Print this Article


සුත්ත විනය අභිධම්ම ශබ්දයන්හි අර්ථ නිරූපණය

සුත්ත විනය අභිධම්ම ශබ්දයන්හි අර්ථ නිරූපණය

මෙම ලිපියෙහි පළමු කොටස මැදින් පුර අටවක (මාර්තු 14 වන දා) පත්‍රයේ පළවිය.

විනය පිටකය

විනය යනු සංවරයයි. එනම් කය, වචනය දෙක හික්මීමයි. කෙලෙසුන් නැසීම පිණිස උත්සාහවත් වීමයි. නො එ සේ නම්, සත්‍ය ආචාර සමාචාර විධීන් ය. මුල් අවස්ථාවේ ‘ශික්ෂාපද’ වාච්‍ය කරනු පිණිස ‘විනය’ ශබ්දය යොදා නැත. ශික්ෂාපද පනවන ලද්දේ විනය ආරක්ෂා කරනු පිණිස ය. එහෙයින් උපචාර වශයෙන් විනය නමින් ශික්ෂා පද සැලකේ. ඒවා සංග්‍රහකොට ඇති ග්‍රන්ථ ද එනමින් සැලකිය හැකි ය. ‘ශික්ෂා පද’ හා ‘විනය’ යන වචනද්වය සමානාර්ථවත් පද ලෙසින් දැන් පෙනී සිටින්නේ මේ හේතුවෙනි. ප්‍රාතිමෝක්ෂ ශික්ෂා පනවා වදාළේ කරුණු දහයක් පදනම් කොටගෙන ය. විනය ඉන් එකක් පමණි. මේ අනුව, පැහැදිලි වන කරුණක් නම්, විනය යනු වියුක්ත ව පැවැති අංශයක් බව ය. ශික්ෂා පද පනවන ලද්දේ ඒ විනයට අනුග්‍රහ කිරීම පිණිස ය. ශික්ෂා පද නිසා විනය බිහි වූයේ නැත. විනය සහ ශික්ෂා පද යනුවෙන් අංග දෙකකි. ශික්ෂා පදවලින් බලාපොරොත්තු වූ පරමාර්ථ පාරාජිකාපාළියේ ද බුදුන් වහන්සේ පැහැදිලි කර දී ඇත. ඒ අනුව බුදු සමයේත් භික්ෂූ සමාජයේත් පදනමත් ප්‍රතිෂ්ඨාවත් ශික්ෂා පද යි. විනය යනු භික්ෂූන්ගේ කායවාග් ශික්ෂණය යි. අටුවාවන් හි විනය ශබ්දය තෝරා ඇත්තේ ‘විවිධ වූත් විශේෂ වූත් නය මගින් කය වචන හික්මවන බැවින් විනය නම් වේ. විනය විවිධ වන්නේත් විශේෂ වන්නේත් කවර කරුණු නිසා දැයි අටුවාවේ දී විස්තර කොට තිබේ. මේ අනුව විනය ඉගෙන ගත යුත්තක් නොවෙයි. පිළිපැදිය යුත්තක්. දේශනා කළ යුත්තක් නොවෙයි ආදර්ශයට නැංවිය යුත්තක්. මුල් අවස්ථාවේ දී විනය සඳහා බුදුන් වහන්සේ දේශනා කරන ලද්දේ ශික්ෂා පද ද නොවෙයි. ධර්මය යි. එහි දී විනය නමින් අදහස් කරන ලද්දේ අකුසලධර්ම ප්‍රහාණය යි. රාග, දෝෂ. මෝහ යන ත්‍රිවිධ ධර්මයන්ගේ ක්ෂය යි.

විනය ගිහි විනය, පැවිදි විනය යනුවෙන් දෙපරිදි වන බව පෙනේ. ගිහි විනයට අදාළ කරුණුවලින් සමහරක් සිඟාලෝවාද සූත්‍රාදියෙහි සංග්‍රහ වී ඇති බව ප්‍රකට ය. පැවිදි විනයට අදාළ කරුණුවලින් සමහරක් විනය පිටකාගත ග්‍රන්ථවල සංග්‍රහ වී ඇති බවත් එසේ ම ප්‍රකට ය.

