Print this Article


නිම්නැති ගුණ ඇති අම්මා -06 : මගේ අම්මා මට හැමදාමත් ජීවමානයි

මගේ අම්මා මට හැමදාමත් ජීවමානයි

1989 වසරේ දී නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සහකාර කථිකාචාර්යධූරයට පත්වන කොටගම වාචිස්සර නාහිමියන් 1996 වසරේ දී එහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයට පත්වූහ. 2006 වසරේ උප පීඨාධිපති තනතුරට ද 2011 වසරේදී පීඨාධිපති තනතුරට ද පත්වූහ. විද්‍යාපීඨය සංවර්ධනය කොට මනා ශික්ෂණයෙන් යුතු භික්ෂූන් වහන්සේ බිහිවන දීප්තිමත් ආයතනයක් බවට පත් කරන්නට උන්වහන්සේ ඇප කැප වූහ. මීට සමගාමීව ගිහි දරුවන් සඳහා වන දඹදෙණි අධ්‍යාපන පීඨයෙහි ද පීඨාධිපති හිමියන් වහන්සේ කොටගම වාචිස්සර හිමියන් ය. උන්වහන්සේ පවසන්නේ මේ සා කාර්ය භාරයක් මනාකොට ඉටු කරන්නට සෙවණැල්ලක් සේ හිඳිමින් තමන් වහන්සේගේ, මෑණියන් වහන්සේගෙන් ලැබුණු ශක්තිය, ආශිර්වාදය තමන් වහන්සේට මහත් චිත්ත ශක්තියක් වූ බව ය. මාවනැල්ල බැද්දවෙල උපන් දිසානායක මුදියන්සේලාගේ සෝමාවතී මැණිකේ මාතාව කොටගම වාචිස්සර නා හිමියන්ගේ මෑණියන් ය. මේ උන්වහන්සේ තමන් වහන්සේගේ අම්මා ගැන කී කතාව ය.

අතට වෙරළු ඇහිද ගෙනේ
ඉණට පලා නෙළා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකි නේ

මේ දරු නැළවිලි ගීය සිහිපත්වන හැම මොහොතකම මට මතක් වෙන්නේ මගේ අම්මා. මල් වැටුණු චීත්තයකින්, සුදු පාට හැට්ටයකින් සැරසුණු මගේ අම්මා වෙල් නියර දිගේ දර මිටියක් හිසේ තියාගෙන, දෑතින් පලා මිටියකුත් අරගෙන කඩිසර ගමනින් එන හැටි අදත් මට මැවී පෙනෙනවා. අම්මා අපේ කෑම වේලට කවදාවත් පලාටික නම් වැරදුවේ නෑ. බත් පතේ රසය වගේ ම ගුණදායක බව ගැනත් අම්මා හැමදාම සැලකිලිමත් වුණා.


කොටගම වාචිස්සර හිමි

අපේ අම්මා අහිංසකත්වයේත්, උත්සාහයේත් ප්‍රතිමූර්තිය කීවොත් මා වැරැදි නෑ. ලෝකප්‍රකට නව කතා කරුවෙකු වන මැක්සිම් ගෝර්කිගේ “අම්මා” නවකතාවේ අම්මා තුළ මා දකින්නේ මගේ අම්මා.

අපේ පවුලේ දරුවො දොළොස් දෙනෙක්. පිරිමි දරුවො හත් දෙනෙක්, ගැහැනු දරුවො පස් දෙනෙක් කවා පොවා පෝෂණය කිරීම සුළුපටු දෙයක් නොවෙයි. ඒත් අපේ අම්මා කවදාවත් අප කුසගින්නේ නම් තැබුවේ නෑ. ඒ කාලේ දැන් වගේ වී මෝල් තිබුණෙ නෑ. ගෙදර වංගෙඩියෙන් වී කොටලා ගෙදරට අවශ්‍ය හාල් ටික සරි කරගන්න ඕනෑ. අම්මා උදෙන්ම නැගිටලා වී කොටනවා, .දර පළනවා. දරුවො දොළොස් දෙනෙකුගේ බඩ ගින්දර නිවන්න ඇය දැරූ වෙහෙස මොන තරම් ද? සමහර දවස්වලට අම්මාගේ අත්වල කරගැට හැදුණා. ඒත් කවදාවත් ඇය ඒ ගැන දුක් වුණේ නෑ. හැම වෙලාවෙම මුහුණේ ඇඳී තිබුණෙ හිනාවක්. දරුවො දොළොස් දෙනාටම හොඳින් උගන්වන්න අම්මාගේ හිතේ පුදුම ආශාවක් තිබුණා. මේ දුව, පුතා කියලා ,ලොකු පුතා, පොඩි පුතා කියලා කිසිම දරුවෙකුට විශේෂත්වයක් පෙන්වූවේ නෑ. අපි දොළොස් දෙනාටම එකවගේ ආදරෙයි. එක වගේ අඩුපාඩු සොයා බැලුවා. සෙනෙහස, රැකවරණය දුන්නා. ඒ නිසා අම්මගේ ආදරය, සැලකිල්ල බෙදා ගන්න අපි සහෝදර සහෝදරියන් අතර තරගයක් තිබුණේ නෑ. රණ්ඩු දබර ඇති වුණේ නෑ. අපේ තාත්තා ටිකක් සැර පරුෂ කෙනෙක්. ඒ නිසාම අපි තාත්තාට වැඩිපුර සමීප වුණේ නෑ.

