Print this Article


කාලය ගංගාවක් වැනිය

කාලය ගංගාවක් වැනිය

අතීතය, වර්තමානය හා අනාගතය යනු අපි ජීවත්වන කාලයේ අවස්ථා තුනකි. වර්තමානය යනු මේ මොහොතේ අප ජීවත්වන කාලය යි.

ජීවත් වී අවසන් වූ කාලය අතීතය නම් වන අතර, ඉදිරියේ දී ජීවත්වීමට අපේක්ෂා කරන කාලය අනාගතය නම් වේ. මෙයින් අතීත කාලය ගැන අපට බොහෝ දේ කියන්නට ඇත. අපට සුන්දර අතීතයක් තිබුණා. ඒත් ඒක දැන් දකින්නට නැහැ යැයි අබිමානයෙන් කියන්නෝ ද ඒ අතර වෙති. එසේම අපේ අතීතය නම් මිහිරි නැහැ. බොහෝ කටුක අත්දැකීම්වලට මුහුණ දුන්නා යැයි අතීතය ගැන දුක් මුසුව සිහි කරන්නෝ ද වෙති. අනාගතය සම්බන්ධයෙන් ද කිවයුතු වන්නේ මෙබඳුම දෙයකි. සමාජයේ බොහෝ අය අනාගත බලාපොරොත්තු හා සිහින මාළිගා ගැන මුමුණති. එම සිහිනය සැබෑ කර ගැනීම සඳහා කිසියම් නිශ්චිත වැඩ පිළිවෙළක් නැතත් තම අනාගත සිහිනය ගැන දිවා රෑ සිතමින් ද, කියමින් ද සමහරු කල් ගෙවති. අතීතය සහ අනාගතය සම්බන්ධයෙන් මිනිසුන් මෙසේ සිතීමෙහි ඇති වැරැදි හෝ නිවැරැදි බව පිළිබඳව ඔබට විවිධ උපකල්පනයන් තිබිය හැකි ය. එහෙත් එම උපකල්පනයන්ගේ යථාර්ථය ගැන මනසින් දැකීම ඔබගේ සාර්ථකත්වයට පිටුවහලක් වනු නො අනුමාන ය.

වරක් එක්තරා දෙවියෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේගේ ශ්‍රාවකයන් ඉතා සතුටින් හා ප්‍රිය මුසුව ජීවත්වීමට හේතුව කුමක් දැයි බුදුරදුන්ගෙන් විමසී ය. එයට බුදුරජාණන් වහන්සේගේ ඍජු පිළිතුර වූයේ ඔවුන් අතීතය ගැන නො පසුතැවෙන බව හා අනාගතය ගැන ප්‍රාර්ථනා නැති බවත් වර්තමානයේ ජීවත්වන බවත් ය. කෙනෙකුගේ අතීතය යනු ඔහුගේ වර්තමානය බව බොහෝ දෙනා නො දන්නා කරුණකි. ඔබගේ මේ පුවත්පත කියවන මෙම මොහොත තවත් සැනෙකින් අතීතයක් බවට හැරේ. එම නිසා ඔබ මෙම මොහොත යහපත් නම්, ඔබගේ අතීතය ද යහපත් වූවක් වේ. එසේම ඔබගේ අනාගතය යනු ඔබගේ වර්තමානය සමඟ සම්බන්ධ වන ඊළඟ මොහොතයි. ඔබගේ මෙම මොහොත යහපත් වීම යනු අනාගතය යහපත් වීමකි. මේ නිසා අතීතය යන්නත්, අනාගතය යන්නත් පවතින්නේ වර්තමානය තුළ ය. වර්තමානය හෙවත් අප ජීවත්වන මෙම මොහොත ගැන වඩාත් පැහැදිලි අවබෝධයක් තිබීම මිනිස් ජීවිතයේ දී ඉතා වැදගත් කරුණකි. ඔබ මේ මොහොතෙහි තථාගතයන් වහන්සේට මලක් පූජා කරයි නම් තවත් කෙනෙකු එය පවසන්නේ ඔබ මලක් පූජා කළා යැයි අතීත ක්‍රියාවක් වශයෙනි. එසේම ඔබ සොර සිතින් යමක් කරයි නම් ඔහු එය පවසන්නේ ද සොර වැඩක් කළා යනුවෙනි. මේ නිසා අතීතයේ යහපත් හෝ අයහපත් සැමරුම් සනිටුහන් වීමට ඔබ මෙම මොහොතෙහි ජීවත් වන ආකාරය හේතුවේ. මේ අනුව අනාගතය යහපත්වීමට ද බලපාන්නේ වර්තමාන කාලය ම බව අමුතුවෙන් කිවයුතු නොවේ.

