Print this Article


රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම සදහම් මැදුර

රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම සදහම් මැදුර

"එදා පැවැති උපසම්පදා පින්කමට සහභාගි වීමට තාවකාලිකව මඩු කූඩාරම් තැනුයේ ඒ අසල වූ පැරැණි බෝ රුක් සෙවණක ය. එම පින්කමින් පසු අතහැරුණු මඩු කූඩාරම් ප්‍රයෝජනයට ගනිමින් ආරාමයක් කොට ගෙන එහි මුලින් ම වැඩ සිටියේ බටුගෙදර සුධම්ම හිමිපාණන් ය. පසු කලෙක උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ රත්නපුර දිසා පාලක ධුරන්ධර පදවියෙන් ද පිදුම් ලදහ."


විහාරාධිපති
මාවෙල සුමන හිමි

පින්නවල සිරිසුජාත හිමි

රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම විහාරය රත්නපුර නගර මධ්‍යයෙහි සීමිත වූ කුඩා බිම් කඩක පිහිටියේ වුව ද, ප්‍රදේශවාසී ජනතාවට අසීමිත වූ මෙහෙවරක් ඉටු කරන්නා වූ මහා පුණ්‍ය භූමිය කි. සීමිත බිම්කඩ මනා කළමනාකරණයකින් යුතුව ප්‍රයෝජනයට ගනිමින් මහා විහාරයක තිබිය යුතු සියලු විහාරාරාංග ස්ථාපිත කොට ඇති ශ්‍රී බෝධිරාජාරාම විහාරය පින්කෙත කි.

විහාරස්ථානයට මෙන්ම ප්‍රදේශයට ද විශාල අඩුවක්ව, පැවැති ධර්මශාලාව, දේශන ශාලාව, රැස්වීම්ශාලාව වැනි අවශ්‍යතා සපුරාලන්නට එහි අභිනවයෙන් ඉදි වූ සිව්මහල් මන්දිරය සබරගමු පළාත ට ම ඇති එවන් ඉදිකිරීම් ලෙස හඳුන්වා දිය හැක. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් අප්‍රේල් 7 වන දා ඉරිදා සවස 2.00 ට එම සදහම් මන්දිරය විවෘතවීමට නියමිත ය.

රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ඉතිහාසය ආරම්භ වන්නේ 1937 වසරෙනි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 1937 දී රත්නපුර නගරාසන්නව කළු ගඟේ වරකාතොට දී පැවැති උපසම්පදා මහා පින්කම බෝධිරාජාරාම විහාරයේ ඉතිහාස කතාවේ මූලාරම්භය යි. එදා පැවැති උපසම්පදා පින්කමට සහභාගි වීමට තාවකාලිකව මඩු කූඩාරම් තැනුයේ ඒ අසල වූ පැරැණි බෝ රුක් සෙවණක ය. එම පින්කමින් පසු අතහැරුණු මඩු කූඩාරම් ප්‍රයෝජනයට ගනිමින් ආරාමයක් කොට ගෙන එහි මුලින් ම වැඩ සිටියේ බටුගෙදර සුධම්ම හිමිපාණන් ය. පසු කලෙක උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ රත්නපුර දිසා පාලක ධුරන්ධර පදවියෙන් ද පිදුම් ලදහ. සුධම්ම හිමිපාණන් වහන්සේ නොබෝ කලකින් ම එම බෝ රුක් සෙවන රත්නපුර නාගරික ජනතාවගේ ආගමික වතාවත් ඉටු කරන මහ පන්සලක් බවට පත් කළේ එම පන්සල ශ්‍රී බෝධිරාජාරාම විහාරය ලෙස ප්‍රසිද්ධ කරමින් පමණක් නොව විහාරය පැරැණි වරකාතොට පාරට “ශ්‍රී බෝධිරාජාරාම මාවත” යනුවෙන් නම් තබමිනි.

සුධම්ම හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති පදවියට පත් වන්නේ එවකට තරුණ හිමිනමක් වූ මාවෙල සුමන හිමියන් ය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරා රජයේ ගුරු සේවයට එක්ව සිටි උන්වහන්සේ රාජකාරිය තරම ට ම තමා වෙත පැවරුණ විහාරාධිපති පදවියේ වගකීම ද මැනවින් ඉටු කළහ. ගුරු හිමියන් අත තැබූ වැඩ නිම කිරීමට නොහැකිව තිබූ ඇතැම් විහාරාරාංග පමණක් නොව අලුත් නිර්මාණ ද බෝධිරාජ විහාරයට එක් කිරීමට උන්වහන්සේ කටයුතු කළහ.

