Print this Article


ධම්මික මෙහෙයවූ ධම්ම සාකච්ඡා ලියූ මිරිස්සේ ගුණසිරි මාහිමි

ධම්මික මෙහෙයවූ ධම්ම සාකච්ඡා ලියූ මිරිස්සේ ගුණසිරි මාහිමි

සිල්වත්, ගුණවත්, බහුශ්‍රැත බුද්ධ පුත්‍රයෙකු ලෙස දෙස් විදෙස් හි ගෞරවයට පාත්‍රව වැඩ සිටි මිරිස්සේ ගුණසිරි මා හිමියන් අපවත් වී මාර්තු මස 31 වැනිදාට පණස් (50) වසරකි.

1923 දී පැවිදි බිමට පත් උන්වහන්සේ මූලික ඉංගී‍්‍රසි සිංහල භාෂා ඥානය මිරිස්සේ ද්වි භාෂා රජයේ පාසලින් ලැබීය. අනතුරුව මාළිගාකන්ද, විද්‍යෝදය පිරිවෙන් ශිෂ්‍යයකු වශයෙන් රාජකීය පණ්ඩිත උපාධිය ද, ලංකා විශ්වවිද්‍යාලයෙන් විද්‍යා විශාරද ඩිප්ලෝමාව ද, ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් (බී.ඒ. ලන්ඩන්) උපාධියෙන් ද පිදුම් ලැබූහ. විද්‍යෝදය පිරිවෙන් ආචාර්යවරයෙකු ලෙස සේවයට එක්වූ උන්වහන්සේ විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආරම්භයේ සිට අපවත්වීම දක්වා ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළහ.

උන්වහන්සේ ලත් දැනුම යොදා ගත්තේ ‘බහුජන හිතාය, බහුජන සුඛාය සඳහා ය’ ගම් නියම්ගම් හා දෙස් විදෙස්වල ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතවීමට උන්වහන්සේ ලද ධර්ම ඥානය හා පෙර, අපරදිග භාෂා ඥානය ඉවහල් විය. වරක් උන්වහන්සේගෙන් අනාගත බලාපොරොත්තු ගැන විමසූ අවස්ථාවක සඳහන් කර ඇත්තේ, අදත් හෙටත් මගේ බලාපොරොත්තුව ධර්ම දූත සේවය කියාය. ගුණසිරි හිමියන් කොළඹ මැකාති පාරේ භාවනා මධ්‍යස්ථානය භාරව කටයුතු කරද්දී මෙන්ම ලන්ඩන් විහාරාධිපති වශයෙන් ද කළ මෙහෙවර අපරිමිත ය. ලංකා ගුවන් විදුලි සේවයෙන් ඉංගී‍්‍රසියෙන් හා සිංහලෙන් ධර්ම දේශනා කළ හැකි වූ භික්ෂූන් වහන්සේලා අතළොස්ස අතර උන්වහන්සේ එක් නමකි.

ගුණසිරි හිමියන් මහා බ්‍රිතාන්‍යයේ වසන සමයේ දී ඉංගී‍්‍රසි ජාතිකයන් සඳහා ඉංගී‍්‍රසියෙන් බණ දෙසූහ. බණ පොත් ලියූහ. බුදුහිමි හා ආචාර ධර්ම (ඕභඤඤඩච චදඤ ඡ්බඩඪජඵ) කෘතියෙහි සංඥාපනයේ උන්වහන්සේ මෙසේ සඳහන් කර ඇත. එංගලන්තයේ ධර්ම දූත මෙහෙවරෙහි යෙදී සිටියදී එහි බෞද්ධයෝ ද බුද්ධාගම පිළිබඳව උනන්දුවක් දැක්වූවෝ ද බුදුන් වහන්සේ හා උන්වහන්සේගේ ධර්මය ගැනත් නොගැඹුරු, ලිහිල් ධර්ම ග්‍රන්ථයක අවශ්‍යතාව ගැන සඳහන් කළහ. බටහිර බෞද්ධයන් අතර බෙදා හැරීම සඳහා අදහස් කරන මේ පොත් පිංච තරමක් දුරට ඒ අදහස ඉටු කිරීමට පුළුවන් වනු ඇතැයි විශ්වාස කරමි.