විනය ශබ්දය ගැන කථා කරන විට ‘අභිවිනය’ ශබ්දය ගැන සාකච්ඡා නොකර සිටිය නොහැකි ය. විනය යන්නෙන් හා අභිවිනය යන්නෙන් වාච්‍ය වන්නේ එක ම දේ ය යන්න බොහෝ විට අටුවාචාරීන් වහන්සේ ප්‍රකාශ කොට තිබේ. මේ අභිවිනය ශබ්දය පැරැණි සූත්‍රවලින් දක්නට ලැබෙන බව පැහැදිලි ය. දීඝනිකායේ සංගීති සූත්‍රය මජ්ක්‍ධිමනිකායේ ගුලිස්සානි සූත්‍රය ආදිය එයට උදාහරණ වශයෙන් දැක්විය හැකි ය. අභිධම්ම ශබ්දයට අදාළ උදාහරණ පාඨ කිහිපයකින් මේ කරුණ තවදුරටත් පැහැදිලි වනු ඇත.

අභිවිනය ශබ්දය අටුවාවන්හි විනය පිටකය අර්ථවත් වන පරිදි විග්‍රහ කරනු ලැබ ඇත. ඒ අර්ථය අටුවාවන්හි එන අනෙක් විග්‍රහයන් සමඟ සසඳන විට පරස්පර විරෝධී වෙයි. විනය යනු විනය පිටකය යි. ධම්ම යනු සූත්‍රපිටකයයි. අභිධම්ම යනු අභිධම්ම පිටකය යි. එවිට අභිවිනය යන්නෙන් ගත හැකි සාහිත්‍ය ලේඛන විශේෂයෙන් නොමැති බව ප්‍රකට වේ. මේ නිසා අභිවිනය යන්නෙහි පිටකාර්ථයක් නැති බව පැහැදිලි වේ. පිටක ශබ්දය විනය පිටකාගතව ව්‍යවහාර වූයේත් සම්පූර්ණ වූයේත් ද්විතීය සංගීතියට අනතුරු යුගයක ය. එසේ නම්, බුදුන් වහන්සේගේ සමයෙහි භාවිත වූ වචනයෙකින් ඒ අර්ථ ගම්‍යමාන වන්නේ කෙසේ ද? මූලික සූත්‍රයන්හි එන ‘අභිවිනය’ යන වචනයෙහි අර්ථය ‘විනයට අදාළ’ යන්න බව නූතන විචාරකයන් පෙන්වා දී තිබේ. ඒ වචනය සඳහා අලුත් අර්ථයක් ද යෝජනා කළ හැකි ය.මුල් අවස්ථාවේ දී භික්ෂූන් සඳහා ශික්ෂා පද පැනවීමක් කෙරුණේ නැත. ශික්ෂා පද පනවා නොතිබූ ඒ යුගයේ භික්ෂූන් වහන්සේලා එක් රැස් වය අන්‍යොන්‍ය විශ්වාසය ප්‍රකාශ වන ගාථාත්‍රයකින් සජ්ඣායනා කිරීම චාරිත්‍රයක් කොට ගෙන තිබිණි. අටුවාවල එන ප්‍රවෘත්තිවලින් පෙනී යන්නේ බුද්ධත්වයෙන් අවුරුදු විස්සක් යනතුරු ශික්ෂාපද නොපැනවූ වගයි. මේ කාලය සත්‍ය වූවත් නොවූවත් සංඝ සමාජය ප්‍රතිෂ්ඨාපනය කොට කලක් යනතුරු ශික්ෂා පද පැනවීමක් නොකෙරුණු බව පිළිගත හැකි වෙයි. ඒ කාලයේ දී භික්ෂූන් වහන්සේලා ඉහත කී ගාථාත්‍රය සජ්ඣායනා කිරීමෙන් ශික්ෂාවෙන් එකට බැඳී සිටියහ. අටුවාවන්හි ඕවාද ප්‍රාතිමෝක්ෂය නමින් හඳුන්වා ඇත්තේ එය යි. මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය පෙර බුදුවරුන් කල සිට ම ව්‍යවහාර වී යැයි සඳහන් වන හෙයින් භික්ෂූන්ගේ ශික්ෂාව සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ ම බුදුන් වහන්සේ විසින් අනුදන්නා ලදැ යි සිතන්නට පිළිවන. මූලික ග්‍රන්ථයන්හි එන ‘අභිවිනය’ යන්නෙන් අදහස් කෙරෙන්නේ මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය විය යුතු ය. එහි භික්ෂූන්ගේ සදාචාරය පිළිබඳ හරයන්, පිළිපන් මාර්ගය හා පරමාර්ථය පිළිබඳ හරයන්, සංක්ෂිප්තව දක්වා තිබීම මේ අනුමානයට තවදුරටත් අනුබල සපයයි.

