහැසිරෙයි. බොරු නොකියයි. රහමෙර නොබොයි. එම ස්වභාව සහිත පුද්ගලයා සත්පුරුෂයා යැයි කියනු ලැබේ.

සත්පුරුෂයා කෙබඳු ද?

ඔහු ප්‍රාණඝාත නොකරයි. ප්‍රාණඝාත නොකිරීමෙහි වටිනාකම අන්‍යයන්ටද පැහැදිලි කරදෙයි. තමන් අන්සතු දේ පැහැර නොගනී. අන්සතු දේ පැහැර නොගැනීමෙහි වැදගත්කම අන්‍යයන්ටද පැහැදිලි කර දෙයි. තමනුත් කාමයේ වැරැදි ලෙස හැසිරීමෙන් දුරුවෙයි. අන්‍යයන්ට ද එය හුරු කරවයි. තමනුත් බොරු නොකියයි. සෙසු පුද්ගලයන් බොරුවට නැඹුරු කර නොගනී. තමනුත් මත්වතුර පානයෙන් දුරු වෙයි. සෙසු පුද්ගලයාත් මත්වතුර පානයෙන් ඉවත් කරවීමට උත්සාහ ගනී.

ඉහත සඳහන් වන ආකාරයට සත්පුරුෂ සහ අසත්පුරුෂ යන ලක්ෂණ දෙවර්ගයෙන් එක් වර්ගයකට ඔබ ද අයත් වනු ඇත. ඇතැම් විට එම ලක්ෂණ දෙකම ප්‍රමාණාත්මක වශයෙන් යම් යම් ප්‍රමාණයකට අඩංගුව පැවතිය හැකි ය. එහි දී යහපත් පක්ෂය නියෝජනය කරනු ලබන්නේ සත්පුරුෂයාගෙන් ය. එය ද කොටස් දෙකකට බෙදයි. යහපත් සහ වඩාත් යහපත් වශයෙනි. ඔබ ජීවත්වන සමාජයේ මේ ආකාරයේ පුද්ගලයන් හමු වී ඇත. සූත්‍රයේ සඳහන් ආකාරයට සත්පුරුෂ ලක්ෂණ පවතිනවා නම්, ඔහු හොඳ පුද්ගලයෙකි. සත්පුරුෂයෙකි. එසේ වුවද, සමාජය හොඳ පුද්ගලයා ලෙස හඳුන්වනු ලබන්නේ තමා සමඟ හොඳින් කතා කරන, හොඳින් සිනාසෙන, ඔබ ප්‍රකාශ කරන දෙයම අනුමත කරන, තමන්ගේ ගුණ යහපත්කම්, ශරීර ලස්සන තමාට ඇසෙන්නට වර්ණනා කරන, තමාට උපකාර කරන පුද්ගලයා හොඳ යැයි හැඳින්වීම සමාජයේ පවතින සාමාන්‍ය සිරිතයි. එය සාවද්‍ය. මතයක් වෙයි. ඔවුන් තමන්ගේ හිතසුව යහපත පිණිස කටයුතු කරන බැවින් හොඳ පුද්ගලයෙකු ලෙස නිශ්චය කිරීමට පෙර තවදුරටත් පරීක්ෂණයකට භාජනය කළ යුතු බව බුදුදහම අවධාරණය කරයි. පුද්ගලයකු දීර්ඝ කාලයක් ඇසුරු කළ යුතු ය. දීර්ඝ කාලයක ඇසුරකින් තොරව පුද්ගලයකුගේ හොඳ නොහොඳ පිළිබඳව වාර්තාවක් දිය නොහැකි බව බෞද්ධ මතය වේ. යම්කිසි පුද්ගලයකු සමාජයේ හා තමාගේ යහපත පිණිස කටයුතු කිරීම හේතුවෙන් සමාජයේ යහපත් පුද්ගලයෙකු හෝ සත්පුරුෂයකු ලෙස ප්‍රකාශ කළ හැකි ය.

සමාජයෙහි අයහපතෙහි නිරත වන පුද්ගලයන් නිවැරැදි මාවතකට, නිවැරැදි චින්තනයකට යොමු කරවා ගැනීම සඳහා අවංකව සද්භාවයෙන් උත්සාහයක යෙදෙනවා නම්, ඔහු සත්පුරුෂයකු බවට පත් කරවයි. සෙසු පුද්ගලයන්ගේ වැරැදි අඩුපාඩු අයහපත් චේතනාවෙන් ම සොයමින් ඔවුන්ට දඬුවම් පැමිණවීම පිණිස කටයුතු කරන පුද්ගලයන් සත්පුරුෂයන් ලෙස වර්ග කළ නොහැකි බව බුදු දහම අවධාරණය කරයි.

තමාට උපකාර නොකරන, තමා සමඟ සිනා නොවන, තමාගේ අයහපත් ක්‍රියාවන් අනුමත නොකරන, තමා ඉදිරිපිට තමාගේ ගුණ වර්ණනා නොකරන පුද්ගලයන් අසත්පුරුෂයන් ලෙස හැඳින්වීම සාමාන්‍ය සිරිත වුව ද, එසේ ප්‍රකාශ කිරීම කෙතරම් නිවැරැදි ද? ධර්මයේ සඳහන්ව ඇති ආකාරයට අනුව, අයහපත් සහ වඩාත් අයහපත් යනුවෙන් දක්වා ඇති වචන කෙරෙහි පැහැදීමක් ඇති කර ගැනීම වඩාත් වැදගත් වෙයි. එම ලක්ෂණ අනුව ඔබ කෙබඳු පුද්ගලයෙකු ද? ඔබ වටා එවැනි පුද්ගලයන් කෙතරම් ප්‍රමාණයක් සිටිනවාද? ඔවුන්ගෙන් දුරුවීම ද, පුද්ගලයා දැන හඳුනාගෙන ජීවත්වීම ද වටහා ගත යුත්තේ තමන් විසින් ම ය.

දුසිරිතට පෙළඹීම අසත් පුරුෂයාගේ ස්වභාවය වුව ද, අසත්පුරුෂයා තමා කරන අවර ක්‍රියාවන් කරමින් ම සෙසු පුද්ගලයා ද ඒ කෙරෙහි ආසක්ත කරවයි. එය වඩාත් නපුරු ය. ඉහත සඳහන් සූත්‍රයේ කරන ලද වර්ගීකරණයට අනුව එකවර හසුනොවන අසත්පුරුෂයන් ද දක්නට ලැබෙයි. තමා දුසිරිතෙහි නියැළෙන්නේ නැති වුව ද, සෙසු පුද්ගලයන් දුසිරිතෙහි නැඹුරු කරවන අයද සිටිති. එවැනි පුද්ගල චරිත පිළිබඳව සූත්‍රයේ සඳහන්ව නොතිබුණ ද ඔවුන් හඳුනාගැනීමට මෙමඟින් ආලෝකයක් සපයනු ලබයි.