Print this Article


සුත්ත නිපාතයෙන් ...: යක්ෂ පිරිසක් උතුම් සෝවාන් ඵලයට

සුත්ත නිපාතයෙන් ...:

යක්ෂ පිරිසක් උතුම් සෝවාන් ඵලයට

හේමවත සූත්‍රය

අද අප ඉගෙන ගන්නේ සුත්ත නිපාතය උතුම් ග්‍රන්ථ රත්නයට අයත් හේමවත සූත්‍රය යි.

හිමාල වනයේ වාසය කළ හේමවත යකුª ද, සාත පර්වතයේ වාසය කළ සාතාගිරි යකු ද දහසක් යක් පිරිවර සමඟ භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට මගධයේ ගෝතමක නම් වූ පුණ්‍ය ස්ථානය වෙත ගියා. එහිදී ඔවුන් ඇසූ සදහම් පැනයන්ට භාග්‍යවතුන් වහන්සේ දුන් පිළිතුරු මෙම දෙසුමෙහි සඳහන් වෙනවා. මේ දෙසුමෙන් පසුව ඒ සියලු යක්ෂ පිරිස උතුම් සෝවාන් ඵලයට පත්වූණා.

සසරේ සිදු වූ අත්වැරැද්දක් හේතුවෙන් මේ පිරිස යක්ෂයන් වී උපන්නා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු විසි දහසක් ව තිබුණා. මේ සාතාගිරි, හේමවත යක්ෂයින් දෙදෙනා ඒ කාශ්‍යප බුදුසසුනේ පැවිදි වී සිටි ධර්මධර, විනයධර මහතෙරුන් වහන්සේ දෙනමක්. නමුත් එක්තරා අධර්මවාදි, අවිනයවාදී භික්ෂුවක් මේ දෙනමට ඇප උපස්ථාන කොට මේ දෙනමගේ සිත දිනා ගත්තා. ඒ හේතුවෙන් ඒ අධර්මවාදී, අවිනයවාදී භික්ෂුවගේ පැත්ත ගත් එම නායක තෙරුන් දෙනම ශාසනික ගැටලුවක් ධර්ම විනයට පටහැනිව, අගතිගාමි ලෙස විසඳුවා. ඔවුන්ගේ ශිෂ්‍යයන් වූ දහසක් භික්ෂුන් එය අනුමත කළා.

කුකුසක් හටගැනීම

නමුත් පසු කාලයේ දී එම ස්ථවිරයන් වහන්සේලා දෙනමට කුකුසක් හටගෙන “අනේ අපි මේ කරපු අගතිගාමි කටයුත්ත නිසා කාශ්‍යප බුද්ධ ශාසනයට හානියක් නේද වුණේ” සිතමින් දුකට පත් වුණා.

කාලයාගේ ඇවෑමෙන් ඒ කාශ්‍යප බුද්ධ ශාසනය අවසන් වුණා. මිනිසුන්ගේ ආයුෂ ක්‍රමක්‍රමයෙන් අවුරුදු එකසිය විස්ස තෙක් පහළ බැස්සා. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වී ලෝකය නැවතත් සුන්දර වුණා. ආශ්චර්යවත්, අද්භූත ලකුණු පහළවුණා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරද්දී හිමාල වනයේ ආදී ලෝකයේ හැම තැනම ආශ්චර්යවත් ලකුණු පහළ වුණා.

සාතාගිරි සහ හේමවත යක්ෂයින් කතා වුණා කවදා හෝ දිනක නැවත ධර්ම මාර්ගය විවෘත වුවහොත් එකිනෙකාට එය දන්වන බව. දිනක් ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ බව ආරංචි වූ සාතාගිරි යක්ෂයා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ගියා. නමුත් ධර්මය අසද්දී සිත එකඟ කරගන්න නොහැකි වූවා. “මම මෙහෙම පොරොන්දුවක් වුණානේ” කියා හේමවත සිහිපත් වූ සාතාගිිරි “මම මගේ යහළුවාට මේ ආරංචිය කියන්න හිමාලයට යන්න ඕනෑ” කියා යක්ෂ පිරිසක් සමගින් අහසින් හිමාලය දෙසට පිටත් වුණා.