විනය නමින් පාරාජික පාළි, පාචිත්තියපාළි යන විභංග කොටස් ද අභිවිනය නමින් චුල්ලවග්ගපාළි, මහාවග්ගපාළි යන බන්ධක කොටස් හා පරිවාරපාළියත් ගත හැකි යයි අදහසක් ඉදිරිපත් කොට තිබේ. බුද්ධඝෝෂ හිමියන් සංගීති සූත්‍ර වර්ණනාවේ දී යෝජනා කොට ඇත්තේත් මේ අදහස යි. අභිවිනය අභිධම්ම ශබ්දවල පිටකාර්ථයක් නැති බව මුල දී සඳහන් කළෙමු. ද්විතීය සංගීතියෙන් අනතුරු යුගයක සම්පූර්ණ වූ බවට සාධක ලැබෙන බන්ධක ග්‍රන්ථත් ලංකාවේ දී රචනා කරන ලද බවට සාධක ලැබෙන පරිවාරයත් මුල් සූත්‍රයන්හි එන වචනයකින් ගම්‍යමාන විය හැක්කේ කෙසේ ද?විනය ගැන මා ඉහත කී කරුණු මෙසේ කෙටි කොට දැක්විය හැකි ය. මුල් අවස්ථාවේ දී ඉන් අදහස් කළේ අකුසල් මුල් සිඳ අකුසල ධර්ම ප්‍රහාණය කි්රීම් සංඛ්‍යාත ශික්ෂණයයි. ඊට අදාළ විධි නියමයන් ද පසු ව ඒ වචනයෙන් අදහස් විය. ඒ අනුව විනය ශික්ෂා පනවන්නට පෙර වූ සංවරයට අදාළ විධි නියමත් ප්‍රාතිමෝක්ෂ ශික්ෂාත් ඒ වචනයෙන් ගැනෙයි. අනතුරු ව ඒ විධි නියම සංග්‍රහ වූ ග්‍රන්ථ ද ඉන් වාච්‍ය කිරීමට ඉදිරිපත් විණි. ‘විනයපිටක’ යන ව්‍යවහාරය ප්‍රභව වූයේ එසේ ය.

අභිධම්ම පිටකය

අටුවාවන්හි ප්‍රධාන අර්ථකථන දෙකක් මඟින් අභිධම්ම ශබ්දය තෝරා දී තිබේ. සමන්තපාසාදිකාවෙන් මුල් නිකාය හතර පිළිබඳ අටුවා ග්‍රන්ථවලත් එන අර්ථකථනය මෙසේ ය. ‘රූපූජ්පත්තියා මග්ගං භාවේති, මෙත්තා සහගතේන චේතසා, එකං දිසං ඵරිත්වා විහරති’ ආදී නයින් වෘද්ධියට පැමිණි හෙයින් ද “රූපාරම්මණං වා හෝති, සද්දාරම්මණ වා හෝති” ආදි නයින් ලක්ෂණ පරිදීපක හෙයින් ද ‘සෙක්ඛා ධම්මා අසෙක්ඛා ධම්මා ලොකුත්තරා ධම්මා” ආදී නයින් පූජාරහ හෙයින් ද ‘එස්සෝ හෝති වේදනා හෝති’ ආදි නයින් පිරිපුන් බැවින් ද ‘මහග්ගතා ධම්මා අප්පමාණ ධම්මා අනුත්තරා ධම්මා’ ආදි නයින් අධික ධර්මයන් කියන ලද හෙයින් ද අභිධම්ම නම් වේ. මේ අදහස් ගාථාවක් මගිනුත් සංක්ෂිප්ත කොට දක්වා තිබේ. අභිධර්ම අටුවාවක් වන අත්ථසාලිනියේ දී ධර්මාතිරේකයක් බැවින් ද විශේෂ අර්ථ සහිත දහම් කියැවෙන බැවින් ද අභිධම්ම නම් වේ යැයි සඳහනි. මෙහි දී ‘අභි’ යන්න විශේෂ අර්ථපරිදීපනයෙහි වේ” යනුවෙන් තෝරා තිබේ.

