Print this Article


සතිපට්ඨාන භාවනාව 43: ධම්මානුපස්සනාව - බොජ්ඣංග විදර්ශනාවෙහි පස්සද්ධි සම්බොජ්ඣංගය: දරදඬු නැති සිත

ධම්මානුපස්සනාව - බොජ්ඣංග විදර්ශනාවෙහි පස්සද්ධි සම්බොජ්ඣංගය:

දරදඬු නැති සිත

සති ගණනාවක් ම සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ විස්තර ද, භාවනා කරන ක්‍රමය ද සඳහන් කළා. බොජ්ඣංග විදර්ශනාව, සෝවාන් ආදී මාර්ග ඵල හැර අනෙක් සියලුම දේ වෙනස්ව යයි. බොජ්ඣංග ද ඇතිවෙනවා, නැතිවෙනවා, නීවරණ ද ඇතිවී නැතිවී යනවා.

ස්කන්ධ ද එලෙසම යි. ආයතන ද එසේම යි. වෙනස් නොවන්නේ ලෝකෝත්තර ධර්ම පමණ යි. නව ලොවුතුරා ධර්මය සොලවන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඒ ධර්ම පිළිබඳ හොඳ දැනීමකින් යුතුව සීලාදී ප්‍රතිපත්ති ද අනුගමනයෙන් ඉදිරියට යා යුතු යි. නිවන් මඟෙහි දොරටු වසා ඉදිරියට යන පින්බර ගමන අහුරන්නේ කෙලෙස් මඟින්. ප්‍රධාන වශයෙන් ලෝභ, දෝස, මෝහ යන ත්‍රිවිධ අංග අකුසල මූල නම් වෙයි. මේ මඟින් කෙලෙස් එක්දහස් පන්සියයක් ඇති වෙයි. භාවනාවේ දී සිදු වන්නේ මේ ලෝභ, දෝස , මෝහ අකුසල මූල ඉවත්කර ගැනීම යි. ලෝභ, දෝස, මෝහ සිතෙහි තබාගෙන බණ, භාවනා කරන්නට , පින්කම් කරන්නට තබා සාර්ථකව කිසිවක් කරන්නට බැහැ. නිවන් සුව පතා කරන පින්කමක දී මේ කරුණු තුන සිතෙහි තිබුණොත් නිවන් සුව ලබන්නට බැහැ. ඒ නිසා සියලු අකුසල ධර්මයෝ උත්පාදනය කරන ලෝභ, දෝස, මෝහ තිදෙනා ටිකෙන් ටික ඉවත් කළ යුතු යි. තණ්හාව, තරහව දෙදෙනා නය යි, පොළග යි වගෙ යි. මේ දෙදෙනා ඉවත් කර ගැනීම ලෙහෙසි පහසු දෙයක් නො වෙයි. එසේනම්, කවුරුත් මේ අකුසල මූල සිතෙන් ගළවා ගන්නට මහන්සි ගත යුතු යි. දන්දීමෙන් ලෝභයත්, සීලයෙන්, මෛත්‍රී භාවනාවෙන් තරහවත් දුරු කර ගන්න පුළුවන්. බණ, භාවනාවෙන්, ඉගෙනීමෙන් මෝහය දුරු කළ හැකි යි. මෙම පාපී සිතිවිලි තිදෙන ඉවත්කලොත්, තම තමාට පුළුවන්කම තිබෙනවා, නිවන් මඟ විවෘත කර ගන්න. එසේ නොවුණොත් නිවන් මඟ අහුරාගෙන වාසය කරනවා.