අප පෝෂණය කරන්න තාත්තා මහන්සි වුණා තමයි. ඒත් අපි හැමෝම ළං වුණේ අම්මට. තාත්තාගෙන් ලැබිය යුතු ආදරය දුන්නෙත් අම්මා කීවොත් මම වැරැදි නෑ.

මම දන්නවා. අම්මා අප උස් මහත් කරන්න මහා දුක් කන්දරාවක් වින්ඳා. ඒ කාලේ අපේ ගම් පළාත්වල පහසුකම් කිසිවක් තිබුණේ නෑ. විදුලිය නෑ. දියුණු පාරතොට නෑ. ලෙඩක දී, දුකක දී බෙහෙත් ටිකක් ගන්න වුණත් කිලෝමීටර් දෙකක් පමණ පයින් යන්නට වුණා. මට මතකයි, කුඹුරු උඩින්, ඇළ වේලි උඩින් පනිමින්, අඩිපාරවල යමින් අම්මා අප කරපින්නාගෙන බේත් ගේන්න ගියා, කාශ්ඨක අව්වේ. වතුර ටිකක් බොන්නවත් අතර මග නැවතුණේ නෑ.

පාන්දර තුන හමාරට අම්මා දවසේ වැඩ ආරම්භ කළේ කුප්පි ලාම්පු එළියෙන්. කටුක, කර්කශ පරිසරයේ අපේ අම්මා අපට දුකක් නොදැනෙන ලෙස අප උස් මහත් කළා. මගේ අම්මා හොඳ ගෙවිලියක්. ඇයට අපූරු අත් ගුණයක් තිබුණා. මිරිස් පැළයක් සිටෙව්වත් සරු සාර වුණා. කරල් බරවුණා. අපේ ගෙදර වත්තේ ඕනෑ තරම් එළවළු තිබුණා. කවදාවත් මුදල් දීලා එළවළු ගත්තේ නෑ. පොල්ගහක, පුවක් ගහක වුණත් මෑ වැලක්, දඹල වැලක්, ගම්මිරිස් වැලක් දකින්නට ලැබුණා. ඒ සියල්ල පෝෂණය වුණේ අම්මගේ අත් දෙකෙන්.

අම්මා ජීවිතයේ සැප සෙවූ කෙනෙක් නොවෙයි. ඒ වගේම කාටවත් බරක් වුණේ නෑ. ඒ කාලේ කුඹුරු වැඩ බොහොමයක් කෙරුණේ සහයෝගයෙන්. ගමේ ගොයම් කපන කාලෙට ගමේ අයගේ උදවුවට අම්මත් ගියා. කවදාවත් මැසිවිලි කීවේ නෑ. ගමේ කා සමගත් සහයෝගයෙන් හිටියා. කිසිම කෙනෙක් සමඟ හිත් අමනාපකම් ඇති කර ගත්තේ නෑ.

පසළොස්වක පෝයදාට කලින් දවසේ රාත්‍රී යේ අම්මට වැඩ කටයුතු අධිකයි. පොල්කොළ එකතු කරගෙන වට්ටි හතරක් පහක් වියනවා. උදෙන්ම නැගිටලා අපවත් එකතු කරගෙන ඒ වට්ටි පුරවලා මල් කඩනවා. උදේම අපි හැමෝම පන්සල් යනවා.

පන් උදුරලා, පන් වේළලා රටා දමමින් පැදුරු වියන්නත් අපේ අම්මා හරිම දක්ෂයි. මේ සියලුම දේ කරන්න ඇයට හොඳ කාල කළමණා-කරණයක් තිබුණා. ඇය කිසිම වෙලාවක් නිකරුණේ ගත කරනවා වත්, වැඩ වැඩියි කියා මැසිවිලි නගනවාවත් මා දැක නෑ.

