Print this Article


සුව ගෙනදෙන ආත්ම දමනය

සුව ගෙනදෙන ආත්ම දමනය

" කාම රාගය දුරු කිරීමට කායගතා සතිය හෙවත් පිළිකුල් භාවනාවත්, ක්‍රෝධය දුරු කිරීමට මෛත්‍රී භාවනාවත්, ඊර්ෂ්‍යාව දුරු කිරීමට මුදිතාවත්, මෙහි දී මහෝපකාරී වෙයි. ආත්ම දමනයේ විශේෂ ලක්ෂණය ඉවසීමයි."

සැවැත්නුවර ඉසුරුමත් පවුලක මව්පිය දෙපළක් අගසවු සැරියුත් මහරහතන් වහන්සේට සිව්පසයෙන් නිති උපස්ථාන කරති. ඔවුනට පිනැති පුත් රුවනක් ලැබිණ. එම කුමරු මව්කුස පිළිසිඳගත් තැන් පටන් නිවසෙහි වෙසෙන සියලු දෙනාම සුව සම්පතින් පිනා ගියහ. දුක් දොම්නස්, රෝග පීඩා යනාදී බාධක දුරු විය. මෙම කුමරු උපන් පසු ඔහුට නම් තැබීම සඳහා සැරියුත් මහරහතන් වහන්සේට ආරාධනා ලැබිණ. කුමරු මව්කුස පිළිසිඳගත් දා පටන් පවුලේ සියලු දෙන සුවසේ වැඩුණු බව දත් උන්වහන්සේ කුමරුට ‘සුඛ කුමාර’ යන නම තැබූහ.

යහතින් වැඩෙන කුමරු සත් හැවිරිදි වියේ දී පැවිදි වීමට කැමැත්තක් දැක්වී ය. සැදැහැවත් මව්පියෝ සැරියුත් මහතෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස කුමරු පැවිදි කර වූ හ. පැවිද්දෙන් පසු පණ්ඩිත සාමණේර නම ලෙස හැඳින්විණ. දිනක් සැරියුත් මහතෙරුන් වහන්සේ සමඟ පණ්ඩිත සාමණේරනම පිඬු සිඟා වඩිමින් සිටියහ. අතරමග දී ඇල මාර්ග ඔස්සේ ඒ ඒ තැන් කරා දිය ගෙන යන්නන් පිරිසක් සාමණේර නමට දැක ගැන්මට ලැබුණි. මොවුහු කුමක් කරත්දැයි, සැරියුත් තෙරුන් ගෙන් විමසී ය. මොවුන් කුඹුරු වගාවන් සඳහා ඒ ඒ තැන් දක්වා ජලය ගෙනයන බව සැරියුත් තෙරණුවෝ වදාළහ.

තවත් මද දුරක් ගමන් කරන විට සාමණේර හිමියන්ට දැකගත හැකි වූයේ ඊතල ගින්නෙන් තවමින්, ඇස් අගින් බලා ඇද හරින හී වඩුවන් පිරිසකි. තවත් මද දුරක් ඉදිරියෙන් ලී දඬු නැවීම්, ඇද හැරීම් යනාදී සියුම් වැඩ මගින් රථවල නිම්වළලු සකස් කරන පිරිසක් දැකගත හැකි විය. පසුව පිණ්ඩපාත ගමන නතර කළ සාමණේර හිමි පෙරළා විහාරගෙය තුළට පිවිසියේ ය. මග දී දුටු මෙම සිද්ධි තුන නිමිති වශයෙන් ගෙන තමා ම තමන් දමනය කරගත යුතු ආකාරය නුවණින් මෙනෙහි කිරීමට තරම් උන්වහන්සේ ප්‍රඥාවන්ත වූ හ. සිත් පිත් නැති ජලය වැනි ඉතා සියුම් දේත් යකඩ, ලී දඬු වැනි ඉතා තද දේත් කීකරු කොට ඒ ඒ කාර්යයෙහි යොදා ඉන් ප්‍රයෝජන ලබන අයුරු නුවණින් මෙනෙහි කළහ. සිත නොයෙක් අරමුණු කරා විසිර යා නොදී එක් අරමුණක තබා ගත්හ. සහජයෙන් ම නුවණැති උන්වහන්සේ තමා ගේ සිත තමා විසින් ම පාලනය කරන ලදුව මාර්ගඵලාවබෝධය ලැබූහ.

මෙම අපූර්ව සිදුවීම නිමිති කරගත් බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපයේ දී මෙසේ වදාළහ.

උදකං හි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තෙජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති පණ්ඩිතා

දියාලුවෝ (වාරිමාර්ගකරුවෝ) තමන් රිසි තැනට දිය පමුණුවති. හී වඩුවෝ හී ඇද හරිති. ලී වඩුවෝ ලී දඬු තමන් රිසි අතකට නමති. නුවණැත්තෝ තමන් දමනය කරති.

