Print this Article


සම්මා දිට්ඨිය පූර්වාංගම වේ

 සම්මා දිට්ඨිය පූර්වාංගම වේ

" මනුෂ්‍යයන් විවිධ දේ නිවැරැදියි කියා සිතනවා. තමාට නිවැරැදියි කියා සිතෙන දේ තමා කරනවා. එබඳු අයට විවිධාකාර අදහස් පැමිණෙනවා. නිවැරැදිම අදහස ඇති කර ගැනීමට නම් ඊට යම් කිසි ස්ථානයක් අවශ්‍යයි. යම් නියදියක් අවශ්‍යයි. ඒ සඳහා තමයි ධර්මය තිබෙන්නේ."

යහපත් දෘෂ්ඨිය තිබෙන තැනැත්තා සීලය ආරක්ෂා කරන්නේ, සිල් ආරක්ෂා කරන හේතුව දැනගෙන යි. මේ, එකට එකක් ගළපා කටයුතු කළ හැකි දහමක්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සම්මා දිට්ඨිය පූර්වංගම වේ. යහපත් දෘෂ්ඨිය ඇති අප සීලය ආරක්ෂා කළහොත් අපට අවශ්‍ය කඩඉම වෙත යන්නට අවස්ථාව සැලසෙනවා. ඉතින් ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව අපේ විසඳුම් සොයාගත යුතු වෙනවා. ඒවා භාවිත කළයුතු වෙනවා. එසේ භාවිතයට ගැනීමෙන් අපවෙත විවිධාකාර ප්‍රතිලාභ අත් වෙනවා. එමඟින් අපේ ජීවිත සුරක්ෂිත කර ගැනීමේ යහපත් අවස්ථාව ඇතිවෙනවා.

මේ තුළ හේතුඵල දහම තිබෙනවා. ඒ හේතුඵල දහම දකිමින් කරන හැම දෙයක්ම හේතුවක් අනුව සිදු කරමින් අභිමානවත් ව ජීවිතය ගෙවීමේ අවස්ථාව බෞද්ධයා වෙත ඇතිවෙනවා. ඒ පිළිබඳ එක් වරක් නොව දස දහස්වර සිතිය යුතු කාරණාවක් මේ ලිපි මාලාවෙන් අප සාකච්ඡා කළේ.

සසර ජීවිතය ම සුවපත් කර ගත හැකි අවස්ථාවක් මේ ලැබී තිබෙන්නේ. මේ වගේ වටිනා මනුස්ස ජීවිතයක් ලැබී තිබෙන්නෙත් බුද්ධෝත්පාද කාලයක යි. එසේ නොමැතිවුවහොත් මනුස්ස ජීවිතයක් ලැබුවත් මෙසේ සිතන්නට තිබෙන අවස්ථාව ඉතාම අඩු යි.

ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ ජීවිතයෙන් ප්‍රයෝජන ලබා ගැනීම යි කළ යුතු වන්නේ. “මමත් සසර ජීවිතය සුවපත් කර ගෙන, නිවැරැදි සීලය ආරක්ෂා කරල, පිළිවෙත් පුරල සියලු දුක් ගෙවා නිවනින් සැනසෙනවා” කියන අධිෂ්ඨානය, ප්‍රාර්ථනාව ඇති කර ගත යුතු යි.

යහපත් සිතිවිල්ලක් අපගේ ජීවිතයට එක්කර ගත යුතු යි. අප එකිනෙකා තුළ තිබෙන විවිධත්වයන් දැනගත් විට මහත් කම්පනයට පත්වෙනවා. අපේ ජීවිතය පිළිබඳ යථාර්ථය දැකීමෙන්, කුමක්ද මෙසේ ඇතිවෙන කම්පනය තමන්ට හරියි, නිවැරැදියි කියා විශ්වාස කරන දේ තවත් කාලයක දී තමන්ට ඒවා වැරැදියි කියන බව පේනවා. සමහර විට අපේ වයස අවුරුදු දහයෙදි පමණ අප නිවැරැදියි කියා සිතා හරිම දේ මෙය යැයි සිතා කරපු දේ වයස අවුරුදු පහළොව පමණ වන විට ඒවා තමා කරපු මෝඩවැඩ කියල තේරුණා. පහළොවේදී නිවැරැදි කියා සිතු දේ විසිවන වියේ දී ඒවා අඥාන සහගත දේ කියා සිතුණා. මේ අයුරෙන් කාලයෙන් කාලයට ඒවා වෙනස් වී ගියා. අද උදෑසන තමන් නිවැරැදියි කියා සිතූ යමක් සමහර විට හෙට උදෑසන වන විට වැරැදියි කියල දැනෙනවා. ඊයේ සවස නිවැරැදි කියා තමා තර්ක කළ දේ අද සවස වන විට තමන්ට තර්ක කරන්ට සිදුවෙනවා වැරැදියි කියල.