මේ අර්ථකථන දෙක ම අභිධම්ම පිටකය පාදකකොට ගෙන ඉදිරිපත් කර ඇති බව පැහැදිලි යි. ඒ නිසා අභිධම්ම ශබ්දයේ මූලික අර්ථය විශද කර ගැනීමට එයින් අනුබලයක් ලැබෙන්නේ නැත. අභිධම්ම පිටකය ප්‍රභව වීමට බොහෝ කලකට පෙර අභිධම්ම ශබ්දය ව්‍යවහාරයට පැමිණ තිබිණි.

මජ්ක්‍ධිමනිකායේ මහාගෝසිංහ සූත්‍රයෙහි භික්ෂූන් අභිධර්ම කථාවෙහි නිරත ව සිටි බව සඳහන් වේ. අංගුත්තරනිකායෙහි ද කිහිප පළක ම මේ ‘අභිධර්ම කථාව’ පිළිබඳව සඳහන් වේ. මජ්ක්‍ධිමනිකායේ ගුලිස්සානි සූත්‍රයෙහි ‘අරණට පිවිසි භික්ෂුව අභිධර්මයෙහි ඇලී සිටිය යුතු ය” යනුවෙන් ද දක්වා තිබේ. එහි ම කින්ති සූත්‍රයෙහි ‘භික්ෂූන් අතර අභිධර්මය පිළිබඳව වෙනත් මත’ තිබූ බව සඳහන් වේ. විනය ග්‍රන්ථවලින් අභිධර්මය යන වචනය දක්නට ලැබේ. මහාවග්ගයේ දී ‘අභිධම්මේ විනේතුං අභිවිනයෙ විනේතුං’ යන ප්‍රයෝගය දක්නට ලැබෙන බව ප්‍රකටයි. භික්ෂූණී විභංගයේ විනය ශික්ෂා කිහිපයකත් මේ වචනය සඳහනි. මේ සටහන් පරික්ෂා කිරීමේ දී පැහැදිලි වන වැදගත් කාරණයක් නම් කින්ති සූත්‍රය වැනි මූලාශ්‍රය එකක හෝ දෙකක හැරෙන්නට අනෙක් සෑම තැනක ම අභිධම්ම ශබ්දය තවත් පදයක් සමඟ යුගල වී හෝ සමාස වී යෙදී ඇති බව දක්නට ලැබෙන බව නිකාය ග්‍රන්ථයන්හි දී එය අභිවිනය ශබ්දය සමඟ යුගය වී තිබේ. ගාථා යන පදය සමඟ විනය ග්‍රන්ථයන්හි එය බොහෝ විට යෙදේ. අභිවිනය ගාථා යන පදයන්ගේ කිසියම් සාහිත්‍ය ලේඛන විශේෂයක් වාච්‍ය නොවන හෙයින් ඉහත කී සටහන්වල වාච්‍ය වේ යි අදහස් නො වේ. මේ නිසා මුල් අවස්ථාවේ දී අභිධම්ම ශබ්දය පිටකාර්ථයෙහි යෙදී නැති බව පැහැදිලියි.

