Print this Article


මල්වතු මහා නාහිමියන් වෙතින් සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා ශ්‍රී සන්නස් පත්‍ර ලබයි

මල්වතු මහා නාහිමියන් වෙතින් සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා ශ්‍රී සන්නස් පත්‍ර ලබයි

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරනු ලබන ජාතික, ආගමික හා ශාසනික සේවාව සැලකිල්ලට ගනිමින් ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංසත් වර්ගික කාරක මහා සංඝ සභාව මගින් ඒ මහතාට ''ශාසන දීපන අභිමානි ශ්‍රී ලංකා ජනරංජන'' ගෞරව නාමය ඉකුත් දා (31) මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී පිරි නමනු ලැබී ය.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගරුතර කාරක සංඝ සභික හිමිවරු මංගල උපෝෂථාගාරයට වැඩම කිරීමෙන් පසු මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි අනු නාහිමියන් විසින් පිරිස පංචශීලයේ පිහිටුවා විශේෂ අනුශාසනාවක් පවත්වමින් සජිත් ප්‍රේමදාස මහතාට එම ගෞරව නාමය පිරි නැමීමට හේතු පැහැදිලි කිරීමක් කරනු ලැබූහ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ මැති ඇමැතිවරු රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

අස්ගිරි මහා විහාර පාර්ශ්වය නියෝජනය කරමින් එම පාර්ශ්වයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වේඬරුවේ උපාලි, මහියංගන රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත, මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද, නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරංපනාවේ ආනන්ද, කාරක සංඝ සභික, ඓතිහාසික බදුලු මුතියංගණ රජමහ විහාරස්ථ භාරකාර මුරුද්දෙණියේ ධම්මරතන යන නාහිමිවරු එම අවස්ථාවට වැඩම කර සිටියහ. ගෞරව නාම ශ්‍රී සන්නස් පත්‍රය මල්වතු පාර්ශ්වයේ වැඩ බලන ලේඛකාධිකාරී, ඓතිහාසික සෝමවතී රජමහ විහාරාධිපති පහමුණේ සුමංගල නාහිමියන් විසින් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු එය මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට පිරි නමනු ලැබූහ. අනතුරුව එම සන්නස් පත්‍රය මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් සජිත් ප්‍රේමදාස මහතාට යළි පිරි නමනු ලැබුවේ උන්වහන්සේලාගේ ආශීර්වාදය ද සමගිනි.

මල්වතු මහා විහාර පාර්ශ්වය මගින් මෑත කාලීනව හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පමණක් ගෞරව නාම ලබා දී තිබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතාට මෙය ලබා දීමට මල්වතු මහා නාහිමියන් ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව තීරණය කළේ කල්යල් හොඳින් බලා බවත් පහමුණේ සුමංගල නාහිමියෝ පැවසූහ.


සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා ශාසන දීපන අභිමානි ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාම ලබයි

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මැතිතුමා මාර්තු මස 31 වන ඉරුදින මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක සංඝ සභාව විසින් “ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන” ගෞරව නාමය පිරිනැමීම නිමිත්තෙනි.

ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති ශ්‍රීමත් රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමන්ගේ සහ හේමා පේ‍්‍රමදාස ආර්යාවගේ පින්වත් පුත් රුවනක් ලෙස 1967 ජනවාරි 12 දින ජන්මලාභය ලද මේ පුණ්‍යවන්ත කුමරුවා රණසිංහගේ සජිත් පේ‍්‍රමදාස නම් විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් හා කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා එංගලන්තයේ හා ඇමරිකාවෙන් උසස් අධ්‍යාපනය ලබා බම්බලපිටියේ සිරි වජිරාරාම දහම් පාසලෙන් දහම් අධ්‍යාපනය ලබා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයෙන් අධ්‍යාත්මික වටපිටාව ඔප්නංවාගත් සජිත් පේ‍්‍රමදාස මහතා 1993 දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට අත්පොත් තැබී ය. බලාපොරොත්තු නොවූ අවස්ථාවක රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමන් රටට අහිමි වූ මොහොතක වේදනාව සහ කඳුළු යටකර ගනිමින් හේමා පේ‍්‍රමදාස ආදරණීය මවගේ සහ එකම සහෝදරිය දුලාංජලී පේ‍්‍රමදාස සොහොයුරියගේ ආශිර්වාදයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන වේගවත් සංවර්ධනයක් හම්බන්තොට ට උරුම කරන්නට තරුණ දිවිය කැප කළහ. 1994 පැවති ප්‍රථම මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පළමු වැනියා වෙමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත්විය. එතැන් පටන් අපරාජිත දේශපාලනඥයෙක් ලෙස ඉදිිරිපත් වූ සෑම මැතිවරණයකින් ම වැඩිම ප්‍රතිශතය ලබාගත් මන්ත්‍රීවරයා වීම විශේෂත්වයකි. 2002 -2004 වකවානුවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එතුමා අමාත්‍ය තනතුර අහිමි වුවත් විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස විපක්ෂයේ කාර්ය භාරය මැනවින් අවබෝධ කර ගනිමින් ජනතා සේවාව තව තවත් වේගවත් කරවී ය.