අම්මගේ අත් ගුණය කෑම වේලටත් හොඳින්ම ලැබුණා. ගෙදරට එන කිසිම කෙනෙක් අම්මාගේ ආහාරවලින් සංග්‍රහයක් නොලබා ආපසු යන්නේ නෑ. තමන් කුසගින්නේ සිට හෝ බත්පත පරිත්‍යාග කරන්නට තරම් ඇය නිර්ලෝභී වුණා. ඇතැම්විට නැවත උයා පිහා දෙන්නට තරම් කඩිසර වුණා. ගමේ හැමෝම මේ නිසා අම්මට හරිම ආදරෙයි.

අපේ කලිසම් පොඩි, කමිස පොඩි, සහෝදරියන්ගේ ගවුම් පොඩි සැකසුණෙත් අම්මාගේ අතින්. ඇයගේ දෑතට හොඳ හුරුවක් තිබුණා. ඒ නිසා ජීවිතය පහසු වුණා. කාටවත් බරක් වුණේ නෑ.

මට අවුරුදු හත අටක් වෙනකොට පැවිදි දිවියට ඇතුළු වෙන්න මගේ හිතේ ආශාවක් ඇති වුණා. මුලින්ම මගේ අම්මට ඒ ගැන කීවා. අම්මගේ මුහුණේ එදා දුටු පින්පාට සිනාව මට අද වගේ මතකයි. දරුවො දොළොස් දෙනාගෙන් එක් දරුවෙක් හරි ශාසනයට පූජා කරන්නට ලැබෙනවා නම් මොන තරම් වාසනාවක්ද? පින්කමක් ද? කියලා අම්මට හිතෙන්න ඇති. ඒත් එදා අම්මා කීවේ තාම පුතා පුංචි වැඩියි. පස්සේ බලමු කියල යි. මට අවුරුදු දහතුන වෙද්දී මම පැවිදි බිමට ඇතුළත් වුණා. අම්මගේ ආශිර්වාදය ඉහළින්ම ලැබුණා. තාත්තාත් සතුටු වුණා. මා පැවිදි වුණු දවසේ අම්මා කීවේ හොඳ හාමුදුරුනමක් වෙන්න කියලයි. හොඳින් ඉගෙනගන්න කියලයි. 1982 අවුරුද්දේ මම විශ්ව විද්‍යාලයට තේරුණ දවසේ අම්මා පුදුමාකාර සතුටක් වින්ඳා. අපේ පවුලේ දොළොස් දෙනාගෙන් විශ්ව විද්‍යාලයට තේරුණේ මා පමණයි. එදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි පෙරහරේ ගිහින් උපාධි ලබා ගන්නවා දුටු අම්මාගේ දෑසට සතුටු කඳුළු එනවා මම දැක්කා. ඒ වාගේම මම උපසම්ප්‍රදාව ලැබුවේ වාහලනාග උපසම්පදාවෙන්. එය ගෞරව නාමය සහිත උපසම්පදාවක්. එතැනදීත් අම්මා පුදුම සතුටක් ලැබුවා. රජයේ ගුරුපත්වීමක් ලද දවසේ අම්මා මගේ හිස අත නොගා මට ආශිර්වාද කළා. එදා ඇය ලැබූ සතුට මොනතරම් ද?

මට මතකයි, මගේ පැවිදි දිවිය සාර්ථක කරන්නට අම්මා පසෙක හිඳිමින් වෙර විරිය ගත්තා. දරුවෙක් ගෙදර රැඳෙනවාට මොන අම්මද අකැමැති. ඒත් මගේ අම්මා මා දකින්න පිරිවෙනට ආවා. මිසක් මම අම්මා බලන්න යනවාට කැමැති වුණේ නෑ. හදිසියේ දවසක ගියත් රෑ බෝ වෙන විට ගෙදර ළග පන්සලට ගෙනගොස් ඇරලවනවා. ඒ කාලේ විදුලි පන්දම් තිබුණේ නෑ. හුළු අත්තක් පත්තු කරගෙන අම්මා, අක්කාත් සමඟ මා පන්සලට ඇරලවනවා.

මම හැකි පමණ මගේ අම්මාට සැලකුවා . මගේ සහෝදර සහෝදරියනුත් සැලකුවා. අම්මා දඹදිව වන්දනාවේ යවන්න ලැබීම ලොකු භාග්‍යයක්. මොන තරම් සැලකුවත් අම්මා කෙනෙකුට සලකලා ඉවරයක් කරන්නට බෑ. හිතට මදිකමක් දැනෙනවා. අද මගේ අම්මා ජීවතුන් අතර නෑ. වසර කිහිපයකට පෙර ඇය මිය පරලොව ගියා. ඒත් මගේ අම්මා අදටත් ජීවමාන බව මගේ හිතට දැනෙනවා. මගේ අම්මා සැබෑ මාතෘත්වයේ සංකේතයක්. මව්වරුනට ආදර්ශවත් මවක් බව නොපැකිළිව කියන්නට පුළුවන්.