ගුවන් ගැබේ ධර්ම සාකච්ඡාව

ඒ වෙද්දී හේමවත යක්ෂයාටත් මේ ආශ්චර්ය අද්භූත කරුණ ආරංචි වී “මේ ආශ්චර්යය පහළවෙලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලාවත් ද? මම ඒ ගැන හොයාගෙන යන්න ඕනෑ” කියා පිරිස සමගින් අහසින් ආවා. රජගහනුවර අහසේ දී මේ යක්ෂ සෙන්පතිවරු දෙපළ එකිනෙකා මුණ ගැහුණා. ඒ අසල කුරරඝර කියා නිවසක් තිබුණා. මේ යක්ෂ සෙන්පතිවරුන්ගේ කථාබහ සිදුවුණේ ඒ නිවසට ඉහළින් පාන්දර යාමයේ. මේ කුරරඝර කියන නිවසේ “කාලි” නමින් කාන්තාවක් හිටියා. මේ කාලි ඒ වනවිට තෙරුවන් සරණ ගිය කෙනෙක් නොවේ. ඇය හිමිදිරියේ තමන්ගේ නිවසේ උඩුමහල් තලයට වෙලා සිටියේ. කාලිට හේමවත, සාතාගිරි දෙදෙනා කරන මේ සම්බුදු ගුණ ඉස්මතුවන ධර්ම සාකච්ඡාව ඇසුණා. කාලි උපාසිකාව සසරේ පිරූ පින් බලයෙන් එවේලෙහි සෝවාන් ඵලයට පත්වුණා. ඇය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය සවන්දීමෙන් සරණ ගිය අග්‍ර උපාසිකාව බවට පත්වුණේ.

පුන් පොහෝ දින දිව්‍ය රාත්‍රියක්

මේ හේමවත සූත්‍රයේ ඒ යක්ෂ සෙන්පතිවරු දෙදෙනා කළ ධර්ම සාකච්ඡාව ඇතුළත් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ බරණැස ගෝතම කියන චෛත්‍ය ස්ථානයේ වැඩ සිටිද්දී මේ දෙදෙනා පැමිණ අසන ප්‍රශ්නත්, අපගේ භාග්‍යවතුන් වහන්සේගෙන් ලැබුණ පිළිතුරත් සඳහන් වෙනවා. රජගහනුවර අහසේ දී සාතාගිරිට හේමවත මුණ ගැසෙද්දී සාතාගිරි යමින් සිටියේ හිමාලය පැත්තට යි. සාතාගිරි එවිට ගාථාවකින් මෙසේ පැවසුවා.

අජ්ජ පණ්ණරසෝ උපෝසථෝ
දිව්‍යා රත්ති උපට්ඨිතා
අනෝමනාමං සත්ථාරං
හන්ද පස්සාම ගෝතමං

අද පුන් පොහෝ දවසයි. අද දිව්‍ය රාත්‍රියක් එළඹ තිබෙනවා. (හඳ පායා තිබෙන හිමිදිරියට ආසන්න සෞම්‍ය වෙලාවක මේ කතාබහ සිදු වුණේ) යහළු හේමවත, අපි අළාමක නම් ඇති ගෞතම ශාස්තෘන් වහන්සේ බලන්න යමු නේද?,

කසුප් බුදු සසුනේ ලැබූ දහම
ඒ මොහොතේ හේමවත අසනවා
කච්චි මනෝ සුපණිහිතෝ
සබ්බ භූතේසු තාදිනෝ
කච්චි ඉට්ඨෝ අනිට්ඨෝ ච
සංකප්පාස්ස වසීකතා

කිම උන්වහන්සේගේ මනස පවතීද සමාහිත වී ? උන්වහන්සේ සිත එකඟ කරගෙනද ඉන්නේ? උන්වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි සම සිතින් යුක්ත ද? සංකල්ප තම වසඟයේ පවත්වනවා ද? යැයි විමසුවා. මොවුන් යක්ෂ ආත්මයේ වුවත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ අවුරුදු දහස් ගණනක් පුරුදු කළ දහම් දැනුමෙන් යුක්තයි. ඒ බුද්ධ ශාසනයේ පුරුදු කළ බුද්ධානුස්සති මනසිකාරය ඔවුන් තුළ තිබුණා. එනිසා බුදුවරයෙක් මෙවැනි ආකාරයේ උත්තමයෙක් විය යුතුයි යන අදහසේ ස්ථිරව පිහිටා සිටියා. එනිසා සාතාගිරි මෙලෙසින් පිළිතුරු දුන්නා

මනෝ වස්ස සුපණිහිතෝ
සබ්බ භූතේසු තාදිනෝ
අථෝ ඉට්ඨේ අනිට්ඨේ ච
සංකප්පාස්ස වසීකතා

උන්වහන්සේගේ සිත තැන්පත් වෙලා තිබෙන්නේ. සියලු සතුන් කෙරෙහි උන්වහන්සේ සම මෙත, සම සිත පවත්වනවා. උන්වහන්සේ ඉදිරියට හොඳ හෝ නරක අරමුණු පැමිණෙද් දී ඒ සිතිවිලි නිතරම දමනය වෙලා පවතිනවා.