නිතිපතා සවස් යාමයෙහි බෝධිරාජාරාම විහාරයේ පැවැත්වෙන බෝධි පූජා පින්කම සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා දින දෙකෙහි ම පැවැත්වෙන දහම් පාසල සහ පෝදා සීල සමාදාන වැඩසටහන සහ තරුණ කොටස් සහභාගිත්වයෙන් පිහිටුවාගෙන ඇති මිණිපුර සදහම් පදනම ද නිසා බෝධිරාජාරාම විහාරය ද විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු එහි වසන ස්වාමීන් වහන්සේලා ද දායක කාරකාදීන් වෙත පමණක් නොව නගරවාසීන් ට ද වඩාත් සමීපව සිටිති.

සතියේ සෑම සෙනසුරාදාවකම ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් පැවැත්වෙන දහම් පාසලට දරුවන් සහභාගී කරවීම සඳහා නගරයෙන් ඈත මව්පියෝ ද එක්ව සිටින්නේ එහි වැදගත්කම අවබෝධ කරගෙන ඇති නිසා ය. විහාරාධිපති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනයෙන් යුතුව පින්නවල සිරි සුජාත හිමිපාණෝ එම භාරධූර කාර්ය ඉටු කරනු ලබන්නේ එයට ම සරිලන ගුරු මඩුල්ලක් ද සමගිනි. දහම් පාසල් සිසු දරුවෝ විවිධ දස්කම් පාති. ධර්ම විෂයෙන් පමණක් නොව යහපත් සමාජයකට නිසි රිසි දරුවන් බිහි කිරීමේ වගකීම ද ඒ සඳහා අවශ්‍ය නායකත්වය ට ද ඔවුන් හුරු කරවති. එම කටයුතු සඳහා ඔවුනට අවශ්‍ය පහසුකම් සැපයෙන්නේ වැඩිහිටි තරුණ පිරිස පවත්වාගෙන යන මිණිපුර සදහම් පදනම හරහා ය. ශ්‍රී බෝධිරාජාරාම විහාරය ආශි‍්‍රතව පවත්වාගෙන යන දහම් සරසවිය ද එවැනිම වූ සුවිශේෂී ආයතනයකි.

ශ්‍රී බෝධිරාජාරාම විහාරයට එම කටයුතු සිදුකරගෙන යාම සඳහා තිබුණේ ටකරන් යෙදූ තාවකාලික ආවරණ කිහිපය කි. නිතර නිතර උතුරා යන කළු ගඟ බෝධිරාජාරාම පන්සල් බිම පමණක් නොව එහි ගොඩනැගිලි ද අවුරුද්දට දෙතුන් විටක් ම අනුකම්පා විරහිතව ම යට කරගෙන යන්නේ ඇතැම් ගොඩනැගිලි සහ උපකරණ ද ගඟ දියට එක් කරවමිනි. වසරක් පාසා සිදුවන එම විනාශයට ස්ථාවර විසඳුමක් සොයා ගැනීමට කවදා හැකිවේදැයි යන සිහිනයක් විහාරාධිපති හිමිපාණන්ට දැනුණේ බොහෝ කලකට ඉහතදී ය. එහෙත් එය සිහිනයක් පමණක් ම දැයි උන්වහන්සේට සිතුන වාර අපමණ ය.

උන්වහන්සේ තමන්ගේ අභිප්‍රාය දායකකාරකාදීන්ට පැවසූහ. හිතවත් දේශපාලකයින්ට කීහ. දන්නා හිත මිතුරන්ට විහාරයට යන එන අයට කීහ. ජාති ආගම් භේදයකින් තොරව සියල්ලෝම උන් වහන්සේගේ ඉල්ලීමට කන් දුන්හ. ගඩොලින් ගඩොල, මහලින් මහල ඉහළට නැඟුන සිව්මහල් මන්දිරය ඉදි වී හමාර ය. පක්ෂ භේදයකින් තොරව ප්‍රදේශයේ දේශපාලකයෝ ද, ඇති හැකි අයුරින් නොව ඉහළින් ම උපකාර කළහ. විශේෂත්වය වන්නේ අසල්වැසි අන්‍යාගමික ව්‍යාපාරික පිරිස් ලක්ෂ ගණනින් ඒ සඳහා ආධාර කිරීම ය. ඒ සුවිසල් මන්දිරය බෝධිරාජ සදහම් මැදුර නමින් අප්‍රේල් 7 වන දා විවෘත කෙරේ.