Print this Article


දඬුවම පිළිබඳ බෞද්ධ ආකල්පය

දඬුවම පිළිබඳ බෞද්ධ ආකල්පය

දඬුවම පිළිබඳව බුදුසමයෙහි දක්නා ලැබෙනුයේ වඩාත් ප්‍රබුද්ධ ආකල්පයකි. ප්‍රජාව වරදින් මුදාලීමට, එසේ නැතිනම් අපරාධ මැඩ පැවැත්වීමට ගත හැකි ගත යුතු එකම පියවර දඬුවම් දීම යැයි බෞද්ධ ධර්ම විනය නොපිළිගනියි.

එහෙත් එයින් අදහස් කරනුයේ දඬුවම බුදුදහම විසින් සපුරා නොපිළිගන්නා බව නොවේ. ප්‍රධාන වශයෙන් වරද කළවුනට රජුන් විසින් එකල ලබා දුන් දඬුවම් පිළිබඳ වැදගත් තොරතුරු ද බෞද්ධ මූලාශ්‍ර හෙළිදරවු කරයි. විනය මූලාශ්‍ර අනුව සොරකම් කළවුනට රජ අණ පරිදි දරුණු දඬුවම් දෙන ලදී.

1. මරණ දඬුවම (හනෙය්‍යුං)

2. සිර දඬුවම (බන්ධෙය්‍යුං)

3. රටින් පිටුවහල් කිරිම (පබ්බාජෙය්‍යුං) (ප්‍රාතිමෝක්ෂය)

සමාජ පරිණාමය පිළිබඳ බෞද්ධ වෘත්තාන්තය අනුව දොස් නැගීම (ඛීයිතබ්බං ඛිය) ගැරහීම (ගරහි තබ්බං ගරහ) පිටුවහල් කිරීම (පබ්බාජෙතබ්බං පබ්බාජෙහි) යන දඬුවම් සමාජයේ සමාරම්භක යුගයේ දී ක්‍රියාවට නැගිණ. මේ හැර විවිධ අපරාධ කළවුනට එකල රජු විසින් දුන් දරුණු දඬුවම් රාශියක් ගැන ද පෙළ දහම කියයි.

කසයෙන් තැලීම, වේවැලෙන් තැලීම, මුගුරින් තැලීම, අත සිඳ දැමීම, පය සිඳ දැමීම, අත්පා සිඳ දැමීම, කන සිඳ දැමීම, නාසය සිඳ දැමීම, කන් නාසා සිඳ දැමීම, හිස්කබල මුදුනින් ගලවා ඇතුළත කැඳ හැලියක් මෙන් කිරීම, හිස්කබල සම ගලවා බොරළු උලා හක්ගෙඩියක් මෙන් කිරීම, අඬුවෙන් මුඛය විවර කොට ඇතුළත පහන් දැල්වීම, සකල ශරීරය රෙදි ඔතා තෙල් ගල්වා ගිනි දැල්වීම, දෑත්වල තෙල් පාන්කඩ ඔතා ගිනි දැල්වීම, ගෙලෙහි පටන් සම ගලවා ගොප් ඇටයෙහි හෙළා ලණු බැඳ එහෙ මෙහෙ ඇදීම, ගෙලපටන් සම ගලවා කටියෙහිද කටියෙහි පටන් සම ගලවා ගොප් ඇටයෙහිද තැබීම, දෙදණ දෙවැලමිට යවුල්ගසා බිමට සවිකොට අවට ගිනි දැල්වීම, දෙපස තියුණු කටු ඇති යකඩ ආයුධයෙන් ඇන සම්මස් ලේ නහර ඉලිප්පීම, තියුණු වෑයකින් කහවණු පමණ මුළු සිරුරම පෙති ගැසීම, තියුණු අවියෙන් සිරුර තැන තැන තුවාල කොට කාරම් ඉසීම, එක් ඇලයකට බිම පෙරළා කනෙහි යකඩ උල් ගසා දෙපයින් අල්ලා කරකැවීම, සිරුරේ සම නොසිඳ ඇඹරුම් ගල් ආදියෙන් ගසා ඇට කුඩුකර පිදුරු බිස්සක් මෙන් කිරීම, කැකෑරෙන උණු තෙල් ඉසීම, දින කිහිපයක් නිරාහාරව තබා චණ්ඩ බල්ලන් ලවා කැවීම, දිවැස් හුල හිදුවීම, කඩුවෙන් හිස සිඳ දැමීම, (මහා දුක්ඛන්ධ සූත්‍රය. ම.නි)