දේශීය බෞද්ධ, අබෞද්ධයන්ගේ හිත සුව පිණිස උන්වහන්සේ බුදුසරණ පත්‍රයෙහි ආරම්භ කළ “ධම්ම සාකච්ඡා” පාඨකයන් අතර ඉතාමත් ජනපි‍්‍රය වූවකි. 1965 සිට 1969 දී උන්වහන්සේ අපවත් වන විට ප්‍රශ්න දහසකට (1000) ආසන්න ප්‍රමාණයකට නාහිමියන් පිළිතුරු සපයා තිබිණ. ඒ ප්‍රශ්න විවිධ අන්දමේ ඒවා විය. බුදුදහමට අදාළ ගැටලු ගැන මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට අදාළ වන ප්‍රශ්න ද ඒ අතර විය.

වෙනත් පත්‍ර මෙන් ‘බුදුසරණ’ පත්‍රය කඩදාසිවලට විකිණීමෙන් පවක් සිදුවේද, (113) යන්නට පිළිතුර වූයේ බුදුසරණ ධර්ම භාණ්ඩාගාරයකි. තමන් බලා සුරක්ෂිතව තබා ගත නොහැකි නම් තවත් බලන කෙනෙකුට දෙන්න. නැති නම් එකතු කොට අවුරුද්ද අවසානයේ දී බණ පොතක් මෙන් බන්දවා තබා ගන්න.

විවිධ උපාධිවලින් පිදුම් ලද ද, මිරිස්ස වාසීන්ට උන්වහන්සේ අපේ පණ්ඩිත හාමුදුරුවන් විය. මිරිස්ස ගැන උන්වහන්සේ ට තිබුණේ විශේෂ ළබැඳියාවකි. උන්වහන්සේ 1948 ආරම්භ කළ සිරි සුනන්ද පිරිවෙන අදත් ධර්ම ශාස්ත්‍රය භික්ෂූන් වහන්සේලාට බෙදා දෙයි. ඒ කාලයේම ඇරඹි ‘ප්‍රඥාලෝක දහම් පාසල’ මෙරට ඇති පැරැණිම උසස් ගණයේ දහම් පාසලකි.

රුහුණෙහි පැරැණි සිද්ධස්ථානයක් වූ යටාළ වෙහෙරේ අධිපති බව දැන සිටියේ අතළොස්සකි. උන්වහන්සේ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වශයෙන් ලද පාරිතෝෂිකය බෞද්ධ සංවර්ධන කටයුතු සඳහා අරමුදලකට වෙන්කළ බව ද ධම්මික නමින් බුදුසරණ පත්‍රයට පිළිතුරු සැපයූයේ උන්වහන්සේ බව ද දැන සිටියේ කීප දෙනෙකි. ‘ධම්මික’ ගැන විමසීම් කළ හැම කෙනෙකුටම ගුණසිරි හිමියන් පැවසුවේ ‘ධම්මික’ කවරකු ද කියා සෙවීමෙන් පළක් නැත. ධම්මික දෙන පිළිතුරු පමණක් ඔබට සෙතක් සලසාවි.’ කියා ය. සාමණේර භික්ෂූන් වහන්සේලා ලෙස ළමාවියේ දරුවන් පැවිදි බිමට ඇතුළත් කිරීම විවේචනය කරන සමහර සමාජ විද්‍යාඥයන් යයි කියන්නවුනට ගුණසිරි හිමියෝ ආදර්ශයෙන් ම පිළිතුරු දුන්හ. උන්වහන්සේ පැවිදි බිමට ඇතුළු වූයේ 13 වන වියේදී ය. උන්වහන්සේ අපවත් වන තෙක් අවුරුදු 47 තම ජීවිතය බුදු සසුනට පුජා කළහ. උන්වහන්සේ වරක් සඳහන් කර ඇත්තේ ‘සසුනට පුදන ලද මගේ ජීවිත පුෂ්පය පරවෙන තුරු සසුනට සේවය කරමි.’ කියා ය.

උන්වහන්සේගේ අපවත්වීම, ශාසනයටත්, ජාතියටත්, රටටත්, සිදුවූයේ කියා නිම කළ නොහැකි පාඩුවකි.