Print this Article


ශ්‍රී පඤ්ඤාවාස වංසාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝසෝභන ගෞරව නාමයෙන් පිදුම් ලබන මාපලගම චන්දෝදය නා හිමි

ශ්‍රී පඤ්ඤාවාස වංසාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝසෝභන ගෞරව නාමයෙන් පිදුම් ලබන මාපලගම චන්දෝදය නා හිමි

මාපලගම ශ්‍රී අතුලදර්ශනාරාමය, උඩලමත්ත ශ්‍රී බෝධිරාජාරාමය, කුඹුරුහේන ශ්‍රී පඤ්ඤාවාස බෞද්ධ මධ්‍යස්ථාන යන විහාරස්ථානයන් හි විහාරාධිපති වූ, ගා/නාගොඩ රාජකීය පාසලේ හිටපු නියෝජ්‍ය විදුහල්පති වූ ශාස්ත්‍රපති මාපලගම චන්දෝදය නාහිමිපාණන් ට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මාහිමියන් ප්‍රධාන කාරක මහා සංඝ සභාව මඟින් “ශ්‍රී පඤ්ඤාවාස වංසාලංකාර සද්ධර්මකීර්ති ශ්‍රී සංඝ සෝභන” යන ගෞරව නාමය පිරි නැමීම පිළිබඳ උපහාර පූජෝත්සවය මෙම මස 30 වන දින ගාල්ල මාපලගම අතුලදර්ශනාරාමයේ දී පැවැත් විණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මාහිමිපාණෝ උත්සව සභාවේ මුලසුන හෙබවූ අතර තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය මෙන්ම කතානායක කරු ජයසූරිය මැතිතුමා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වීමට නියමිතව තිබිණි.

මාපලගම කුඹුරුහෙන ගම් පියසේ විසූ සම්භාවනීය පවුලක් වූ කහවෙගුරුගේ පුඤ්චිසිඤ්ඤෝ මහත්මාට හා ඉලේසිංහ කංකානම්ගේ කරලිනා මහත්මියට උපන් දරුවන් අට දෙනා අතර තුන්වැනියා ලෙස 1939 පෙබරවාරි 04 වැනි දා මාපලගම චන්දෝදය නාහිමි ජන්ම ලාභය ලැබී ය. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මාපලගම බෞද්ධ මිශ්‍ර විද්‍යාලයෙනි.

පුරාකෘත පුණ්‍යමහිමය නිසා දෝ මාපලගම අතුලදර්ශනාරාමාධිපති මාපලගම පඤ්ඤාවාස මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1954 ජුනි 03 දින මාපලගම චන්දෝදය යන නමින් ශාසනයට ඇතුළත් විය. 1954 වසරේ මාපලගම විද්‍යාතිලක පිරිවෙණට ඇතුළත් වූ චන්දෝදය හිමියෝ 1959 වසර දක්වා එහි අධ්‍යාපනය ලැබූ අතර 1959 හා 1960 වර්ෂයන්හි නිට්ටඹුවේ විද්‍යානන්ද පිරිවෙනට ඇතුළත්ව අධ්‍යාපනය ලබා නැවතත් මාපලගම විද්‍යාතිලක පිරිවෙණට ඇතුළත්ව බෞද්ධාචාර්ය විභාගය (සිංහල, පාලි, පිරිත් සහ අභිධර්ම යන විෂයයන්) ගෞරව පන්තියෙන් සමත් වූහ. 1960 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ද, 1961 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගය ද විශිෂ්ට ලෙස සමත්ව මාපලගම විද්‍යාතිලක පිරිවෙණෙන් විශ්වවිද්‍යාලයට තේරී පත් වූ ප්‍රථම ශිෂ්‍යයා ද විය.

1962 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ චන්දෝදය හිමියෝ 1965 වසරේ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. 1995 වසරේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගත්හ. පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාව ද විශිෂ්ට ලෙස සමත් වූහ.

1964.05.29 දින ගා / මහමෝදර උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාව ද ලබා ගත්හ.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු චන්දෝදය හිමියන් 1965 වසරේ මාපලගම, විද්‍යාතිලක පිරිවෙණේ ආචාර්යවරයෙකු ලෙස සේවයට එක් වූහ. ඉන් පසු රජයේ පාසල් ගුරුවරයෙකු ලෙස හුංගම විජයබා මධ්‍ය මහා විද්‍යාලය, නියාගම විජිත මහා විද්‍යාලය, මීපාවල අමරසූරිය මධ්‍ය මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි සේවය කරනු ලැබූහ. නියෝජ්‍ය විදුහල්පති ලෙස මාපලගම මධ්‍ය මහා විද්‍යාලයේ දස වසරක් ද, නෙලුව මධ්‍ය මහා විද්‍යාලයේ දෙවසරක් සහ නාගොඩ රාජකීය විද්‍යාලයේ 1986 සිට 1997 දක්වා කාලය තුළ සේවය කළහ.

මාපලගම මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කළ යුගයේ උසස් පෙළ කලා හා වාණිජ විෂය ධාරා යටතේ පන්ති ආරම්භ කරමින් බොහෝ සිසු පිරිසකට විශ්වවිද්‍යාල වරම් හිමි කර දුන්හ.

නාගොඩ රාජකීය ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති ධූරයෙන් විශ්‍රාම ගත් පසු 1988 පෙබරවාරි මස සිට උඩුගම, විද්‍යා කීර්ති පිරිවෙණේ පරිවෙණාධිපති ධූරයට පත්ව දෙවසරක් කටයුතු කළහ.

1997 වසරේ මාපලගම, අතුලදර්ශනාරාම පුරාණ විහාරාධිපති ධූරයට පත් වූ උන්වහන්සේ අබලන්ව පැවැති විහාරය, ආවාසය, පොහොය ගෙය ප්‍රතිසංස්කරණය කරවූ අතර දර්ශනීය නව ධර්ම ශාලාවක් ද ඉදි කරවූහ. 1997 වසරේ මුළු දිවයිනටම සාමවිනිසුරුධූරයක් ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගාල්ල ප්‍රාදේශීය සංඝ සභාවේ ලේකම් ධූරය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගාල්ල ප්‍රාදේශීය සංඝ සභාවේ අනුවිජ්ජක ධූරය (2005 – 2007)

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගාල්ල ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති ධූරය ( 2007 – 2010 )

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පාලක සභාවේ කාරක සභික ධූරය (2010 සිට මේ දක්වා) දැරූහ.කාව්‍ය රචනය, නාට්‍ය නිර්මාණය හා ගීත ප්‍රබන්ධය කිරීම උන්වහන්සේ සතු සුවිශේෂී දක්ෂතාවකි.