අද සඳහන් කරන්නේ පස්සද්ධි සම්බොජ්ඣංගය පිළිබඳව යි. භාවනා කරන්නේ කෙසේදැ’යි දැන ගැනීම යි. පස්සද්ධි යනු දරදඬු ගතිය නැති බව යි. පස්සද්ධි තම සිතෙහි පහළ කර ගත යුතු යි. එය ලබන්නට නම් තමන්ට හොඳ ශක්තියක් සිතෙහි ඇතිකර ගත යුතු යි. පස්සද්ධි සම්බොජ්ඣංගය උපදවා ගන්නට උපකාරක ධර්ම හතක් තිබෙනවා. භෝජන සප්පය – ලෝභ, දෝස, මෝහ ආදී දුරු කර ගන්න සුදුසු ආහාරයක් ලැබිය යුතු යි. කර්කෂ ආහාර ලබාගෙන එම ක්‍රම අනුගමනය කරන්නට බැහැ. මාතික මාතා යනුවෙන් උපාසිකාවක් බුද්ධ කාලයේ සිටියා. එතුමිය සිටි ප්‍රදේශයට ස්වාමීන් වහන්සේ පිරිසක් වැඩම කළා, වස්සාන කාලය ගත කරන්න. ඉතින්, ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අපටත් බණ , භාවනාවක් කියලා දුන්නොත්, යනුවෙන් ඉල්ලීමක් කළ විට භාවනාවක් කියා දුන්නා. ඒ මඟින් මාතික මාතාව අනාගාමී මාර්ග ඵල ලැබුවා. තමන්ගේ නුවණින් විමසුවා, ස්වාමීන් වහන්සේ කෙලෙස ද? කියා. ඒ උත්තමයන්ට තාම උසස් තත්ත්වයක් නැහැ. හේතුව වුණේ දාන මානවල අඩුපාඩුව යි. එතුමිය ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය සියලු පහසුකම් ලබා දුන්නා. නොබෝ දිනකින් ම ස්වාමීන් වහන්සේලා රහත් බව ලැබුවා. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළ ස්වාමීන් වහන්සේලා මෙලෙස පැවසුවා. ස්වාමීනි, මාතික මාතා මව් කෙනෙක් මෙන් අපට හොඳින් උපස්ථාන කළා. ඒ නිසා අපට පහසුවෙන් මාර්ග ඵල අවස්ථාවට පත් වෙන්නට පුළුවන්කම ලැබුණා. පස්සද්ධි සම්බොජ්ඣංගය ලබා ගන්නට නම් භෝජන සප්පය තිබිය යුතු යි.

ඍතු සප්පය – අධිකතර සීතල සහ අධිකතර උෂ්ණත්වය තිබුණොත්, මේ ක්‍රමය ගෙනියන්ට බැහැ. බණ, භාවනා කටයුතුවලට මධ්‍යස්ථ ඍතුවක් තිබිය යුතු යි. සීත ඍතු , උෂ්ණ ඍතු අධික ලෙස පවතින කාල වකවානුවෙන් තොරව මධ්‍යස්ථ දේශගුණයක් පවතින කාලයක බණ, භාවනා කටයුතු පහසුවෙන් ගෙනි යන්නට පුළුවන්.

පහසු ඉරියව් ඇසුරු කිරීම – සක්මන් භාවනාවෙන්, වාඩිවී භාවනා කිරීමෙන් , එසේම සිටගෙන භාවනා කිරීමෙන් , අසනීප ආදිය නම්, නිදන ඉරියව්වෙන් භාවනා කිරීමෙන් යනුවෙන් සතර ඉරියව්වෙන් තමන්ට පහසු ඉරියව්ව තෝරාගත යුතු යි. ඉරියව් මාරු කරන්නට ද අවශ්‍යය වෙයි. මෙලෙස සිතෙහි ඇති පස්සද්ධිය දියුණු කළ හැකි යි.

කර්ම විපාකය මෙනෙහි කරමින් මධ්‍යස්ථව කටයුතු කිරීම – කුසල, අකුසල කර්මයෙන් මෙවැනි විපාක ද ලැබෙනවා යනුවෙන් මධ්‍යස්ථ විය යුතු යි. මධ්‍යස්ථ වීමෙනුත් පස්සද්ධි සම්බොජ්ඣංගය හොඳින් වැඩෙයි. කර්මය සහ කර්ම විපායකය බොහොම දරුණු වෙයි. අකුසල කර්ම විපාකයෙන් දරුණු විපාක ද, කුසල විපාකයෙන් සැපවත් විපාක ද ලබා දෙයි. එසේනම්, අකුසල කර්ම ඉවත් කර, කුසල කර්ම රැස් කරද්දී අපේ සිත තවත් දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා . කොයි දේටත් මධ්‍යස්ථ විය යුතු යි.