සැබැවින්ම අතීතය හෝ අනාගතය යනු කාලයේ අවස්ථා දෙකකි. එය ගමන් කරන පුද්ගලයෙකු වැනි ය. එසේත් නැතහොත් ධාවනය වන බස් රථයක් හෝ ගලා බසින ගංගාවක් වැනි ය. ධාවනය වන බස් රථයකට නැග සිටින ඔබ එහි අසුනක වාඩි වී සිටියත් මොහොතින් මොහොත අතීතයටත්, අනාගතයටත් පැමිණේ. එහෙත් ඔබ සිතා සිටිනුයේ වර්තමානය තුළ ජීවත්වන බව ය. එය මිථ්‍යාවකි. එහිදී අතීතයටත් අනාගතයටත් ගමන් කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව පිළිබඳව ඔබ අවිඥානික ය. නො දැනුවත් ය. හුදෙක් අතීතය හා අනාගතය යනු කාලයේ මායාවකි. මේ නිසා වර්තමානය සති සම්පජඤ්ඤයෙන් ජීවත්වීම වඩාත් බුද්ධිගෝචර ක්‍රියාවක් බව බුදුදහම උගන්වයි.

බුදුරජාණන් වහන්සේ අතීතයෙහි හෝ අනාගතයෙහි ජීවත්වීමට තම ශ්‍රාවකයන්ට කිසිදු අවස්ථාවක නො වදාළහ. උන්වහන්සේ වර්තමානයෙහි සිටීම ම උසස් කොට සැලකූ සේක. සතිය හෙවත් සිහියෙන් විසීමේ වැදගත්කම පිළිබඳව බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට නිරන්තරයෙන් අවධාරණය කළ සේක. සතිය යනු එළඹ සිටි කාලයෙහි ජීවත්වීමයි. එනම් වර්තමානයෙහි හෙවත් පවතින මොහොතෙහි ජීවත්වීමයි. තමන් ගමන් කරද්දී මම දැන් ගමන් කරමි, හිටගෙන සිටිද්දී මම සිටගෙන සිටිමි, හිඳගෙන සිටිද්දී මම දැන් හිඳගෙන සිටිමි, නිදාගෙන සිටිද්දී මම දැන් නිදාගෙන සිටිමි යැයි ද නිදි වරද්දී මම දැන් නිදි වරමි යැයි ද මෙසේ තමා එම මොහොතෙහි කරන කාර්යය පිළිබඳව සිහියෙන් සිටීම භාවනාවක් වශයෙන් පුරුදු පුහුණු කළයුතු බව පෙන්වා දුන්හ. මෙයින් අදහස් වන්නේ වර්තමානයෙහි ජීවත්වීම බුදුන් වහන්සේ අනුමත කරන ජීවන රටාව බවයි.

වර්තමානය යනු මේ මොහොත බව හැඳීනගෙන ඒ තුළ ජීවත්වීමෙන් ආගමික පරමාදර්ශයන් මුදුන් පමුණුවා ගත හැකි බව තේරුම් ගත යුතු ය. එසේම මෙය සාමාජික වශයෙන් ද වැදගත් වන කරුණකි. යමෙකුගේ අතීතය දෙස බලා කිසිවෙකුට අපහාස හා අවමන් නො කරන්න. කුමක් නිසා ද යත් ඔහු මේ මොහොතෙහි දී වෙනස් පුද්ගලයෙකු විය හැකි නිසා ය. මිනිසෙකු ජීවත්වීමේ දී සිදුවන්නේ ක්ෂණයෙන් ක්ෂණය, මොහොතින් මොහොත, තත්පරයෙන් තත්පරය කිසියම් අත්දැකීම් සමුදායක් සමඟ කවර හෝ ගනුදෙනුවක නිරත වීමකි. ඉපදීම, ලෙඩවීම, දුක්වීම, උද්දාමයට පත්වීම, යම් යම් දේ සොයා යාම, ලැබීම, නො ලැබීම යනාදී අනේකවිධ දේ ඒ අතර වේ. යහපත් වුවද, අයහපත් වුවද මේවා විසින් මිනිසාගේ අත්දැකීම් වැඩි දියුණු කෙරේ. එක් අතකින් ඒවා ජීවිතයකට ලැබෙන පාඩම් ය. දැනුම් සම්භාරයන් ය. එමගින් ඔහුගේ අවබෝධය තියුණු කෙරේ. එම නිසාම ඔහු තමා උගත් පාඩම අනුව වර්තමානය ගොඩනඟා ගැනීමට උත්සාහ කරයි. එසේම ඔහු ඒ අනුව නව ජීවිතයක් අරඹයි. මේ සඳහා පුද්ගලයෙකු වශයෙන් ඔහු පමණක් නොව එම මොහොත තුළ ඔහු වටා පවතින පරිසරය ද බලපායි. එම අවස්ථාව වන විට පවතින දේශපාලනික තත්ත්වය, නිතී රීති, ආගමික පසුබිම, අධ්‍යාපනය ආදිය පමණක් නොව දේශගුණය, මංමාවත්, ඇළ දොළ ගංගා ආදිය පවා බලපායි. එයින් බිහිවන පුද්ගලයා අතීතයේ සිටි පුද්ගලයා නොවේ. එබැවින් අතීතය අනුව සලකා කෙනෙකුගේ වර්තමානය තීරණය කිරීම බුද්ධිගෝචර ක්‍රියාවක් නොවේ.