රටේ සම්භාවනීය වැදගත් පරපුරකට උරුමකම් කියන ජලනී සමඟ යුග දිවියට පත්වන සජිත් පේ‍්‍රමදාස මැතිඳුන් ඇයගේ ද සහාය ලබාගෙන ජනතාවට සහන සලස්වන්නට කැපවීමෙන් කටයුතු කරයි. විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස සසුනට අරුණ වැඩ සටහන ක්‍රියාත්මක කරමින් ඉතා දිළිඳු විහාරස්ථාන ගොඩනඟන්නට උත්සාහ ගන්නා මෙතුමා අන්‍ය ආගමික, අන්‍ය ජාතික .ආගමික මධ්‍යස්ථානවලට ද දැක්වූ මූල්‍යමය දායකත්වය ප්‍රසංශනීය යි. ඊට අමතරව ජන සුවය වැඩසටහන ක්‍රියාත්මක කරමින් හම්බන්තොට ජනතාවට පිළිසරණ වූ ආකාරය හම්බන්තොට ජනතාව සිහිකරන්නේ කෘතවේදිත්වයෙනි.

යහපාලන රජයේ නිවාස ඉදිකිරීම් හා සමෘද්ධි අමාත්‍යාංශයේ වගකීම බාරගන්නා එතුමා කැබිනට් ඇමැතිවරයෙකු ලෙස තම කාර්යභාරය සෝභා සම්පන්න ලෙස දියත් කරමින් සමෘද්ධි ලාභින්ට සහන ක්‍රමයකට මුදලක් ලබා දෙමින්, නිවාස තනන්නට නිවාස ණය ලබා දෙමින් සජිත් පේ‍්‍රමදාස මහතා සැමට සෙවන යළි පිබිදෙන උදා ගම්මාන මේවනවිට 182 ක් නිමා කරමින් ජනතා අයිතියට පත්කර ඇත. මේ වන විට දිවයින පුරා උදාකළ ගම්මාන 1926 ක් ඉදිවෙමින් පවතී. වකුගඩු රෝගීන් සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට, කලා ක්ෂේත්‍රයට,ආබාධිත රණවිරුවන්ට, වතුකරයේ නිවාසලාභීන්ට යන ක්ෂේත්‍රයන් සඳහා ඉටුකරන කාර්ය භාරය අති මහත් ය. දානපතියන්ගේ ආධාර උපකාර මත දිවංගත ශී‍්‍රමත් රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමන්ගේ 94 වන ජන්ම දිනයට සමගාමීව සසුනට අරුණ වැවයි දාගැබයි ගමයි පන්සලයි වැඩසටහන තුළින් චෛත්‍ය නොමැති විහාරස්ථානවලට චෛත්‍ය සාදා පූජා කිරීම විශේෂයෙන් අගය කළ යුතු මහා පින්කමකි.

සංස්කෘතික අමාත්‍යවරයා ලෙස අඩුපාඩුකම් සහිත දහම් පාසල් සඳහා 60ය20 අංග සම්පූර්ණ දහම් පාසල් ශාලා 259 ක වැඩ අරඹා ඇත. අංගම්පොර සටන් කලාව නීත්‍යානුකූල කිරීම, පුරා විද්‍යා ස්මාරකවලට හානි කරන්නන්ට දැඩි දඬුවම් ලබාදීම වැනි නිර්භීත තීරණ ගැනීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්වී ඇත. මෙවන් උදාර ජාතික ආගමික සාමාජික මෙහෙවරක් කරන සජිත් පේ‍්‍රමදාස මැතිතුමාට ගෞරව නාමයක් පුද කරන්නට මල්වතු මහා විහාරය ගත් ප්‍රශංසනීය පියවර මුළු මහත් ලාංකිකයන්ගේ ම නොමද ගෞරවයට පාත්‍ර වන බව ගෞරවයෙන් සටහන් කරමි.