සිත , කය දෙකෙහි බර ගතියෙන් ගිලන්ව , අලසව සිටින පුද්ගලයන් ආශ්‍රයෙන් දුරු කිරීම. කම්මැළි පුද්ගලයන්, අලස පුද්ගලයන්, ගිලන් පුද්ගලයන්, මන්දෝත්සාහී පුද්ගලයන් ආශ්‍රයෙන් වැළකීම. පස්සද්ධි සම්බොජ්ඣංගය ඉදිරියට ගෙන යාමට ඒ පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකිය යුතු යි. ඒ උදවිය බණ භාවනා කටයුතු දියුණු කිරීමෙන් ඉදිරියට යන්නට කැමැති නැහැ. තමන් බලාපොරොත්තු වන කරුණු කාරණාවෝ ඉෂ්ඨ කර ගන්න, පුළුවන්කමකුත් නැහැ.

සිත කය දෙකෙහි සැහැල්ලු බව ඇති අනලස්ව සිටින පුද්ගලයන් ආශ්‍රය කිරීම – පිනට දහමට කැමැති, ශීල , සමාධි ප්‍රඥා ගුණ දියුණු කරන , වාසනාවන්ත ගති පැවතුම් ඇති අය ආශ්‍රය කළ යුතු යි. එවිට සිත ගත පිනවා යනවා. නිවන් මඟ පැහැදිලිව ගමන් කළ හැකි යි. සීලාදී ප්‍රතිපත්ති ටික හොඳින් අනුගමනය කරන්න පුළුවන්කම තිබෙනවා. එසේනම්, පස්සද්ධි සම්බොජ්ඣංගය තහවුරු කර ගැනීමට ආශ්‍රය කරන පුද්ගලයන් හොඳ වන්නට අවශ්‍යය යි.

සැහැල්ලු අනලස් ජීවිතයේ නියැළුණු කෙනෙක් වීම – සැහැල්ලු පැවතුම් ඇති, කම්මැළි නොවන , හැම ධර්මතාවයකම නියැළුණු කෙනෙක් විය යුතු යි. එවිට පස්සද්ධි සම්බොජ්ඣංගය සිතෙහි දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. හැම දෙනාටම මෙය දියුණු කරගන්නට අපහසු යි. සිත නිතරම දරදඬු ගතියෙන් සමන්විත යි. හැම දෙයක් පිළිබඳව ම සන්සිඳවා ගැනීමේ ශක්තිය හදාගත යුතු යි. එයට එක අරමුණක් දිගමට ම මෙනෙහි කළ යුතු යි. නූපන්නා වූ පස්සද්ධි සම්බොජ්ඣංගය උපන්න බවත්, උපන්නා වූ පස්සද්ධි සම්බොජ්ඣංගය දියුණු වූ බවත් හොඳට දැනගත යුතු යි. එවිට තමන්ගේ නුවණ, ධර්ම දැනුම වැඩි දියුණු කරගන්නට පුළුවන්කම තිබෙනවා. මේ කරුණු හත ඇති කර ගැනීමෙන් උපන්නේ නැති පස්සද්ධි නම් සම්බොජ්ඣංගය උපදවා ගැනීමටත් , උපන්නා වූ පස්සද්ධි සම්බොජ්ඣංග වැඩි දියුණු කර ගැනීමටත්, පුළුවන්කම තිබෙනවා. එසේනම්, පස්සද්ධි සම්බොජ්ඣංගය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි.

