Print this Article


පන්සිල් නිසි පරිදි රකිමු

පන්සිල් නිසි පරිදි රකිමු

බෞද්ධ ආචාරධර්මවලින් මග පෙන්වන්නේ වැරැදි ක්‍රියාවලින් වැළැක්වීමටත් එයින් ඉවත් වීමටත් ය. එය විරමනය යි. පන්සිල්වල වේරමණි යනුවෙන් යෙදුමක් ඇත්තේ වැරැදි සහගත සිතිවිලි නොසිතීමෙන් ද, වැරැදි සහගත වචන භාවිත නොකිරීමෙන් ද, වැරැදි ක්‍රියා අනුගමනය නොකිරීමෙන් ද කටයුතු කළ යුතු බව අවධාරණය කිරීමටයි.

සදාචාරය හා බුදුදහම අන්‍යොන්‍ය වශයෙන් බද්ධ වූවකි. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වල අරමුණ වන්නේ සත්ත්වයා නිර්වාණගාමී පිළිවෙතට යොමු කිරීමයි. එබැවින් ගිහියෙකු වුවත්, පැවිද්දෙකු වුවත් ඒ ඒ ජීවිතවලට අදාළ චර්යා ධර්ම අනුගමනය කිරීමෙන් පරිපූර්ණ පුද්ගලයෙකු බවට පත්වේ.

ඒ සඳහා බුදු දහමෙන් නිර්දේශිත ඉගැන්වීම් සමුදායක් ඇත. කුසල හා අකුසල, පුඤ්ඤ පාප, සීලය වැනි අංග නිදසුන් වශයෙන් දැක්විය හැකි ය. මෙම කෙටි ලිපියෙන් බෞද්ධයෙකුගේ ජීවිතය පරිපූර්ණත්වයට පත් කිරීමට අවශ්‍ය සදාචාරාත්මක ප්‍රතිපදාවට අයත් සීලය නිවැරැදිව ආරක්ෂා කළ යුතු ආකාරය සාකච්ඡා කරනු ලැබේ.

බෞද්ධයාගේ නිත්‍ය සීලය වන්නේ පංච සීලයයි. මෙය කම්සැප වින්දනය කරන හා නොකරන සියලු දෙනාට පොදුවේ ආරක්ෂා කළ හැකි ප්‍රතිපදාවකි. කාමභෝගි ජීවිතයක් ගෙවන අයෙකුට පන්සිල් රැකීම බාධකයක් නොවේ. එසේම ආගමික භේදයකින් තොර සමාජීය වටිනාකමකින් අනූන පොදු ප්‍රතිපදාවක් ලෙස පංච සීලය හඳුනාගත හැකි ය.

පංච සීලය නිවැරැදිව ආරක්ෂා කිරීමේ දී එහි අංශ දෙකක් ඇති බව වටහාගත යුතු ය. වැරැදිවලින් වැළකීම හා සමාදන්වීමයි. එය විරමනය හා සමාදානය වශයෙන් පංචසීල ශික්ෂාපදයන්හි ඇතුළත් වේ. බෞද්ධයන් පන්සිල් රක්ෂා කිරීමේ දී විරමනය පිළිබඳ අවදානය යොමු කළත් සමාදානය පිළිබඳව කිසිදු අවධානයක් නොමැති බව පෙනේ. පන්සිල්වලට අයත් ශික්ෂාපදයක් අංග සම්පූර්ණ වීමට නම් මෙම උභය අංශයම සම්පූර්ණ විය යුතු බව අවධානයේ තබා ගත යුතු කරුණකි.

විරමනය යනු වැළකීමයි. බෞද්ධ ආචාරධර්මවලින් මග පෙන්වන්නේ වැරැදි ක්‍රියාවලින් වැළැක්වීමටත් එයින් ඉවත් වීමටත් ය. එය විරමනය යි. පන්සිල්වල වේරමණි යනුවෙන් යෙදුමක් ඇත්තේ වැරැදි සහගත සිතිවිලි නොසිතීමෙන් ද, වැරැදි සහගත වචන භාවිත නොකිරීමෙන් ද, වැරැදි ක්‍රියා අනුගමනය නොකිරීමෙන් ද කටයුතු කළ යුතු බව අවධාරණය කිරීමටයි. මෙම විරමනය සඳහා කිසිදු බලකිරීමක් නැත. එය එක් එක් ශික්ෂාපදය පිළිබඳ අවබෝධයෙන් යුක්තව කළ යුතු වේ. විරමනය පුහුණු කළ යුතු පළමු පියවර පංචසීලයයි. යමෙක් එය නිවැරැදිව සිදු කරන්නේ නම්, අවසානයේ දී ඔහු මුළු ලෝකයෙන් ම නො ඇලී ඉවත් වෙයි. මෙසේ ආශාවෙන් ඉවත්වීම නම් වූ නිර්වාණය දක්වාම ගමන් කිරීමට මෙම ප්‍රතිපදාව බෙහෙවින් ඉවහල් වේ.

