Print this Article


බුදු සසුනේ චිරස්ථිතියට ඓතිහාසික මෙහෙවරක්

බුදු සසුනේ චිරස්ථිතියට ඓතිහාසික මෙහෙවරක්

මෙම ලිපියේ කොටසක් පසුගිය 26 වැනිදා පත්‍රයේ පළවිය.

එදා දේවානම්පියතිස්ස රජතුමා රාජ්‍ය මැදිහත්වීම උපයෝගී කරගනිමින් මුළු රට පුරා ස්ථාපිත කළ බෞද්ධ සමාජ පර්යාය, බෞද්ධ සමාජ වැඩපිළිවෙළ, බෞද්ධ සංස්කෘතිය බිඳ වැටෙමින් වෙනත් දේශපාලන බලවේග හරහා මිත්‍යා දෘෂ්ඨියට ගමන් කළා. එවැනි වූ සංකර භාවයට පත්වුණු ජන කණ්ඩායමක් බවට ශ්‍රී ලාංකීය ජන සමාජය පත්වුණා. ඒ අනුව අප විවිධ විශ්වාස අදහන්න පටන් ගත්තා.

බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ධර්මයේ සරණ ගිය, ආර්ය මහා සංඝරත්නයේ සරණ ගිය ඒ ජනතාව ඉන්පසුව හින්දු ආගම පිළිගන්න පටන් ගත්තා. ඔවුන්ට වැඩක් කිරීමට නැකැත් අවශ්‍ය වුණා. බුද්ධ දේශනාවට අනුව තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයාට සෑම වේලාවක් ම සුබ නැකතක්. නමුත් පසුව හින්දු ආගමික බලපෑම මත බ්‍රාහ්මණ මතය පිළිගත් ජනතාව කේන්දරයට අනුව උපන් වෙලාවට අනුව නැකතට අනුව කටයුතු කරන පිරිසක් බවට පත්වුණා. මිනිසුන්ට ගෙදරින් එළියට බහින්න සුබ මුහුර්තයක් සුබ වෙලාවක් වුවමනා වුණා. නිදහසේ එහෙට මෙහෙට ගිය මිනිස්සු හිර වුණා. කොටු වුණා.

මේ දේශනාව කියවන ඔබට තේරෙනවා ඇති, ඔබ මොනතරම් ඊට හසුවෙලාද? ඉන්නේ නිතරම රාහු කාලය බලාගන්න ඕනේ. නිතරම මරු සිටින දිශාව බලාගන්න ඕනේ. නිතරම කාල හෝරා බලන්න ඕනේ. 6-7 වනතුරු තිබෙන කාලය කුමක්ද? හෝරාව කුමක්ද? සඳුද?, සෙනසුරුද? අඟහරුද? බ්‍රහස්පතීද? නැතිනම් සිකුරුද? ආදි වශයෙන් බලා සුබ අවස්ථාවකින් එළියට යන්න තියෙන්නේ. මේ වගේ පුදුම අපහසුවකට අපි හසුවුණා.

දුටුගැමුණු රජුට, සද්ධාතිස්ස රජුට හෝ එවකට සිටි වීරෝධාර රජ දරුවන්ට මේ අපහසුව සිදුවුණේ නැහැ. දුටුගැමුණු රජතුමා යුද්ධයට යනවිට නැකතට එළියට ගියේ නැහැ. එතුමා යුද්ධයට යනවිට

“බුද්ධෝ තිලෝක සරණෝ
ධම්මෝ තිලෝක සරණෝ
සංඝෝ තිලෝක සරණෝ

යන මේ ගාථා රත්න තුන රන්පතක ලියා එය ඔටුන්නේ රඳවාගෙන පිටත්ව ගියා. ඒ යන අතරතුරදී නිතරම සිහිපත් කළේ “ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ” කියන ගාථා රත්නය යි. අදටත් පිරුවානා පොත් වහන්සේ තුළ උප ග්‍රන්ථයේදී දුටුගැමුණු රජු නිතර භාවිත කළ ගාථා ලෙස දක්වා තිබීමෙන් ම අපට එය තහවුරු වෙනවා. අද බොහෝ විද්‍යුත් මාධ්‍යවල උදෑසන ආරම්භයේදී මේ ගාථා සජ්ඣායනා වෙනවා. නමුත් ඒ මාධ්‍ය මගින්ම අච්චාරු වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක වෙනවා. එනම් සුබ මුහර්තයන්, ලග්න පලාඵල ,කේන්දර , නිමිති පිළිබඳව කතා කරනවා. මේ තත්ත්වයට හේතුව මාධ්‍යවල දෝෂයක් නොවෙයි.