පෞද්ගලික වශයෙන් සිතීමේ දී කෙනෙකුට වැදගත් වන්නේ අතීතය හෝ අනාගතය නොවේ. එය නිසැක වශයෙන් ම වර්තමානයයි. ‘අජ්ජේව කිච්චං ආතප්පං - කො ජඤ්ඤා මරණං සුවෙ’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ. එහි තේරුම අද කළයුතු දේ අදම කරන්න, හෙට මරණය සිදුවේ දැයි කවරෙක් දන්නේ ද? යන්නයි. සිහියෙන් යුතුව පවතින මොහොතෙහි යහපත් හා උද්‍යෝගිමත් ලෙස වැඩ කටයුතුවල යෙදීම උසස්ම දිවි පැවැත්ම වේ. කිසිවෙකු අතින් දැන හෝ නොදැන කිසියම් වැරැදි දෙයක් සිදුවී එය අතීතයට එකතු විය හැකි ය. එම අතීතය ගැන සිතා වර්තමානයේ පසුතැවීම නොකළ යුතු ක්‍රියාවකි. අතීත සිදුවීමකට පසුතැවීමත්, කිසිවක් පිළිබඳ අනාගත සිහින මැවීමත් යන දෙකම එක සමාන නිරර්ථක හා නිෂ්ප්‍රයෝජන ක්‍රියාවන් ය. අනාගතය යැයි අප උපකල්පනය කරන කාල පරාසයක සිහින මාළිගාවක් වේ නම්, එය ද සැලසුම් කළයුත්තේ වර්තමානය නමැති අත්තිවාරම තුළය. ඉගෙනීම, ඉගැන්වීම, හරි හම්බ කිරීම, එක්රැස් කිරීම, ආයෝජනයන්හි යෙදවීම, සතුටුවීම, දන් පින්කම් කිරීම යනාදිය අදම කළයුතු දේ මිස හෙටට කල් දැමිය යුතු දේ නොවේ. මහණෙනි, මේ වන සෙනසුන්ය, මේ ශූන්‍යාගාර ය, මේ රුක් මුල්ය, ප්‍රමාද නොවවු, සිත ප්‍රගුණ කරවු, පසුව විපිළිසර නොවවු යැයි තථාගතයන් වහන්සේ තම ශ්‍රාවකයන්ට නිබඳ අවවාද අනුශාසනා කළ බව බොහෝ සූත්‍ර දේශනාවන්ගේ අවසානයේ දක්නා ලැබේ. මෙයින් අදහස් වන්නේ වර්තමානය නමින් හැඳීන්වෙන කාල පරාසය තුළ දැනුවත්ව හා සිහියෙන් යුතුව සක්‍රියව සිටීමේ වැදගත්කම බුදුන් වහන්සේ අගය කළ බවයි. කෙනෙකුගේ වර්තමානය යහපත්වීම යනු ඔහු අතීතයත් අනාගතයත් යන දෙකම යහපත්වීමක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. යමෙක් වර්තමානයේ සතුටින් යහපත් දේ කරමින් සිටින්නෙක් නම්, ඔහුගේ අතීතයේ සතුටින් හා යහපත් ලෙස විසූ කෙනෙකු ලෙස තවත් මොහොතකින් සනිටුහන් වේ. එසේම ඔහු නිසැකවම අනාගතයෙහි සතුටින් හා යහපත් ලෙස වෙසෙන්නෙක් ද වේ.

බුදුදහම අනුව ජීවත්වීමට ඇත්තේ වර්තමානයක් පමණකි. අතීතය හා අනාගතය යන දෙකම පවතින්නේත්, ගොඩ නැගෙන්නේත් වර්තමානය තුළ ය. ජීවිතය භුක්ති විඳීය හැක්කේ වර්තමානය තුළ මිස අතීතය හෝ අනාගතය තුළ නොවේ. එම නිසා අතීතය හා අනාගතය නමැති මිථ්‍යාව හිස මත තබා ගනිමින් වර්තමානය ගිනි ගොඩක් නොකර ගැනීමට උත්සාහ කිරීම වැදගත් ය. කාලය ගංගාවක් හා සමාන ය. ගඟක ජල පොදක් මත දෙවරක් පා තැබිය නො හැකිය. එලෙසින් ජීවත්වන එක් මොහොතක් ඔබට නැවතත් කිසි දිනෙක හමු නොවේ. එබැවින් මෙම මොහොතේ වටිනාකම මනසින් තේරුම් ගෙන එය සුවසේ භුක්ති විඳීමින් ජීවත්වීම කාගේත් අරමුණ විය යුතු ය.