නිවැරැදිම දේ තෝරා ගැනීමේ බරපතල ම ප්‍රශ්නයක් තමාගේ සිත තුළ පවතිනවා. මනුෂ්‍යයන් විවිධ දේ නිවැරැදියි කියා සිතනවා. තමාට නිවැරැදියි කියා සිතෙන දේ තමා කරනවා. එබඳු අයට විවිධාකාර අදහස් පැමිණෙනවා. නිවැරැදිම අදහස ඇති කර ගැනීමට නම් ඊට යම් කිසි ස්ථානයක් අවශ්‍යයි. යම් නියදියක් අවශ්‍යයි. ඒ සඳහා තමයි ධර්මය තිබෙන්නේ. අපේ සිත සංසන්දනය කර බලන්නට අවශ්‍ය යි. නිවැරැදිම ස්ථානය කුමක්ද කියල. ඊළඟට තමන් නිවැරැදියි සිතෙන දේට තමන් කැමැති වෙනවා. සමහර විට වැරැදියි කියල දැනෙන දේට අකැමැති වෙනවා. අකැමැති දේට වුවත් කැමැතිවන අවස්ථා තිබෙනවා. ඊට බලපාන හේතුව නම් අප ළඟ පවතින විෂම අදහස් බව කල්පනා කළ යුතුයි. විෂම වූ අදහස් පවතින යමක්හි සත්‍ය තත්ත්වය නොදන්නා අයට සමහර සතුටු අදහස් උපදිනවා, එසේ නූපදියයුතු ස්ථානවලදී.

උදාහරණයක් ගෙන බලමු. යම්කිසි කෙනෙකුට රත්තරන් කියා විශ්වාස කළ හැකි මාලයක් බාල ලෝහයකින් තනා දෙනවා. අර තැනැත්තා නියත වශයෙන් ම රැවටෙනවා. රත්රන් මාලයක් ලෙස කල්පනා කරල එසේ රත්තරන් මාලයක් කියා තේරුම් අරගෙන ඒ තැනැත්තා දැන් ඉතා සතුටෙන් පසුවෙනවා. ඒ තැනැත්තා කවදා හෝ අර මාලයෙහි සත්‍ය තත්ත්වය දැන ගන්නාතුරු සතුටෙන් පසුවෙනවා. එහෙත් සත්‍යය දැනගත් දවසට උරණ වෙනවා.

එසේ සතුට උපදින නිසා ඉතා සතුටෙන් පසු වෙනවා. එසේ ඒ තැනැත්තාට ඉපදුණේ සත්‍ය වූ සතුටක් නොව බොරු සතුට කි. ඒ වගේ සමාජයේ සමහර අයගේ විෂම වූ සිතිවිලි නිසා ප්‍රාණඝාත කරලත් , සොරකම් කරලත්, කාමයෙහි වරදවා හැසිරිලත්, බොරු කියලත් සතුටු වෙනවා. ඒ අයුරින් විවිධ ක්‍රියාවලින් එබඳු අයට සතුට ඇතිවෙනවා. සමහර දරුවො සිටිනවා ඒ දරුවන්ගේ මව්පියවරු උපදෙස් දෙනවා. වැරැදි කරන්නට එපා කියල. ඒ දරුවා මෙය වරදක් බවත් දන්නවා. ඒ ක්‍රියාවේ යෙදී මව්පියවරුන්ට කේන්ති යනවා දැකල සතුටු වන දරුවොත් ඉන්නවා. සමාජයේ අසරණ මනුෂ්‍යයන් කුපිත කර සතුටු වන අය ඉන්නවා. සමහර අසරණ අයට දරුණු විහිළු කරල, ඒ අය හරිම පීඩාවට පත් කරන අය ඉන්නවා. සමහර විට ශාරීරික හිංසා පවා කරනවා. එබඳු අසරණ අය කෙතරම් පීඩාවකට පත්වනවා දැයි සිතා බලන්න. අනෙක් අයට එය සතුටක්. විහිළුවක්. විනෝදයක්, ඒවාගේ ඉතා පහත් සතුටු දැනෙන සිත් තිබෙනවා. එබඳු තැනක නිවැරැදි අදහස් ඇති තැනැත්තා අර හිංසනය දැකලා මහත් කම්පනයට පත් වෙනවා.

- සීසර් සුදුසිංහ