සීලයෙන් පරිපූර්ණ උතුමෙක් ද?

එලෙස බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන අසා පැහැදුණු හේමවත ඉන්පසු උන්වහන්සේගේ සීලය පිළිබඳව මෙලෙස විමසුවා. “උන්වහන්සේ නො දුන් දේ ගන්නේ නැති කෙනෙක් ද? සොරකම් නො කරන කෙනෙක් ද? ප්‍රාණීන් කෙරෙහි සංයමයෙන් යුක්තයි ද? ප්‍රාණඝාතයෙන් වැළකීද ඉන්නේ? ඒ වගේම උන්වහන්සේ ප්‍රමාදයෙන් බැහැර වුණ බ්‍රහ්මචාරී උතුමෙක් ද? උන්වහන්සේ ධ්‍යානය අත්හරින්නේ නැති කෙනෙක් ද? මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ හඳුනාගන්න තිබෙන ලක්ෂණ ගැන විමසූ විට සාතාගිරි මේ ආකාරයට පිළිතුරු දුන්නා.

න සෝ අදින්නං ආදියති
අථෝ පාණේසු සඤ්ඤතෝ
අථෝ ආරා පමාදම්හා
බුද්ධෝ ඣානං න රිංචති

උන්වහන්සේ සොරකම් කරන කෙනෙක් නොවේ. ඒ වගේම ප්‍රාණින් කෙරෙහි සංයමයෙන් යුක්ත යි. අබ්‍ර‍්‍රහ්මචාරි බවෙන් වෙන්වෙලා බ්‍රහ්මචාරීවයි වැඩ සිටින්නේ. උන්වහන්සේ ධ්‍යානය අත් නො හැරයි වැඩ සිටින්නේ ” යැයි කියා සිටියා.

බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ධ්‍යානය පවත්වන ආකාරය පිළිබඳ ධර්මයේ මෙසේ සඳහන් වෙනවා. පිණ්ඩපාතයෙන් වඩින්නේ සම සිත පවත්වමින්, සමාධිමත් සිතින් යුක්තයි. පිඬුසිඟා වැඩම කර නිවසක් ඉදිරියේ වැඩ සිටින විට, නිවැසියන් දානය බෙදන්නට සූදානම් වනතුරුත් උන්වහන්සේ ධ්‍යානයට සම වදිනවා. නිවැසියන් දානය ගෙන ළඟට ආ විට ධ්‍යානයෙන් මිදී දානය පිළිගන්නවා. දානය පිළිගෙන මෙත් සිත පැතිරීමෙනුයි බුදුරජාණන් වහන්සේ නැවත වැඩම කරන්නේ. එය හරිම ආශ්චර්ය යි. සම්බුදු චරිතාපදානය හරිම සුන්දර යි.

නුවණින් සලකා වචන පවසයි

හේමවත බොහෝම සතුටු වී නැවතත් භාග්‍යවතුන් වහන්සේගේ වචී සංවරය ගැන මෙසේ සාතාගිරිගෙන් විමසා සිටියා

”කිම උන්වහන්සේ බොරු බස් පවසන කෙනෙක් නොවේ ද? ද්වේශයෙන්, තරහයෙන් කතා කරන කෙනෙක් නොවේ ද? උන්වහන්සේ කේලාම් කියන්නේ නැද්ද? හිස්වචන, සම්ප්‍රප්පලාප කතා කරන්නේ නැද්ද? “

එවිට සාතාගිරි මෙලෙසින් පිළිතුරු ගාථාවක් පැවසුවා.

මුසා ච සෝ න භණති
අථෝ න ඛීණව්‍යප්පථෝ
අථෝ වේභූතියං නාහ
මන්තා අත්ථං සෝ භාසති

”උන්වහන්සේ බොරු කියන කෙනෙක් නොවෙයි. නපුරු වචන කතා කරන්නෙත් නැහැ. කේලාම් කියන උතුමෙක් නොවේ. උන්වහන්සේ බෙහෝම සිහිනුවණින් කල්පනා කර, පමණ දැන වචන කතා කරන උත්තමයෙක්.

මෙම ලිපියේ ඉතිරි කොටස 14 වැනිදා මැදින් පුර අටවක පත්‍රයේ පළ වේ.