විරමනය සෑම ශික්ෂාපදයකම ඇතුළත් අංගයකි. ඒ අනුව පන්සිල් රක්ෂා කරන පුද්ගලයා පළමුව විරමනය පුහුණු කළ යුතු ය. සතුන් මැරීම, අනුන්ගේ දේ සොර සිතින් ගැනීම, කාමයන්හි වරදවා හැසිරීම , බොරුකීම හා මත්වතුර හා මත්ද්‍රව්‍ය භාවිතය යන අංග පහෙන් ඉවත් වීම විරමනයයි. වර්තමානයේ සියලු දෙනාම මේ අංශය නිවැරැදිව අනුගමනය කරයි. එය පන්සිල්වල පළමු පියවරයි. ඒ තුළින් පන්සිල් රක්ෂා කිරීම අංගසම්පූර්ණ නොවේ.

සමාදානය යනු පන්සිල් රක්ෂා කිරීමේ දෙවැනි පියවරයි. සෑම ශික්ෂාපදයකම සමාදානය අවධාරණය කළ ද එය ක්‍රියාවට නැංවීම බෞද්ධයන් විසින් සිදු නොකරනු ලැබේ. සමාදියාමි යන පදයෙන් අර්ථවත් වන්නේ එම තත්ත්වයයි. සෑම ශික්ෂාපදයක් ම සමාදානයක් වීමට කරුණු කිහිපයක් සම්පූර්ණ විය යුතු ය. එකී කරුණු සංක්ෂේපයෙන් මෙසේ දක්වමු.

1.ප්‍රාණඝාතයෙන් වෙන් වී, දඬු මුගුරු අවි ආයුධ බිම තබා, පවට ලජ්ජා වී, දයාවෙන් යුක්තව, සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කිරීම

2.නොදුන් දෙය ගැනීම අත්හැර, නොදුන් දෙය ගැනීමෙන් සම්පූර්ණයෙන් වැළකීමත් දුන් දෙයම ගැනීම හා දුන් දෙයම කැමති වී සොරකම් නොකිරීමෙන් පිරිසුදු බවින් යුතුව වාසය කිරීම

3.පංචකාමයන්හි වැරැදි ලෙස හැසිරීම හැර උතුම් පැවතුම් ඇති අයෙක් වීම

4.බොරු කීම අත්හැර, බොරු කීමෙන් සම්පූර්ණයෙන් වැළකීමත් සැබෑ වචන කියන්නේ, සත්‍යයෙන් සත්‍යය ගළපන්නේ ස්ථීර කතා ඇත්තේ ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර පරස්පරවිරෝධි කතා ඇති නොකිරීම

5.මත්වීමට හා පමාවීමට හේතුවන දේ භාවිතයෙන් ඉවත්වීම හා එවැනි පුද්ගලයන් සමඟ එක්ව කටයුතු නොකිරීමත්, තමන්ගේ හා අනුන්ගේ ජීවිත පරිහානියට පමුණුවන එකී පානයන් හා ද්‍රව්‍ය ජීවිතයට අවශ්‍ය අංග වශයෙන් නොසැලකීමත් සමාදානයේ ලක්ෂණයන් ය.

සමාදානය පන්සිල්වල ඇති වැදගත්ම අංශයයි. පන්සිල් රැකීමේ ඵලය තමන්ට මෙන්ම අන්‍යයන් වෙත ද ගමන් කරන ප්‍රබල තත්ත්වයක් වන්නේ සමාදානය යි. පංචශීලයෙහි ඇති පරහිතකාමිත්වය සමාදානයෙන් ප්‍රකට වන වැදගත් ලක්ෂණයකි. පුද්ගලයා සෑම අවස්ථාවක දී ම තමා අවට ජීවත්වන අයගේ ජීවිතවලට තර්ජනයක් නොවී කටයුතු කරන්නේ සමාදානය නිසා ය. තමන් පිළිබඳව හා තමාගේ අවශ්‍යතා පමණක් සිතා කටයුතු කිරීම බෞද්ධයාගේ ලක්ෂණයක් නොවේ. පන්සිල්වල ඇතුළත්ව ඇත්තේ සියලු දෙනාගේම මානව අයිතිවාසිකම් ආරක්ෂා කරමින් තමන්ටත් කිසිදු පීඩනයක් ඇති නොකර යහපත් පුරවැසියෙකු වශයෙන් ජීවත් වීමේ චර්යා රටාව යි. එසේම තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට අන්‍යයන්ට පීඩා ඇති කිරීම බෞද්ධයාගේ ලක්ෂණය නොවේ. අන්‍යයන්ගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කරමින් සදාචාර සම්පන්න පුද්ගලයෙකු වශයෙන් ජීවත් වීමට පංචසීලයෙන් අවධාරණය කරන විරමනයත්, සමාදානයත් සමසේ රක්ෂා කළ යුතු බව බුදු දහමින් නිර්දේශ කෙරේ. එම ක්‍රමවේදය අනුගමනය කරමින් සදාචාරවත් පුද්ගලයෙකු බවට පැමිණ අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කර ගැනීම බෞද්ධයෙකුගේ ලක්ෂණයයි.