ඉහත කී සටහන්වල එන අභිධම්ම ශබ්දයේ නිශ්චිත අර්ථය අටුවාචාරීන් වහන්සේලා දැන සිටියේ නැත. පශ්චාත් කාලයක ඒ ශබ්දය කෙරෙහි ආරෝපණය වූ අර්ථය උපයෝගී කොටගෙන, අටුවාචාරීන් වහන්සේලා නිකාය සටහන්වලට අර්ථ දෙන්නට උත්සාහ ගෙන ඇතත් ඇතැම් විටක ඒ අර්ථය ඒ තැන්වලට උචිත ද යන්න පිළිබඳව උන්වහන්සේලා තුළත් සැකයක් තිබුණු බව පෙනේ. සංගීති සූත්‍ර වර්ණනාවේ දී අභිධම්ම ශබ්දය තෝරා ඇත්තේ ‘අභිධම්ම ශබ්දයෙන් ධර්මයත් අභිධර්මයත් දෙකම ගැනේ” යනුවෙනි. ධර්ම නම් සූත්‍ර පිටකය යි. අභිධර්ම නම් අභිධර්ම පිටකය යි. එසේ නැත්නම් සූත්‍ර පිටකයත් අභිධර්ම පිටකයත් යන දෙක ම ධර්මය යි. අභිධර්ම නම් මාර්ගඵල යි” යන ආකාරයට ය. මහාගෝසිංහ සූත්‍ර වර්ණනාවේ දී ‘අභිධම්මකථං’ යන්න තෝරනු වෙනුවට අභිධම්මිකයාගේ දේශනා විලාශයෙහි විශේෂත්වය පැහැදිලි කොට තිබේ. ගුලිස්සානි සූත්‍ර වර්ණනාවේ දී අභිධම්ම නම් සප්තප්‍රකරණය යනුවෙන් තෝරා දී තිබේ. නිකාය ග්‍රන්ථයන්හි සහ විනය ග්‍රන්ථයන්හි එන අභිධම්ම ශබ්දයේ අර්ථය “ධර්මයට අයත්” ධර්මයට අදාළ යන්න බව උගතුන් පෙන්වා දී තිබේ. මේ ගැන හෝනර්ගේ අදහස ද මීට සමානයි. “සුත්‍ර හා විනයෙහි සඳහන් අභිධම්ම සහ අභිවිනය යන වචන ධර්මයට හා විනයට වඩා වැඩිමනක් වූ යම් කිසිවක් නියෝජනය කිරීම සඳහා සිතාමතා බැලීම හේතුකොට ගෙන සාමාන්‍යයෙන් ලත් අවබෝධය හා ප්‍රවීණත්වයට වඩා වැඩි යමක් යන අදහසත් යෙදුණා විය හැකි ය යනුවෙන් හෝනර් පවසයි.

අභිවිනය යන්නෙන් වාච්‍යවන්නේ ‘ඕවාද ප්‍රාතිමෝක්ෂය’ විය හැකි යැයි මීට පෙර දක්වා ඇත. ඒ අනුව “අභිධම්ම” යන්නෙන් අදහස් කරන්නට ඇත්තේ ‘නිර්වාණයට පාදක වූ චතුරාර්ය සත්‍යය’ යි යෝජනා කළ හැකි ය. ‘ධම්ම යන්න සියලු සංඛත අසංඛත ධර්ම වාච්‍ය කරන පදයකි. ‘සබ්බේ ධම්මා අනත්තා” යන ධර්මපද පාඨයෙහි අර්ථය විමසා බලන කල්හි සියලු සංඛත හා අසංඛත ධර්ම අතරින් විශේෂ වන්නේත් ශ්‍රේෂ්ඨ වන්නේත් නිර්වාණය යි. එහෙයින් එය අභිධම්ම නම් වේ. එහෙයින් එයට මාර්ගය වන චතුරාර්ය සත්‍යය ද අභිධම්ම නම් වෙයි. අභි යන උපසර්ග ශ්‍රේෂ්ඨ, විශේෂ, උත්තම යන අර්ථ දෙන පදය කි. එහෙයින්, උත්තම ධර්මය වූ නිර්වාණය සාක්ෂාත් කිරීමට අදාළ ඥානය මුල් අවස්ථාවේ අභිධම්ම ශබ්දයෙන් අදහස් කළා යැයි උපකල්පනය කළ හැකි ය. ‘ධම්මං’ යන වචනයට පරියාය වශයෙන් මහාපරිනිර්වාණ සූත්‍රයෙහි ලා බුදුන් වහන්සේ විසින් දක්වා ඇති ‘සුත්ත’ යන වචනයෙන් අදහස් කරන්නේ චතුරාර්ය සත්‍යය යැයි නෙත්තිප්පකරණයේ දී නිවැරැදි ව තෝරා තිබීම මිට සාධකයක් වශයෙන් ඉදිරිපත් කළ හැකි ය. ඉහත ඉදිරිපත් කළ අභිධම්ම වචනය සඳහා වූ ඇතැම් අටුවා අර්ථකථන මඟින් ද එම අර්ථය ධ්වනිත වන බව විමසිල්ලෙන් බැලීමේ දී පෙනී යයි. ‘මහාවිභාෂා ශාස්ත්‍රයෙහි දී’ අභිධම්ම ශබ්දයට නිර්වචන වශයෙන් වසුමිත්‍ර පාර්ශ්ව ඝෝෂක බුද්ධපාළිත යන ආචාර්යවරයන් විසින් ඉදිරිපත් කොට ඇති මතවලිනුදු එය සනාථ වන බව පෙනේ. එහෙත් විශේෂයෙන් මතක තබා ගත යුත්තක් නම් ඒ ආචාර්යවරයන් ස්වකීය මත ඉදිරිපත් කොට ඇත්තේ අභිධර්ම පිටකය සම්බන්ධයෙන් බවයි. දෘෂ්ටාන්තිකයන්ගේ මතයෙන් කියැවෙන්නේ ඉහත කී අදහසමයි. අභිධර්මකෝෂශාස්ත්‍රයෙහි වසුබන්ධු දක්වා ඇති නිර්වචනයෙහි ඒ අර්ථය තව දුරටත් පැහැදිලි වේ.

