Print this Article


හඳුනගෙන යායුතු ගමනක්

හඳුනගෙන යායුතු ගමනක්

මහා දිගු ගමනක, කල්ප ගණනක් ඇවිදගෙන යන අප මේ කොහේ ද යන්නේ. මේ ජීවිතේ අපට සැනසිල්ලක් තියෙනව ද? කවුරුත් හොයන්නේ සැනසිල්ල, ඒත් සැනසීමක් තියෙනව ද? හඳුනගෙන මේ ගමන නොගියොත් හරිම භයානකයි. අවුරුදු හැට හැත්තෑවකට අනූවකට සීයයකට ගත කරන මේ ජීවිතේට රැවටිලා සංසාර ගමන අනාථ කරගන්න එපා. මේ එක ආත්මයක් විතරයි.

ධර්ම අධර්ම යුද්ධයක් පවතින්නේ. කෙසේ හෝ අපි ධර්මයෙන් ම මේ යුද්ධය ජයගන්න ඕනෑ. ඉරිසියාව නමැති රෝගය අතහරින්න. ඒක භයානකයි. අපි කෙනෙකුට ඉරිසියා කළොත් එහි පලවිපාක අපටමයි. වපුරන බීජයට අනුවයි ප්‍රතිඵලය ලැබෙන්නේ.

තම තමන්ගේ නුවණෙහි තරමට තමයි හැමදේම වැටහෙන්නේ. කෙනෙකුට මේ ධර්මය ඉතාම ගැඹුරුයි. ඒත් පින්වතුනේ සසරේ පින තියෙන කෙනාට ඇසූ පමණින් ම වැටහෙනවා. අංගුලිමාලට මොකද වුණේ. එක වචනයකින් ම අංගුලිමාලගේ සසරේ පින මතු වුණා. මහා දිග ධර්ම දේශනාවක් කළේ නැහැ. එක වචනයයි පැවසුවේ. අංගුලිමාල බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමිණී, නවතින්න. බුදුහාමුදුරුවෝ කුමක් ද දේශනා කළේ, අංගුලිමාල මම නතර වෙලා, අංගුලිමාල ඔබනේ දුවන්නේ. ඒ කිව්වේ පින්වතුනේ ඒ මොහොතේ සිදුවන දෙයක් ද ? නැහැ. බුදුහාමුදුරුවෝ සසර ගමන නවතගෙන. ඒත් අංගුලිමාල තවම සසර ගමනේ දුවනවා. බලන්න බුද්ධ වචනයේ ලස්සන. ඒ වචනයෙන් ම අංගුලිමාල දමනය වුණා නේ. තම තම නැණ පමණින් දැන ගත යුතු තම තමාගේ නුවණින් ම වටහාගත යුතු යි.

පටාචාරාවන්ටත් එසේමයි. එක වචනයයි දේශනා කළේ. අවසිහියෙන්, නිරුවතින් දුවගෙන ආ පටාචාරාවන් එක වචනයකින් ම වෙනස් වුණා. නැගණිය සිහි එලවාගන්න. ඒ වචනය ඇසූ ගමන් පටාචාරාවන්ට සසරේ පින මතු වුණා.

බුදුරජාණන් වහන්සේගේ සමයේත් නානා විධ ආගම් අදහන අය සිටියා. අචේල කස්සප කියා බමුණුතුමෙක් හිටියා. ඔහුගේ මිත්‍රයා චිත්‍ර ගෘහපති. අචේල කස්සප අදහන ආගමට අනුව ඔහු පාරේ ඇවිදින්නේත් නිරුවතින්. හිස මුඩු කරලා. අතේ තියෙන්නේ එක දෙයක් පමණයි. ඒ මොණර පිල්වලින් සැදූ අවානක්. අචේල කස්සප නිතරම පාරේ යනවිට මේ අවාන අරගෙන තමයි ඇවිදින්නේ. ඇඟට දූවිලි ටිකක් හරි වැදිච්ච ගමන් අර අවානෙන් පිහදානවා. දවසක් අචේල කස්සපගෙන් චිත්‍ර ගෘහපති අසනවා ඔබ අදහන ආගම කොහොමද? මම අදහන ආගම නම් පන්සිල් රකිමින් සිත සමාධි ගත කරන ධර්මයයි. අනේ අචේල කස්සපට හරි පුදුමයි. මා අවුරුදු තිහක් ආගමක් විදිහට රැක්කේ හිස මුඩු කිරීමත්, නිරුවතින් ඇවිදීමත් පමණයි. චිත්‍ර ගෘහපතිතුමනි, මමත් ඔබ අදහන ධර්මය පිළිපදිනවා. බලන්න මේ ධර්මයේ තියෙන වටිනාකම. ඕනෑම කෙනෙකුට තමන්ට සුදුසුයි කියා සිතෙනවා නම් පිළිගන්න පුළුවන්. මේ ධර්මයට නීතියක් නැහැ. මේ ධර්මයේ කිසිම තැනක අඩුවක් නැහැ. කොච්චර වටිනවා ද?