පස්සද්ධිය නම්, සිතේ දරදඬු ගතිය නැතිව, අනලස්කම නැතිව උත්සාහයෙන් පවතින සංසිඳුණු බව යි. සිතේ කයේ සංසිඳුණු බව යි. මේවා හොඳින් දැන කියාගෙන සීලා දී ප්‍රතිපත්ති ද අනුගමනයෙන් තමන්ගේ නිවැරැදි ප්‍රතිපත්ති අනුගමනයෙන් ඉදිරියට යන්නට අවශ්‍යය යි. ඡන්ද ඍද්ධිපාද, චිත්ත ඍද්ධිපාද, විරිය ඍද්ධිපාද, වීමංස ඍද්ධිපාද ආදිය දියුණු කරන ධර්මතා හතරක් තියෙනවා. බණ, භාවනා කටයුතු කෙරෙහි බලපවත්වන බලවත් සිතක් තිබිය යුතු යි. නොසෙල්වන, පැහැදිලි, පිරිසුදු සිතක් අවශ්‍යය යි. එය චිත්ත ඍද්ධිපාද නම් වෙයි. භාවනාවට ඇති කැමැත්ත ඡන්ද ඍද්ධිපාද නම් වෙයි. කම්මැළි, මන්දෝත්සාහී පුද්ගලයෙකුට බණ, භාවනා කටයුතු ගෙනියන්නට බැහැ. ඒ තැනැත්තාට උත්සාහය අවශ්‍යය යි. එය විරිය ඍද්ධිපාද වෙයි. විමසා බලා කටයුතු කරන හොඳ නුවණක් තිබීම බණ, භාවනා කටයුතු වලට අවශ්‍ය වෙයි. ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීම කරා යන්නට අවශ්‍ය යි. ඒ නිසා හොඳ වීමංසාවක් අවශ්‍ය ය යි. ප්‍රඥාව වීමංස ඍද්ධිපාද නම් වෙයි.

බුදුරජාණන් වහන්සේ ද දීර්ඝ කාලයක් බණ භාවනා කටයුතු අනුගමනයෙන් පස්සද්ධිය , සංසිඳීම තමන් වහන්සේ ලබා ගත්තේ. හැම කෙනෙකුගේ ම සිත නොයෙක් අරමුණු ඔස්සේ ගමන් කරනවා. ලෝභ, දෝස, මෝහ ඔස්සේ අලෝභ, අදෝස, අමෝහ ඔස්සේ ගමන් කරනවා. ඒ සිත තමන්ගේ නුවණ හොඳට වැටහුණොත්, තේරුම් බේරුම් කරගෙන, පව් අඩුකර, පින වැඩිකළ යුතු යි. ඇතැම් ජීවිත නැති කරගන්නේ සිත හදාගන්න නොහැකිව යි. ඒ වගේම තමන්ගේ ජීවිත නොයෙක් නොයෙක් කරදර පීඩාවලට පත් වන්නේ සිත හදාගන්න නොහැකිව යි. ඒනිසා කවුරුත් පස්සද්ධි සම්බොජ්ඣංගය පිළිබඳ වැටහීමක් ඇතිකරගෙන, පුළුවන්තරම් සිත දියුණු කරගන්න මහන්සි ගත යුතු යි. සෑම ඉරියව්වකම භාවනාවක් මෙනෙහි කරන්නට පුරුදු පුහුණු විය යුතු යි. එවිට පස්සද්ධිය හොඳට ලැබෙයි. දරදඬු ගති ඉවත්ව, පාපී සිතිවිලි ඉවත්ව , කුසල සිතිවිලි මතුව , බෝධිපාක්ෂික ධර්ම ටික, පාරමී ධර්ම ටික හොඳින් ඉස්මතු කර ගන්න පුළුවන්කම තිබෙනවා. මේ ගැන හසල දැනුමකින් සම්මා සම්බුද්ධ ශාසනය පවතින කාලය තුළ පුළුවන්තරම් ගුණ ධර්ම ටික දියුණු කරගන්නට අධිෂ්ඨාන ප්‍රාර්ථනා තබාගෙන කටයුතු කළොත්, නිවන් මඟ වරදින්නේ නැතිව ඉදිරියට ගෙනයන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා බුදු දහම පිටිවහල් කරගෙන සම්බුද්ධ ශාසනයෙන් ලබාගත යුතු සියලුම දේත් ලබාගෙන, මෙලොව ජීවිතය ශක්තිමත් කරගත යුතු යි. ශීලාදී ප්‍රතිපත්ති දියුණුවෙන් , තමන් ලබාගන්නා දහම් දැනුම බොහෝ දෙනා අතරට පත් කළ යුතු යි. තමන්ගේ සැනසුම තමා හොයා ගත යුතු යි. කරදර පීඩා යටකරගෙන පාරමී ගුණ ටික දියුණුවෙන් ඉතා ඉක්මන් භවයකදී ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ශාන්ති ලක්ෂණ නිවන් පසක් කිරීමට පස්සද්ධි සම්බොජ්ඣංග භාවනාව ද හේතු වාසනා වේවා!