Print this Article


මරණය අබියස සිනහව

මරණය අබියස සිනහව

දවසක් වනාන්තරයක දී රජ කෙනෙක් ඊතල පහරකට ගොදුරු වුණා. ඒ මොහොතේ කළ යුතු හොඳම දේ නම් කුමක් ද? වෙදෙක් ළඟට ගෙන යාමයි. එසේත් නැතිනම් වෙදෙක් කැඳවා ඊතලය ගලවා බෙහෙත් කිරීමයි. ඒත් සිදුවූයේ කුමක් ද? බෙහෙත් කරනවා වෙනුවට රජතුමා ප්‍රශ්න අසන්නට පටන් ගත්තා.


අජාන් බ්‍රහ්මවංසෝ හිමි

“මේ ඊතලය විද්දේ කවුද?”

“ඊතලය ආවේ කොයි පැත්තක සිට ද?”

“එය සාදා තිබෙන්නේ කවර ලෝහයකින් ද?”

මේවා ඒ අවස්ථාවේ හැටියට නම් හරි ම මෝඩ ප්‍රශ්න, කෙනෙක් දුකට, වේදනාවට, කරදරයකට පත් වූ විට කළ යුතු දේ කරනවා මිස මෙවැනි අනවශ්‍ය ප්‍රශ්න කුමට ද?

“මට මෙහෙම කළේ ඇයි?”

“මට මෙහෙම කළේ කවුද?”

මෙවැනි ප්‍රශ්න අසමින් කාලය නාස්ති කරනවා වෙනුවට කළයුතු , හොඳම දේ කිරීමයි. දෝෂාරෝපණය කිරීම, කෝපවීම, සිදු වූ දෙය පිළිබඳ යම් දෙයකට වරද පැටවීම ආදියෙන් සිදු වන්නේ කාලය නැති නාස්ති කිරීමයි.

ඒ වෙනුවට ඒ සම්බන්ධව කටයුතු කිරීමට අප වෙත ඇති ශක්තිය විශ්මය ජනකයි. සිදු වූ දෙයින් ලස්සන දෙයක් නිර්මාණය කළ හැකියි. කෙනෙක් කායික මානසික වේදනාවන්ගෙන් පෙළෙන විට දැන් නම් කරන්න දෙයක් නැතැයි සමහරු සිතනවා. එය වැරැදියි. සැමවිට ම කරන්න දෙයක් ඉතිරි වී තිබෙනවා. සිදු වූයේ කුමක් වූව ද ඒ සිදු වූ දෙයින් හරිම ලස්සන අත්දැකීමක් විඳගන්නට හැකි වෙනවා.

බෞද්ධ ආකල්ප අනුව අප අප්‍රමාණ දුක් පීඩාවන්ට ගොදුරු වී සිටියත් සිත අවුල්නොකර යමක් කරන්නට පුළුවන්.

බොහොම ඉස්සර මගේ ධර්ම දේශනාවන් ඇසීමට දායක කාන්තාවක් නිතර ආවා. පන්සල හදන්නට ඇය උදව් කළා. පසු කලෙක ඇය පෙණහැල්ලේ පිළිකාවකට ගොදුරු වුණා. රෝගය නරක අතට හැරුණා. හුස්ම ගන්න අමාරු වුණා. වෛද්‍යවරු ඇයට රෝගය පිළිබඳව අනාවරණය කළා. ඇය හිත දැඩි කාන්තාවක්. රෝහලේ නතරව සිටිද්දී තමන් දැක බලා ගන්නට රෝහලට එන්න යැයි මට ආරාධනා කර තිබුණා.

“දොස්තර මහත්වරු මගේ පෙණහැල්ලේ පිළිකාවක් තිබෙන බව කිව්වා. මාරාන්තිකලු. දැන් කරන්නට කිසිම දෙයක් නැතිලු” ඇය මට දන්වා තිබුණා.

මේ දායිකාව දැක ගන්නට මා රෝහලට ගියා. ඒ මොහොත මට තවම හොඳට මතකයි. ඇය බොහොම වෙහෙසකර ස්වභාවයකිනුයි සිටියේ. හතියෙන් පෙළුණත් හොඳින් හිනාවෙමින් මා සමඟ විහිළු තහළු කළා. එහි දී අපි කතා කළේ මොනවා ගැන ද? ඇයගේ අවසාන කටයුතු කරන විදිහ ගැන සාකච්ඡා කළා. ඇයට දරුවන් සිව්දෙනෙක් හිටියා. බාලම දියණියට අවුරුදු නවයක් විතර ඇති. තව බොහොම කෙටි කාලයකින් තමන්ගේ මරණය සිදුවන බව ඇය දැන සිටියා. ඒ කාලය මාසයක් දෙකක් විය හැකියි. ඒත් ඇය බොහොම සැනසිල්ලේ සිටියා. සාමයෙන් කතා බහ කළා. ඒ හැසිරීම සිත් ගන්නා සුළුයි. ඇය බෞද්ධ කාන්තාවක්. මරණයට මුහුණ දෙනවා හැර ඒ ගැන කිසිදු දෙයක් කරන්නට බැරි බව ඇය දැන සිටියා. එසේ කරන්නට බැරිබව දැන සිටින්නේ නම් කළ යුත්තේ කුමක් ද? ඇය කටයුතු කළ ආකාරය හරිම සිත් ගන්නා සුළුයි. ඇය තම අවසාන කටයුතු පිළිබඳ සියලු දේ සුදානම් කළා . ඈ මිය ගිය පසු දරුමල්ලන් රැක බලා ගැනීම පිළිබඳව කටයුතු සූදානම් කළා.

මම ඇය සිටි කාමරයෙන් එළියට පැමිණ පිටතට පැමිණෙමින් සිටියේ. අතරමගදී මට රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙදියක් හමුවුණා.

“ඔබ අර ලෙඩා බලාගෙන එන ගමන් නේ ද? ඇය ගැන වැදගත් කාරණයක් කියන්න තිබෙනවා. එයට ඔබගේ උදව් ඕනෑ.” ඇය කීවා.

“මොකක් ද ප්‍රශ්නය?”

මම ඇයගෙන් ඇසුවා

“ඇය මරණයට ළං වී සිටින බව බාරගන්නේ නෑ. මරණය ළඟම බව දන්නේ නෑ.” ඇය කීවා.

එම කාන්තාව හා මා අතර සිදු වූ කතාබහ පිළිබඳව මම ඇයට කීවා.

පසුගිය පැයේ දී ඇය මා සමඟ ඇයගේ අවසන් කටයුතු කරන විදිහ ගැන කතා කළා. සැලසුම් කළා”

මම තවදුරටත් පැහැදිලි කළා.

ඒ ඇසූ හෙදිය හඬා වැළපෙන්නට පටන් ගත්තා.

“ඔබ හිත අවුල්කර ගන්න එපා. ඇය ඒ විදිහට ශක්තිමත් සිතින් හැසිරුණේ ඇය බෞද්ධ කාන්තාවක් නිසයි.”

මම ඇයට පැහැදිලි කර දුන්නා.

බෞද්ධයන් මිය යන්නේ කෙසේ ද යන්න පිළිබඳ මගේ මුල් ම අත්දැකීම එයයි.