මෙමඟින් ඉගැන්වෙන්නේ ආත්ම දමනය පිළිබඳවයි. පාලි භාෂාවෙහි මෙම ‘අත්ත’ යන පදයෙහි ‘ආත්මය’ යන තේරුමක් නොමැත. එමගින් ‘තමා’ යන සරල අර්ථය ගෙනදෙයි. සුප්‍රකට ‘අත්තාහි අත්තනො නාථො’ යන පාඨයෙහි අදහස ද ‘තමාම තමාට පිහිටය’ යන්නයි. මහා පරිනිබ්බාන සූත්‍රයෙහි එන ‘අත්ත දීපා විහාරථ අත්තසරණාන අනඤ්ඤ සරණා’ යන්නෙන් කියවෙන්නේ ද තමා දිවයිනක් හෙවත් පිහිටක් කරගෙන, තමා සරණ කරගෙන, අනෙකෙකු සරණ කර නොගෙන වෙසෙනු යන්නයි. මේ අනුව විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ ඖෂධ භාවිත කිරීමෙන් රෝග සුවය සිදු වන්නාක් සේ ධර්මයෙහි හැසිරීමෙන් ම ආත්ම දමනය සිදු වන බවයි.

කෙලෙස් මැඩීම පිණිස ගන්නා උත්සාහය මෙහි දී ප්‍රධානත්වය ගනියි. කාම රාගය දුරු කිරීමට කායගතා සතිය හෙවත් පිළිකුල් භාවනාවත්, ක්‍රෝධය දුරු කිරීමට මෛත්‍රී භාවනාවත්, ඊර්ෂ්‍යාව දුරු කිරීමට මුදිතාවත්, මෙහි දී මහෝපකාරී වෙයි. ආත්ම දමනයේ විශේෂ ලක්ෂණය ඉවසීමයි. සුනාපරන්තයේ පුණ්ණ හිමි බුදුරදුන් සමග කළ සංවාදය ඊට වැදගත් ම නිදසුනකි.

දිනක් පුණ්ණ හිමියෝ ස්වකීය ගමට යනු කැමැතිව බුදුරදුන් වෙත ගොස් භාවනා කිරීමට කමටහන් ඉල්ලා සිටියහ. එවිට බුදුරදුන් විමසූයේ, පුණ්ණ සුනාපරන්තවාසීහු ඉතා නපුරු ය. චණ්ඩ ය. එහි දී ඔවුහු ඔබට බනිත් නම්, තර්ජනය කරත් නම් කෙසේ සිතන්නෙහි ද?

එවිට පුණ්ණ තෙරණුවෝ මෙසේ පැවසූහ.

ස්වාමීනි, මට ඔවුන් බැන්නත්, තර්ජනය කළත්, අතින් පයින් නොගසනු ඇත. එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැයි මම සිතමි.

බුදුරදුන් – ඔවුන් අතින් පයින් ගැසුවොත් කෙසේ සිතනවා ද?

පුණ්ණ හිමි – අතින් පයින් ගැසුවත් ගල් මුල්වලින් නොගසනු ඇත. එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැයි සිතමි.

බුදුරදුන් – ගල් මුල්වලින් ගැසුවොත් කෙසේද?

පුණ්ණ හිමි – එසේ වුවත් ඔවුන් මට පොලුවලින් නොගසනු ඇත. එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැයි සිතමි.

බුදුරදුන් - පොලුවලින් ගැසුවොත් කෙසේද?

පුණ්ණ හිමි – ආයුධවලින් පහර නොදෙනු ඇත. එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැයි, සිතමි.

බුදුරදුන් – ආයුධවලින් පහර දුන්නොත් කෙසේද?

පුණ්ණ හිමි – ආයුධවලින් පහර දුන්නත් ඔවුන් මා නොමරනු ඇත. එහෙයින් හොඳ මිනිසුනැයි සිතමි.

බුදුරදුන් – ඔවුන් ඔබ ඝාතනය කළේ නම්, ඒ අවස්ථාවේ කෙසේ සිතනවාද?

පුණ්ණ හිමි – භාග්‍යවතුන් වහන්ස, ශරීරය හා ජීවිතය ගැන කළකිරී දිවි නසා ගැනීමට ආයුධ සොයන පැවිද්දෝ ද බුදුසසුනෙහි සිටිති. මට එය නො සොයා ම ලැබුණේ යැයි, සිතමි.

එම පිළිතුරු අසා ඉමහත් ප්‍රසාදයට පත් බුදුරජාණන් වහන්සේ සාධුනාද දී ‘මෙතරම් ඉවසීමක් ඇති ඔබට සුනාපරන්තයෙහි විසිය හැකි වන්නේ යැ’යි වදාරා සමුදුන්හ. පුණ්ණ තෙරණුවෝ ස්වකීය ගම වූ සුනාපරන්තයට ගොස් වස් වසා උවසු උවැසියන් දහසක් පමණ ඇති කොට බවුන් වඩා රහත් වූ හ. ඒ ආත්ම දමනයෙහි බලය යි.