Print this Article


ශ්‍රී දළදා පුරාණය - 25 : පූර්වකෘත පුණ්‍ය මහිමයෙන් පත්වූ දියවඩන නිලමේවරු

පූර්වකෘත පුණ්‍ය මහිමයෙන් පත්වූ දියවඩන නිලමේවරු

දියවඩන නිලමේවරයා පත්කිරීමේ බලය එවකට සිටි රජතුමා සතු වූ බව සඳහන් වේ. ක්‍රි.ව. 1815 න් පසු ඉංගී‍්‍රසි ආණ්ඩුව පැවැති කාලවකවානුව තුළ දියවඩන නිලමේ තනතුර බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඇති කරන ලද ක්‍රම පටිපාටියට අනුව ඡන්දයකින් තෝරා පත් කරගන්නා ලදී.

ඒ අනුව ලක්දිව ඉංගී‍්‍රසීන්ට යටත්වීමෙන් පසු කපුවත්තේ අධිකාරම්තුමා 1814 සිට 1824 දක්වා දළදා මාළිගාවේ ප්‍රථම දියවඩන නිලමේවරයා ලෙස පත්විය. ඔහුගේ පටන් මේ දක්වා දියවඩන නිලමේවරුන් 19 දෙනෙකු එම උතුම් පදවියට පත් වී ඇත. එම නිලමේවරුන් පිළිවෙලින් මෙසේ සඳහන් කළ හැකි ය.

කපුවත්තේ අධිකාරම් 1814 සිට 1824

දෙහිගම ලොකු බණ්ඩා 1824 – 1827

කුඩා මොල්ලිගොඩ 1827 – 1828

කුඩා දෙහිගම 1828 - 1835

මුල්ලේගම අධිකාරම් 1835 – 1842

දුල්ලේගම අධිකාරම් 1842 – 1848

කුඩාබණ්ඩා දෙහිගම 1848 – 1862

කුඩාබණ්ඩා දුනුවිල 1862 – 1882

කුඩා මුදියන්සේ කිරාගම 1882 – 1897

සෙනෙවිරත්න රත්වත්තේ 1897 – 1901

කුඩාබණ්ඩාර නුගවෙල 1901 – 1916

පුංචි බණ්ඩා නුගවෙල 1916 – 1937

ටිකිරි බණ්ඩා නුගවෙල 1937 – 1947

කුඩා බණ්ඩා නුගවෙල 1947 – 1961

හැරිස් ලෙව්කේ රත්වත්තේ 1961 – 1964

එච්.බී. උඩුරාවන 1964 – 1975

ආචාර්ය නිශ්ශංක විජේරත්න 1975 – 1985

නෙරන්ජන් විජේරත්න 1985 – 2005

ප්‍රදීප් නිලංග දෑල 2005 - සිට මේ දක්වා.

ඉංගී‍්‍රසි ආණ්ඩුව ලක්දිව පැවැති මුල් කාලයේ අතිපූජනීය වූ දළදා වහන්සේගේ පූර්ණ අයිතිය ඔවුන් සතුවිය. විවිධාකාර බලපෑම්, සිංහලයන්ගේ සටන් ව්‍යාපාර හේතුකොටගෙන එම තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යාම අපහසු විය. ඒ අනුව 1853 දී ඉංගී‍්‍රසීන් විසින් දළදා වහන්සේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයට පවරන ලදී. එසේම එහි ගිහි භාරකාරත්වය දියවඩන නිලමේ නමින් සිටි නිලමේවරයාට බාරකරන ලදී. 1853 වන විට කුඩා බණ්ඩා දෙහිගමට එම කාර්යයභාරය පැවරුණි. ඒ අනුව දියවඩන නිලමේවරයා සතුව කාර්ය භාරයන් බොහොමයක් ම වර්තමාන තත්ත්වයට පරිවර්තනය වූයේ එම කාලයේ සිටය. දළදා වහන්සේ වැඩ සිටි කරඬු අතරින් පළමු කරඬුවට අයත් යතුර දියවඩන නිලමේවරයාට බාර විය. මෙය පූර්වකෘත පුණ්‍ය මහිමයෙන් ම ලැබෙන්නක් ලෙස සඳහන් කළ හැකිය. අතීතයේ දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දැරූ රජතුමා සතුව පැවැති සියලු බලතල, වගකීම් සම්භාරය මොහුට පැවරුණි. දළදා රන් කරඬුවේ යතුර භාරව සිටීම, දළදා ප්‍රදර්ශන පැවැත්වීම ආදී දේ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා සමඟ එක්ව ක්‍රියා කිරීම, දළදා වහන්සේ කෙරෙහි චිරාගත සම්ප්‍රදායට අනුව සිදුකරන ලද පුද පූජා වාරිත්‍ර අඛණ්ඩව පවත්වාගෙන යාම, වාර්ෂික සතර මංගල්‍යය පැවැත්වීම, තේවා කටයුතු නිසි පරිදි සිදු කිරීමට වගවීම, නිශ්චල චංචල දේපොළ ආරක්ෂා කිරීම, දළදා මාලිගාව පිළිසකර කිරීම, සේවකයන් පත් කිරීම, මූල්‍ය කළමනාකරණය හා විනයානුකූලව සියලු දෙනාම පාලනය කිරීම ආදිය මොහුට පැවරුණු රාජකාරි වේ.

