Print this Article


ජාතික ආගමික සංහිඳියාවේ වර්ධනය අපේක්ෂාවයි

ජාතික ආගමික සංහිඳියාවේ වර්ධනය අපේක්ෂාවයි


සියඹලාගස්වැව විමලසාර හිමි

උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන්

ජාතික ආගමික සහජීවනය වර්ධනය අපේක්ෂාවෙන් උතුරු පළාතේ බොදු මහා සමුළුව පැවැත්වීමට අදහස් කළ බව උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැව විමලසාර නා හිමියෝ පවසති.

උතුරු පළාතේ ආගමික ජාතික සහජීවනය වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් සිදු කෙරෙන බොදු මහ සමුළුව මෙම 29 වන දා වවුනියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයේ දී පැවැත්වේ. ඒ පිළිබඳ උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක වවුනියාව ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති සියඹලාගස්වැව විමලසාර නාහිමියන් සමඟ කළ සාකච්ඡාවකි මේ.

උතුරු පළාතේ බොදු සමුළුව පිළිබඳ සංකල්පය පහළ වූ උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ජාතික ආගමික සංහිඳියාව පිළිබඳ ඉතා යහපත් අදහස් දරමින් කටයුතු කරන අතර ඒ මහතා විසින් පී.එච්.ඩී. උපාධිය සඳහා බෞද්ධ දර්ශනය හදාරන ලදී.

තිස් වසරක් පුරා පැවැති යුද සමය නිසා සියලු ආගමිකයන්, සියලු ජාතීන් භේදයකින් තොරව විවිධ අපහසුතාවලට පත්වූහ. මුල්කාලයේ දී ජාතික, ආගමික සමගිය සහජීවනය ඉතා හොඳින් පැවැති බව සියලු දෙනා දන්නා කරුණකි. යුද සමය නිමාවී දස වසරකට ආසන්න කාලයක් ගෙවී යන අවස්ථාවේ අපේ සියලු ජාතීන්, ආගමිකයන් මුලින් ජීවත් වූ සමඟිය උදාකරගත යුතුයි. දැනටමත් වැඩි පිරිසක් ඒ අදහස දරනු ලැබේ. ඒ සමඟිය දුරස් කිරීමට කටයුතු කරන අය ද උතුරේ මෙන් ම දකුණේ ද සිටින බව අමතක කළ යුතු නොවේ.

පසුගිය කාලයේ දී ඇතැම් කනගාටුදායක සිදුවීම් සිදුවන බවට විවිධ මාධ්‍ය වාර්තා පළ විය. දකුණේ ද ඒ ගැන යම් කතා බහ ඇතිවූ බව ද රහසක් නොවේ. එහෙත් ඒ මාධ්‍ය වාර්තා පිළිබඳ සත්‍යය අසත්‍යය වශයෙන් යම් ගැටලු පවතී. ඇතැම් විට හිතා මතා බුද්ධ ප්‍රතිමා වහන්සේට, බුදුදහමට නිගරු වන දේ සිදු නොවන බවට අප තුළ විශ්වාසය පවතී. වවුනියාව ප්‍රදේශයේ පෞරාණික විහාරාරාම සඳහා බහුතර හින්දු පිරිසක් විසින් උපකාර කරනු ලැබේ.

වවුනියාව බෝධි දක්ෂිණාරාමයේ මුල් යුගයේ සිට ආධාර උපකාර සිදු කරන ලද්දේ හින්දු ආගමික පිරිස වෙතිනි. දැනට ද එසේ ඔවුන් උපකාර කරනු ලැබේ. පෞරාණික සිද්ධස්ථාන ඒ අයුරින්ම පවතී.

ඓතිහාසික පුරාවිද්‍යාත්මක සිද්ධස්ථාන රාශියක් උතුරු ප්‍රදේශයේ පවතී. ඒවා පුරාවිද්‍යාත්මක ස්ථාන ලෙස නම් කිරීමට කාගේ හෝ විරෝධතාවයක් නොමැත. පටු අරමුණෙන් යමක් කළහොත් ඒ ගැන ඇති වන්නේ වැරැදි ආකල්පයන් ය. ඒවා ප්‍රචාරය කරන්නේ ද ඇතැම් දේශපාලන මත දරන්නන් ය. ඒ ඒ ආගමික සිද්ධස්ථාන ඒ අයුරින් තහවුරු විය යුතු වන අතර ඊට ගැටලු ඇති නොවේ.

මෙම 29 වන දා වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ දී මෙබඳු දෑ පිළිබඳ කතිකාවක් සිදු කෙරේ. ඒ සඳහා මහ සඟරුවන හැත්තෑ පස් නමක් පමණ සහභාගි වෙති. එහි දී භික්ෂූන් වහන්සේගේ ගැටලු ගැන ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරේ. ඊට අමතරව, හින්දු, ඉස්ලාම් කිතුනු පූජකවරුන්ට ද එම සමුළුවට ආරාධනා කර ඇත. ඒ සියලු ආගමික නායකයන් සමඟ පොදු සාකච්ඡාවක් එහිදී සිදු කෙරේ.