Print this Article


රිදෙන සිත සුවපත් කරගන්නට

රිදෙන සිත සුවපත් කරගන්නට

සිත ක්‍රියාත්මක වන හැටි කල්පනා කර බලන්න. අප යම් ආහාරයකින් පී‍්‍රතියක් ලැබුවා යැයි සිතන්න. යම් ආහාරයක් ගැන තිබෙන ආශාව ඉවත් කරන්න කියල කවුරු හෝ තමන්ට කියා තිබෙනවා.

නමුත් තමන්ට එය ඉවත් කර ගන්නට බැරිව ඉන්නවා. නමුත් ඒවගේ රස බොහෝ පවතින වෙනත් ආහාරයක් තමන් වෙත කවුරු හෝ ගෙනැවිත් දෙනවා. තමා එය අනුභව කරනවා. ඒ අනුභව කළ සැණින් තමා එහි රසය වින්ඳා. ඒ රස විඳගත් සැණින් තමාගේ හිත ඉල්ලන්නේ අර පරණ ආහාරය විඳි රසය නොවෙයි. අලුත් ආහාරයෙන් ලද රසයයි. අර පරණ ආහාර රසය පිළිබඳ තිබූ ආශාව ඉවත්ව ගියා. ඒ මොහොත හිතේ වැඩිපුර සතුටක් ඇති වූ මොහොතක්. අපි මොනවා හෝ වැරැදි කර සතුටු වෙනවා. එබඳු සතුටක් අපි උපදවාගෙන තිබෙනවා. එහෙමත් නැති නම් මොනවා හරි දේ කර සතුටු වෙනවා. ඒ සියල්ල නැති වී යනවා මොහොතක් ගත වී යන විට.

සිල් ආරක්ෂා කිරීමෙන් යම්කිසිවෙක් සතුටක් සොයා ගත්තොත් අර පංචකාම සම්පත්තිය සඳහා හෝ වැරැදි කර සොයන්නා වූ සතුටට වඩා විශාල සතුටක් වනවා, ඒ සතුට.

අන්න ඒ සතුට යම්කිසි කෙනෙක් භුක්ති වින්ඳ ද? ඒ සතුට උපදවා ගෙන වින්දනය කළ තැනැත්තාට රස ආහාරය භුක්තිවිඳි තැනැත්තා, රස ආහාරය කලින් ගත් තැනැත්තාට ඒ රස ආහාරය ගැන ඇති ඇල්ම නැතිවී යනවා. එසේ ලද සතුටට වඩා සිල් ආරක්ෂා කර සතුට ලද තැනැත්තාට පංචකාම සම්පත්තියෙන් ලද යම් සතුටක් තිබෙනවාද? එය ප්‍රහාණයවීමට සිල් රැකීමෙන් ලද සතුට හේතුවක් වෙනවා.

ඊට පසුව අපේ හිත කුඩා පරිවර්තනයක් වී වෙනදාට සිල් කඩන්න යැයි තල්ලු කළ සන්තානය වෙනස් වී, දැන් මේ සිත අර සීලය කඩ කරන්නට ඉඩ දෙන්නේ නෑ. සිතට අපේ සිතම ඉදිරිපත් වී එය වළක්වා ගන්නවා. ඒ සමඟම අර පී‍්‍රතිය තවදුරටත් භුක්ති විඳින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ සිදු වූ සිද්ධිය පිළිබඳ සැකෙවින් ගත් විට දුකෙන් වැතිර සිටි කෙලෙස්වලට බරිතව සිටින කෙනාගේ මානසිකත්වය පමණයි වෙනස් කළේ.