1931 අංක 19 දරණ විහාර දේවාලගම් පනත මගින් ඔහුගේ කාලය වසර 10 කට සීමා විය. එය ද තෝරාපත් කර ගන්නේ ඡන්දයකිනි. එම ඡන්දය සඳහා තෝරාපත් කර ගැනීමට දියවඩන නිලමේ තනතුර සඳහා අයෙකු නම් කිරීම මල්වතු අස්ගිරි උභය මහාවිහාරිය මහානායක මාහිමිපාණන් වහන්සේලා විසින් සිදුකරනු ලබයි. ඒ අනුව එකල උඩරට ප්‍රදේශයට අයත්ව පැවැති බල ප්‍රදේශයන්හි පැරැණි රජමහා විහාරස්ථාන භාරකාරත්වය දරණ ස්වාමීන් වහන්සේ හෝ ගිහි භාරකරුවන් ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඡන්දය සඳහා සුදුසුකම් ලැබීමට නියමිත විය. ප්‍රාදේශීය ලේකම්වරුන් අබෞද්ධ හෝ කාන්තා නියෝජනයක් වේ නම්, ඔවුනට එම ඡන්ද බලය අහිමි වේ. එසේ ඡන්දයෙන් පත්කර ගන්නා නිලමේවරයාට ද උපරිම වශයෙන් එහි ඇති වාර ගණන අවස්ථා දෙකකි. ඒ අනුව වසර 10 බැගින් අවස්ථා දෙකකදී ඔහුට දියවඩන නිලමේ තනතුර සඳහා ඉල්ලුම් කළ හැකි ය. ඔහු බෞද්ධ නායකත්වයේ සංකේතය වශයෙන් දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වේ. පරම පූජනීය දළදා වහන්සේගේ ජාතික, ආගමික, සාමාජික කටයුතු සිදුකරන නිසාම පන්සිල් සුරකින දැහැමි සමාජයක් බිහිකරවීම ඔහුගේ ප්‍රධානතම කාර්යයන් අතර එක් කාර්යයක් වේ. දිළිඳු බෞද්ධයන් නඟාසිටුවීම, ශිෂ්‍යත්ව ලබාදීම, බොහෝ විහාරස්ථාන, දහම් පාසල් නඟා සිටුවීම, දළදා තේවාවන් සිදුකිරීම ඔහු සතුව පවතින කාර්යයක් වේ. ඒ නිසාම විදෙස් රටවල සිට පැමිණෙන දානපති රාජ්‍ය අමුත්තන් මෙන්ම මෙරට රාජ්‍ය පාලකයන් ආදී ප්‍රභූන් ද මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට යාමේදී දියවඩන නිලමේවරයා බැහැදැකීමට අමතක නොකරති. ඒ අනුව දියවඩන නිලමේවරයා මෙරට සිටින ප්‍රධාන පෙළේ පුද්ගලයකු වශයෙන් ද බෞද්ධ ජනතාවගේ ගිහි නායකත්වයට පත් වූ තැනැත්තෙකු ලෙස ද හඳුන්වා දිය හැකි ය.


ශ්‍රී දළදා පුරාණය - 24: දියවඩන නිලමේතුමා සතු කාර්යභාරය