අභිධර්ම පිටකය යනු අර්ථය දීම පිණිස අභිධම්ම ශබ්දය විනය ග්‍රන්ථයන්හි කලාතුරකින් යෙදී ඇති බව පෙන්වා දී තිබේ. භික්ෂුණී විභංග යේ 95 වෙනි පාචිත්තිය ඒ පිළිබඳ එක ම උදාහරණයයි. ඕල්ඩන්බර්ග් පෙන්වා දී තිබෙන්නේ අපදානපාළියේත් අභිධම්ම යන පදය ඇත්තේ මේ අදහසින් යැයි සිතිය හැකි බවයි. විභංග ග්‍රන්ථ සම්පාදනය වූයේ දෙවැනි සංගීතියට ආසන්න සමයක දී යැයි මුලදීත් සඳහන් විය. අපදානපාළියත් පශ්චාත්කාලීන ය. එහෙයින් බුදුන් වහන්සේගේ සමයෙහි දී හෝ උන්වහන්සේ වර්තමානයේ ව්‍යවහාර වන අර්ථය දීම පිණිස අභිධම්ම ශබ්දය උපයෝගී කර ගත් බවට ඉහත කී සාධක ප්‍රමාණවත් නො වේ. දෙවෙනි සංගීති සමය වන විට සුත්‍රාන්ත නයින් විශේෂ වූ අභිධර්ම නයත් අභිධර්ම පිකටයත් ප්‍රභව වෙමින් පැවති නිසා ඒ සාධකවලින් ව්‍යවාහරික අර්ථය ගම්‍යමාන වේ එය ස්වභාවිකයි.අභිධම්ම ශබ්දය ඉහත දක්වා ඇති අදහස් මෙසේ සංක්ෂිප්ත කර දැක්විය හැකි ය. මුල් අවස්ථාවේ දී අභිධම්ම ශබ්දය යෙදුණේ නිර්වාණයට පාදක වූ චතුරාර්ය සත්‍යග්‍රහණය හඳුන්වනු පිණිස යි. අනතුරු යුගයක, ධර්ම නයින් පරිබාහිර ‘පරමාර්ථ’ ධර්මනය හැඳින්වීමට උචිත පදයක් ලෙසින් එය ප්‍රයෝජනයට ගැණිනි. ඒ න්‍යාය සංගෘහිත ග්‍රන්ථවන අභිධර්ම සප්තප්‍රකරණය හැඳින්වූයේ ද ඒ ශබ්දයෙන් ම ය.