අනේපිඬු සිටුතුමාගේ පුතා තමයි කාල, මේ කාල කැමැති නැහැ පන්සල් යන්න. පින් කරන්න. කාල හරිම කම්මැලියි. අනේපිඬු සිටුතුමාටත් වුවමනායි කාල ධර්මයට යොමු කරන්න. සිටුතුමා දවසක් කාලට කියනවා කාල, ඔබ පන්සල් ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න. එහෙම ගියොත් මම ඔබට කහවනු දහසක් දෙනවා. කාල කහවනුවලට තියෙන කැමැත්තට අකැමැත්තෙන් වුණත් පන්සල් ගියා. එහෙම ගිහින් කාල බණ ඇහුවේ නැහැ. පැත්තකට වෙලා හොඳට නිදාගත්තා. ඔන්න ගෙදර ආපු ගමන් අනේපිඬු සිටුතුමාගෙන් කහවනු ඉල්ලුවා. සිටුතුමාත් ඉතින් කාලට කහවනු දුන්නා.

තවත් දවසක් සිටුතුමා කියනවා කාලට, කාල අදත් පන්සල් යන්න. කාල ඔබ අද ගිහින් එක බණ පදයක් මතක තියාගෙන ආවොත් ඔබට මම කහවනු දස දහසක් දෙනවා. කාලට දැන් හරිම සතුටුයි. කාල පන්සල් ගියා. කහවනු ගන්න ඕන නිසා කාල බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන කොට හොඳට අහගෙන ඉන්නවා. ඒත් කාලට එක බණ පදයක්වත් මතක හිටින්නේ ම නැහැ. බුදුහාමුදුරුවෝ දන්නවා දැන් කාල කහවනුවලට කැමැත්තෙන් ධර්මය අහනවා කියා. බුදුහාමුදුරුවෝ අධිෂ්ඨාන කළා කාලට එක බණ පදයක්වත් මතක නැති වෙන්න කියා. කාලට එක බණ පදයක්වත් මතක නැහැ. ඒත් කාල සිත එක අරමුණකට ගෙන බණ ඇසුවේ. ඒ පිනෙන් කාල සෝවාන් වුණා. අනේපිඬු සිටුතුමා භික්ෂූන් වහන්සේලාට සිටු මාළිගයේ දානයක් පිළියෙල කළා.

ස්වාමීන් වහන්සේලා දානයට වැඩම කර ඉන්නා විට කාලත් එතැනට ආවා. සිටුතුමා මොකද කළේ භික්ෂූන් වහන්සේලා ඉදිරියේ ම කාලට කහවනු දෙනවා. දැන් කාල මග අරිනවා. කාල මෙන්න ඔබට කහවනු. අනේ කාලට හරි ලජ්ජයි. කාලට දැන් කහවනුවලින් වැඩක් නැහැ. කාල සෝවාන් වූ කෙනෙක්. සසරේ පින මතු කරගත් කෙනෙක්. කොච්චර වටිනවා ද? සෝවාන් ඵලය උසස්. සක්විති කමටත්, සක්දෙවි කමටත් තුන් ලෝකෙට ම අධිපති වුණත් ඒ හැමදෙනාට ම පින ඉවර වූ විට නැවතත් වෙනත් ලෝකවල උපදින්න සිදුවෙනවා. ඒත් සෝවාන් වූ විට එතනින් එහාට තව තවත් උසස් වෙනවා මිසක් සෝවාන් ඵලයෙන් මිදිලා කවදාවත් සතර අපායේ උපදින්නේ නැහැ. දෙවියෙක් වුණත් පින පවතින තෙක් පමණයි දිව්‍ය සැප සම්පත් ලබන්නේ.