මෙබඳු කායික දඬුවම් දීම බුදුදහමට අභිමත නොවේ. එහෙත් පුද්ගලයෙකු වරදින් මුදා ගැන්මේ අදහසින් පිළියමක් සේ මානසික ස්වරූපයෙන් කරන යම් යම් දඬුවම් බුදුසමය ද අනුමත කරයි. බුදුදහම අනුව විෂමාචාරයන්හි නිරත වීම වූ කලී අහඹු සිදුවීමක් නොවේ. එයට තුඩුදෙන බාහිර හා අභ්‍යන්තර හේතු සාධක ඇත. එකී විෂමාචාර අපරාධ, වැරැදිවලින් මිනිසුන් මුදාගැනීම පිණිස එම හේතු සාධක නැති කළ යුතු ය. හේතුව ඇති තැන ඵලය ඇත. හේතුව නැති තැන ඵලය නැත. බුදුදහමෙහි ඉගැන්වෙනුයේ හේතුව නැතිකිරීමෙන් ඵලය නැති කිරීම යි. අකාර්යක්ෂම රාජ්‍ය පාලනයත් ඉන් උපදනා ආර්ථික පරිහානියත් ඒ හේතුවෙන් පැතිර යන දිළිඳුකම ඇතුළු විවිධ සමාජ ගැටලුත් මිනිසුන් නීති විරෝධි ක්‍රියාවන්ට පොළඹවන සැටි බුද්ධ වචනයෙහි පෙන්වා දී තිබේ. එවැනි පසුබිමක් තුළ අපරාධ කරන්නවුන්ට දරුණු දඬුවම් පැමිණවීම ම සමාජය යථාතත්ත්වයට පත්කිරීමට හුදෙක් ප්‍රමාණවත් නොවන බව ද බුදුදහම පෙන්වා දෙයි. කළ යුත්තේ ඒ හේතුවට පිළියම් කිරීම ය. දඬුවම් දීම ඵලයට පිළියම් කිරීමකි. හේතුව තිබිය දී ඵලයට පිළියම් කිරීම එම ගැටලු තවතවත් වර්ධනය වී මිනිසුන් තවතවත් වැරැදි කිරීමට පොළඹ වනු ඇත. වධ දීමෙන් එම තත්ත්වය නැති කළ හැකි යැයි පාලකයාට අදහසක් ඇතිවිය හැකි ය. එහෙත් එය කළ හැක්කක් නොවේ. ඉන් තවතවත් වැරැදි ක්‍රියාවන්ම වර්ධනය වෙයි. රට පීඩාවට පත් වෙයි. කළ යුත්තේ හේතුව නැති කිරීම ය. ඒ සඳහා වන සමාජ ආර්ථික සංවර්ධන පිළිවෙතක් බුදුදහම නිර්දේශ කරයි. එනම් ගොවිතැන, ගවපාලනය වැනි නිෂ්පාදන කටයුතුවල නිරතවන්නන්ට අවශ්‍ය බීජ හා සම්පත් ලබා දෙමින්, නිෂ්පාදනය ප්‍රජාව වෙත ගෙන යන වෙළෙඳුන්ට අවශ්‍ය මූල ධනයාදිය ලබාදෙමින්, පරිපාලනය කටයුතුවල යෙදෙන රාජ්‍ය සේවකයන් නිසි තනතුරු වල පිහිටුවා බත් වැටුප් ලබා දෙමින් නිෂ්පාදනය ද, බෙදාහැරීම ද, පරිපාලනය ද ගොඩනැගීම ය. එවිට අදත්තාදානාදී සාවද්‍ය ක්‍රියා වැළකෙයි. ප්‍රජාව දිළිඳුකමින් අත්මිදීම හේතුවෙන් එවන් සාවද්‍ය ක්‍රියාවලින් අත්මිදෙන බැවිනි. (කූට දත්ත සූත්‍රය, දි.නි.)