යමක් පුරුදු වෙන්න, දරාගන්න ලොකු කාලයක් අවශ්‍ය වන්නේ නෑ. යමක් පුරුදුවනවිට ඒ දරා ගැනීම පුරුදු වන්නට වැඩි කාලයක් ගතවන්නේ නෑ. එහෙනම් ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිථ්‍යාචාර, පිසුණාවාචා, පරුෂා වාචා ආදිය සිද්ධ කරන්න යැයි අපේ සිත වේදනා සහිත පණිවුඩයි එවන්නේ. ඒවා දුක් සහිත පණිවුඩයි. එහෙම නොකොළොත් අපේ සිත අපට රිදවනවා. අන්න ඒ රිදවීමෙන් වළකින්නට තමයි ප්‍රාණඝාතාදිය අප කරන්නේ. අපේ සිත ඒ දෙසටයි නැඹුරු වී තිබුණේ. කෙලෙස් බර පැත්තටයි අපේ සිත නැඹුරු වී තිබුණේ. ඊට හේතුව ඒවාට නැඹුරුවීමයි. අප මේ වතාවෙ වෙනත් සතුටු ආහාරයක් දුන්නා. දැන් සිත ඉල්ලන්නේ මොනවාද? දැන් හැම වෙලාවෙම ඉල්ලන්නෙ ඒ සතුටයි. ඒ නිසා ඒ තැනැත්තාට කිසිම ගැටලුවක් නොමැතිව සිල් ආරක්ෂා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. පී‍්‍රතියෙන් ම සිල් ආරක්ෂා කරන විට අපට ලැබෙන ලාභයන් ගැන කෙටියෙන් කල්පනා කර බලමු. සංඝාවාසයක් ඉදිකර පූජා කරනවාට වඩා බොහෝ පින් රැස් වෙනවා. එබඳු සිල් ආරක්ෂා කරන තැනැත්තෙකුට අමනුෂ්‍යයන්ට කිට්ටු වෙන්න බෑ. අමනුෂ්‍ය දෝෂ කිසිවක් ඇතිවන්නේ නෑ. ඒ වගේම තමයි හදි හූනියම් ආදිය වැදෙන්නේ නෑ. අතීත කර්ම තිබුණා නම් ඒවා ක්ෂයවෙලා යනවා. අපල කාල තිබුණානම් ඒවාට තිබෙන හොඳම ප්‍රතිකර්මය සීලය ආරක්ෂා කිරීමයි. ඕනෑම වෙලාවක පටන් ගන්නා දෙයක් සාර්ථක වෙනවා. සීලය ආරක්ෂා කරන ස්ථානයක යමක් සිදු වෙනවා නම්, හැම තැනකම බොහෝ ලාභයන් ඇතිවෙනවා. ඒ පමණක් නොව බොහෝ පින් රැස්වෙනවා සීලය ආරක්ෂා කරන තැනැත්තාට.

මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙනවා බොහෝ පින් රැස් කරන කෙනෙක් තමන්ගේ රැස් වූ පින් යම් විදියකින් දෙවියන්ට අනුමෝදන් කළොත් අම්මා කෙනෙක් තමාගේ එකම දරුවා රැක ගන්නවා හා සමානව දෙවියො ඒ තැනැත්තා ආරක්ෂා කර ගන්නවා කියලා.

දේව ආරක්ෂාව, පිහිට ලබාගන්නට පලතුරු වට්ටි, මුදල් අරගෙන ගිහින් දෙවියන්ට අනවශ්‍ය දේ දීලා රස්තියාදුවීමට වඩා හොඳට පින්දහම් කරල දෙවියන්ට පින් දුන්විට දෙවියන්ගෙන් ආරක්ෂාව පිහිට නිබඳ ව නිරතුරු ව ලැබෙනවා. ඒ නිසා අපට කප් රුකක් පහළ වූවා වැනියි, පංචශීලය ආදී ශීලයන්. එහෙනම් අද පටන් අප සිල් ආරක්ෂා කරන විට අප මේ අදහස සිතට ආ යුතුයි. මා මේ සීලය ආරක්ෂා කරන්නේ මා ප්‍රාණඝාතය කියන සිල්පදය ආරක්ෂා කරන්නේ වෙන කුමන දේකටත් නොව ඒ ගැන තිබෙන ඇලීම පවා තිබෙන අදහසක් වත් හිතට තිබෙන්නට ඕන. තුවාලයකට බෙහෙත් ගල්වන විට තුවාලය රිදෙද්දි බෙහෙත් දමනවා. බෙහෙත් ගල්වන විට කෙනෙකුට අදහසක් තිබෙනවා මේ රිදව රිදව බෙහෙත් දාගන්නේ තුවාලය සුව කර ගැනීම පිණිසයි. මේ තිබෙන වේදනා නැති කර ගැනීම පිණිසයි. එහෙනම් ප්‍රාණඝාත අදත්තාදාන, සුව කර ගන්නවා කියන්නේ තුවාලයක් සුව කර ගන්නවා වගෙයි. ඒ කියන්නේ ප්‍රාණඝාත කළත් රිදෙනවා, නොකළත් රිදෙනවා. එහෙමනම් පෑරෙන තුවාලය සුව කර ගන්නයි ඕන. එය සුව කර ගැනීමට තිබෙන එකම ක්‍රමය දවසින් දවස ශක්තිය ඇති කරගෙන ඒවායින් වැළකීමයි. ඒ ප්‍රතිපත්තිය පූරණය කිරීමේ යම් දුකක් තිබෙනවා. ඒ දුක තිබෙන්නෙ අර තුවාලය සුව කර ගන්නේ අනාගතයේ ලැබෙන්න තිබෙන දුක් ගොඩක් සුව කර ගැනීම සඳහා යි. එබඳු අදහසක් අප ළඟ හැම මොහොතක ම තිබෙන්න ඕන. අන්න ඒ අදහස අපේ මනසින් එනවා නම් ඊට කියනවා, නිවැරැදි දෘෂ්ටියකට පැමිණිලා කියලා. අන්න එවිට අප කියනවා ඤාණ සම්ප්‍රයුක්තයි කියලා. දේශනාවේ සඳහන් වන්නෙ එවිට සම්මා දිට්ඨිය පූර්වාංගම වේ කියලා.