ඒවා කියාදෙන අයගේ දෝෂයකුත් නොවෙයි. ඒ සඳහා සම්බන්ධ වී සිටින භික්ෂූන් වහන්සේලාගේ දෝෂයකුත් නොවෙයි. එයට හේතුව ඉතිහාසය විසින් රාජ්‍ය මැදිහත්වීම මත වෙනස් කිරීමයි. අප එය තේරුම් ගත යුතුයි. එසේ තේරුම් ගත් අයෙකුට පමණයි නැවත නිවැරැදි බවකට පැමිණීමට හැකි වෙන්නේ.

පසුගිය කාලයේදී ලංකා ජන සමාජය තුළ ඉතා දැවැන්ත මිත්‍යා දෘෂ්ඨි වැපිරීමක් සිදුවුණා. ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේගේ දඹදිව සිදු වූ විශේෂ සිදුවීම් මාලාව. උප්පත්තිය ලුම්බිණියේ දී , බුද්ධත්වය බුද්ධගයාවේ දී, ප්‍රථම ධර්ම දේශනය බරණැස ඉසිපතන මිගදායේ දී, පිරිනිවන් පෑම කුසිනාරානුවර මල්ලරජදරුවන්ගේ උපවර්තන සල් උයනේ දී සිදු වූ බව අප හොඳින්ම දන්නවා. නමුත් ඒ සිදුවීම් එසේ සිදු නොවන බව පවසමින් තවත් එවැනි විවිධ මිත්‍යා මත ඇතිවුණු යුගයක ඇතිවෙමින් පවතින අවස්ථාවක විශේෂයෙන් මෙවැනි මාධ්‍ය හරහා බුද්ධ ශාසනයට ලැදි ගෞරවණීය මහා සංඝරත්නය කරන ලද ඒ උදාර මෙහෙවර නිසා මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ මග පෙන්වීමත් නිසා අපේ ගරු ජනාධිපතිතුමා රාජ්‍ය අනුග්‍රහය පාවිච්චි කර ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමට තීන්දුවක් ගත්තා.

ති‍්‍රපිටකය ජාතික උරුමයක් කිරීම රාජ්‍ය මැදිහත්වීම නැතිව කරන්නට හැකියාවක් නෑ. එදා පළමුවන ධර්ම සංගායනාවට රාජ්‍ය උපකාරිත්වය අවශ්‍ය වුණා. අජාසත්ත රජතුමා එය ලබා දුන්නා. දෙවැනි ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය වුණා. එය ලබා දුන්නේ කාලාශෝක රජතුමා. තුන්වැනි ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය වුණා. ධර්මාශෝක මහඅධිරාජයා එය ලබා දුන්නා. ඒ පැමිණි ගමන් මාර්ගයේ වර්තමාන ජනාධිපතිතුමා රාජ්‍ය මැදිහත් වීමෙන්. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පතා ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කළා. විවිධ ආකාරයේ මිත්‍යා දෘෂ්ඨි නැති කර එම මිත්‍යා දෘෂ්ඨි ප්‍රතික්ෂේප වන ආකාරයට කිසිවකුටත් මේ සූත්‍ර පිටකයට ධර්මයට අලුතෙන් කිසිවක් එකතු කිරීමට නොහැකි වන ලෙසයි එවැනි තීන්දුවක් ගත්තේ.

එය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදුකළ ශ්‍රේෂ්ඨ ඓතිහාසික ක්‍රියාවක්. එමෙන්ම එතුමා ඒ පියවර ඉදිරියට තබමින් අද එය ලෝක උරුමයක් බවට පත් කිරීමේ ක්‍රියාවලියට කටයුතු කරමින් සිටිනවා.

ඉතිරි කොටස මැදින් පුරඅටවක පෝදා මාර්තු 14 පත්‍රයේ