බුද්ධ වචනයට අනුව පාලකයා නිසි රාජ්‍ය ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග අනුව රට පාලනය නොකරන විට දිළිඳුකම පැතිර පෙර සේ ම සොරකමත්, මුසාවත්, මිනිස් ඝාතනත් වැඩි වූ තැන කළ යුත්තේ ද එම අපරාධවලට තුඩු දෙන හේතු නැති කිරීමයැයි පෙන්වා දී තිබේ. එවැනි අවස්ථාවක සාමාන්‍යයෙන් දේශපාලකයෙකු සිදු කරන ක්‍රියා මාර්ග දෙකක් ඇත. එකක් නම් ආර්ථික සුරක්ෂිතතාවය ඇති කර ගැන්මට අවශ්‍ය නිෂ්පාදන ක්‍රියාවලියට මහජනයා යොමු නොකොට ඔවුන්ට නිකම් ධනය බෙදාදීම ය. තමන් අපරාධ කරනුයේ නිර්ධන බැවිනැයි ප්‍රජාව කී විට ඔවුන්ට එසේ ධනය බෙදා දීම නිසා තවත් ධනය ලබා ගැනීමට ඔවුහු තව තවත් අපරාධවලට පෙළඹෙති. පාලකයාගේ අනෙක් ක්‍රියා මාර්ගය නම් අපරාධ කරනවුන්ට දරුණු අමානුෂික දඬුවම් පැමිණවීම ය. මෙයද දරිද්‍රතාවයේ හේතු තිබියදී ඵලයටම පිළියම් කිරීම යි. එයින් ද තව තවත් අපරාධ වර්ධනය වෙයි. මහජනයා දිළිඳු වීමෙන් දිළිඳුකම පැතිර යාමෙන් සොරකම උපදියි. එය පැතිරෙයි. එයින් අවි ආයුධ භාවිතය උපදියි. පැතිර යයි. එයින් පරපණ නැසීම් බහුල වෙයි. එයින් බොරුකීම ද, කේළමද උපදියි. රළු වචන හා හිස්වචන ද බහුල වෙයි. අනිසි කාම සේවනය ද උපදියි. මෙසේ මිථ්‍යා දෘෂ්ටිය ද, මිථ්‍යා ධර්මය ද, අධර්ම රාගය ද, විෂම ලෝභය ද බහුල වෙයි. මාපියනට ගරු නොකරන, මහණ බමුණන්, කුළ දෙටුවන් නො පුදන අදැහැමි සමාජයක් මෙසේ බිහි වන්නේ ය. මෙම තත්ත්වය සමහන් කිරීමට ධනය බෙදාදීම විසඳුමක් නොවූ තැන පාලකයෝ දඬුවම් දීමට පෙළඹෙති. ‘දැඩි රැහැනින් දෑත් පිටුපසට බැඳ හිස මුඩු කොට රළු හඬ ඇති පණාබෙර වයමින් ගෙන ගොස් හිස් ගසා දැමීමට ක්‍රියා කරති.’ මෙසේ දඬුවම් දීමෙන්ම අපරාධ වැළැක්විය හැකි නොවන බව පෙන්වා දෙන මෙම දේශනාව ද පාලනය කාර්යක්ෂම කොට දිළිඳු බව නැති කිරීමෙන් එනම් වරදට පෙළඹෙන හේතු නැතිකිරීමෙන් වරදින් සමාජය මුදාගත යුතු බව පෙන්වා දෙයි. (චක්කවත්ති සීහනාද සූත්‍රය, දී.නි.)

