Print this Article


මහා කොට්ඨිත මහරහතන් වහන්සේ

මහා කොට්ඨිත මහරහතන් වහන්සේ

අත්ථ,ධමිම,නිරුක්ති,පටිසම්භිදා යන සිව්පිළි සිඹියාපත්හි දක්ෂ භාවය ඇති භික්ෂූන් අතුරෙහි මහා කොට්ඨිත මහරහතන් වහන්සේ අග තනතුර ලැබූ සේක.අනෙක් ප්‍රසිද්ධ මහරහතන් වහන්සේලාගෙන් මෙන්ම බුදුරජාණන් වහන්සේගෙන් ද පටිසම්භිදා ධර්මයන් ගැනම කරුණු විචාරණ හෙයින් මහා කොට්ඨිත මහරහතන් වහන්සේ පටිසමිභිදාවට පැමිණි භික්?ෂූන් අතුරෙහි අග්‍ර යයි දක්වනු ලැබේ.

මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි විශ්වයේ පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ සමයෙහි හංසවතී නුවර මහත් සම්පත් ඇති කුලයක උපන් මහා කොට්ඨිත මහරහතන් වහන්සේ එකල බුදුරජාණන් වහන්සේගෙන් බණ අසන අවස්ථාවක එක් භික්ෂුවකට සිව්පිළිසිඹියාවට පැමිණි භික්ෂූන් අතුරෙහි අග්‍රස්ථානය තබනු දැක තමා ද අනාගතයේ දී බුදුකෙනෙකුගෙන් එම අග තනතුර ලබන අදහස ඇති විය.

හෙතෙම සත්දිනක් පුරාවටම බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට මහදන් පවත්වා නේකවිධ පින් දහම් සිදුකොට, ස්වකීය අභිප්‍රාය බුදුරජාණන් වහන්සේට දන්වා සිටියේය.බුදුරජාණන් වහන්සේ අනාගතය දෙස බලා එය සඵල වන බව දැන ‘කුල පුත්‍රය’ තොපගේ ප්‍රාර්ථනාව මෙයින් කල්ප ලක්ෂයකට මත්තෙහි බුදුවන ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සඵල වන්නේයැ විවරණ දුන් සේක.හෙතෙම අපමණ පින් දහම් සිදුකර, සසර සැරිසරා, දෙවි මිනිස් සැප විඳ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි සැවැත් නුවර බමුණු කුලයක කොට්ඨිත මානවක නමින් ප්‍රසිද්ධ ව වාසය කළේ ය.ත්‍රිවේදය ඉගෙන එහි පරතෙරට පැමිණ වාසය කරන කල්හි එක්තරා දිනක සැවැත් නුවර ජේතවනාරාමයට පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කර පැවිදි විය.පැවිදි භාවයට පත් වූ මහා කොට්ඨිත තෙරණුවෝ නොබෝ කලකින් සිවිපිළිසිඹියා පත් රහත් භාවයට පැමිණි සේක.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපර භාගයේ දී මහා බෝධීත මහ රහතන් වහන්සේ විසින් දේශනා කරන ලද අති ගම්භීර වූ මහා වේදල්ල සූත්‍රය අරමුණු කොට ගෙන භික්ෂු සංඝයා මධ්‍යයෙහි මහා කොට්ඨිත මහරහතන් වහන්සේ අමතා එතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛූනං පටිසමිභිදාපත්තානං යදිදං මහා කොට්ඨිත යනුවෙන් වදාරා මහා කොට්ඨිත මහරහතන් වහන්සේහට පටිසම්භිදා ප්‍රාප්ත භික්ෂූන් අතුරෙහි අග තනතුර දුන් සේක.