මිනිසුන් වැරැදි කරන්නේ හුදෙක් දේශපාලන ආර්ථික හේතු මතම නොවේ. එහිලා තුඩුදෙන ආධ්‍යාත්මික හේතු යුක්තින් ද ඇත. කාමය ඉන් එකකි. කාමය හේතුකොටගෙන කරුනු කොටගෙන, නිධාන කොටගෙන කලි කලහ විග්‍රහ විවාදාදිය උපදින අයුරු මහා දුක්ඛ කන්ධ සූත්‍රය පැහැදිලි කරයි. මාපියන් අතරත්, දූ පුතුන් හා මාපියන් අතරත්, සොහොයුරු සොහොයුරියන් අතරත්, ක්ෂත්‍රියන් අතරත්, බමුණන් අතරත්, ගෘහපතියන් අතරත්, ක්ෂත්‍රියයන් හා බ්‍රාහ්මණයන් අතරත් කාම හේතුවෙන් ගැටුම් හටගනී. වාද විවාද උපදියි. ඒ හේතුවෙන් ඔවුහු මරණයට හෝ මරණ සමාන දුකටද පත්වෙති. එසේම කාමය නිදානකොටගෙන ප්‍රාණඝාතාදී පස්වැදෑරුම් වූ වැරැදි කරනු ලැබේ. එම වරද හේතුවෙන් මෙලොවට ද පරලොවට ද අනේකවිධ වූ දුක් උපදියි. මේ අනුව ආර්ථික දේශපාලන හේතු හැරුණුවිට මිනිසුන් වැරැදි කරන මානසික හේතු ද ඇත. තවත් දේශනයකට අනුව වින්දනය නිසා තණ්හාව උපදියි. තණ්හාව නිසා සෙවීම වේ. සෙවීම නිසා ලැබීම වේ. ලැබීම නිසා එහි (ඉටු අනිටු බව) විනිශ්චය කිරීම වේ. විනිශ්චය නිසා ඡන්ද රාගය උපදියි. ඡන්දරාගය නිසා මමායනය වේ. මමායනය නිසා පරිග්‍රහය (අයත් කර – බදා ගැන්ම) වේ. පරිග්‍රහය නිසා මසුරු බව උපදියි. මසුරු බව නිසා ආරක්ෂාව යොදනු ලැබේ. ආරක්ෂාව උදෙසා දඬු මුගුරු අවි දරනු ලැබේ. දඬු මුගුරු අවි ගත් කල කළහ, විග්‍රහ, විවාද, ඇණුම්, බැණුම්, කේලාම්, මුසා බිණුම් ආදී නොයෙක් ලාමක (අකුසල) ක්‍රියාවන් හටගනී. මෙසේ වින්දනය, තණ්හාව ආදී සන්තානගත දුබලතා හේතු කොටගෙන මිනිස්සු අනේකවිධ ක්‍රියාකාරකම්වලට ද ඒ ඔස්සේ විවිධ අපරාධවලට ද යොමු වෙති.

(දි.නි) මහා නිදාන සූත්‍රය) සමාජය වරදින් මුදා ගැන්මට නම් එක් එක් පුද්ගලයා තුළ මුල්බැස පවත්නා වූ ද (අනුසය) හාත්පසින් නැගී සිටින්නාවූ ද (පරියුට්ඨාන) පාපි සිත් ක්‍රියාවට නැගීම (පරියුට්ඨාන) වැළැක්විය යුතු ය. කෙලෙස් ක්‍රියාත්මක වීම යනු විවිධ අපරාධ සිදු කිරීම යි. එම කෙලෙසින් ප්‍රජාව මුදා ගැනීමට බුදුසමය ශීල ශික්ෂාව උගන්වයි. එනම් සියලු පව් නොකිරීම ය. කෙලෙස් උත්සන්න වීමෙන් සිත මුදා ගැන්මට සමාධිය උගන්වයි. එනම් කුසල් සිත් වැඩීම ය. කෙලෙස් මුල් උදුරා දැමීමට ප්‍රඥාව ප්‍රගුණ කළ යුතු ය. එනම් යථාවබෝධය ලද යුතු ය. එසේ ත්‍රිවිධ ශික්ෂාවන් පූරණය කළ උතුමා රහතුන් වහන්සේ ය. උන්වහන්සේගේ සිතින් කයින් හෝ වදනින් සාවද්‍ය වූ පාප ක්‍රියාවන් සිදුවීමට ඉඩ නැත්තේම ය. මෙසේ ලෝකයේ සාපරාධි ක්‍රියා පාලනය කිරීමටත් මුලිනුපුටා දැමීමටත්, උත්තරීතර චරිත සංවර්ධනය, සදාචාරාත්මක පරම පූර්ණතාව පුද්ගලයන් තුළ ඇතිවිය යුතු යැයි බුදුදහම උගන්වයි.

ඉතිරි කොටස මැදින් අවඅටවක පෝදා පත්‍රයේ පළවේ.