Print this Article


අනූ හත්වෙනි ජන්ම දිනය අනුස්මරණය කරන කුඩාවැල්ලේ වංගීස නා හිමි

අනූ හත්වෙනි ජන්ම දිනය අනුස්මරණය කරන කුඩාවැල්ලේ වංගීස නා හිමි

1922 මාර්තු 05 වැනි දා මෙලොව එළිය දුටු කුමරුවා උපන් ගම වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවේ පිහිටි කුඩාවැල්ල නම් ග්‍රාමවරයයි.

කුඩාවැල්ලේ වාලුකාරාමාධිපති මාතර ශ්‍රී සද්ධාරාම හිමිපාණෝ මව්පියන්ට කරුණු කියා මේ කුමරුවා 1936 සැප්තැම්බර් 07 වන දින කුඩාවැල්ලේ වාලුකාරාමයේ දී සසුන්ගත කළේ ය. පැවිදි වූ පසු කුඩාවැල්ලේ වංගීස යන නමින් පතළ වූ මේ හෙරණපාණෝ මාතර ශ්‍රී සුදර්ශී පිරිවෙණට ඇතුළත්ව ධර්ම විනය හා ශබ්ද ශාස්ත්‍ර හදාළහ. අනතුරුව ත්‍රිපිටක වාචස්පති තෙල්වත්තේ ශ්‍රී අරියවංස නා හිමියන්ගේ ආධිපත්‍යයෙන් යුත් බේරුවල මංගල පිරිවෙණට බැඳී “සිංහල, පාලි” සංස්කෘත ආදී භාෂා හදාළහ. 1942 ජූනි මස 27 වන දා රාත්‍රී දොඩන්දූව ශෛලබිම්බාරාමාසන්න සීමා මාලකයේ දී ශ්‍රී කල්‍යාණිවංශ නිකායික භික්ෂු සංඝයා වෙතින් උපසම්පදාව ලබාගත්හ.

කීමෙහි බිණීමෙහි සහජ හැකියාවක් ඇති නාහිමිපාණෝ 1962 සැප්තැම්බර් 09 දින මුල්ලේරියාව, කලපළුවාව ප්‍රදේශයේ ගෝතම තපෝවනය සහ මාතික මාතා සමිතිය පිහිටුවාලූහ. නිතර කරුණා බරව, මෙත් බරව සිය ශිෂ්‍ය, දායක පිරිසට අනුශාසනා කළ උන්වහන්සේ දේශීය සහ විදේශීය වශයෙන් ලෝක ශාසනික සේවාවක නියුතු වූහ. අනාථ අසරණ වූ හතළිහකට අධික කුඩා දරු පිරිසකට සෙවන දෙන ‘කුමාර කාශ්‍යප ළමා නිවාසය’ නාහිමිපාණන්ගේ කරුණාව මේ යයි කියාපාන සිහිවටනයක් සේ ය.

සිය සේවය අගනුවරට පමණක් සීමා නො කළ හිමිපාණෝ සිරිලක පුරා තපෝවන භාවනා මධ්‍යස්ථාන කිහිපයක් ම පිහිටුවාලූහ. ශාඛා මධ්‍යස්ථානවලින් මිහින්තලේ කලුදිය පොකුණ තපෝවනය පැරැණි රජදරුවන් දවස වන සෙනසුනක් වන අතර කෑගල්ලේ අභය භූමි තපෝවනය, මහනුවර උඩවත්ත කැලේ ශ්‍රී දළදා තපෝවනය, පදවිය දෙවියන්ගේ කන්ද තපෝවනය, කතරගම මාතික මාතා සමිති මධ්‍යස්ථානය වැනි ඒ ඒ පළාත්වලට විශාල සේවයක් සිදුකරන ආයතන රැසක් බිහිකළහ.

එකී සේවාවන් ඉදිරියට ගෙනයාමෙහි ලා ශක්ති සම්පන්න උගත්, ධර්මධර ශිෂ්‍ය පිරිසක් බිහි කිරීමට ඇපකැපව ක්‍රියා කළ උන්වහන්සේ දොඩම්පහළ චන්දසිරි මහ නාහිමිපාණන් ප්‍රධාන තපෝවනයේ නිවාත නාහිමි, මිතභාණි නාහිමි, සුතධර හිමි, දමිත හිමි, සමිද්ධි හිමි, සමුට්ඨාන හිමි, සංවර හිමි යන හිමිවරු ශාඛා මධ්‍යස්ථානයන්හි අනුශාසක පදවි දරමින් සිය ආචාර්යයන් වහන්සේගේ සේවය ශක්තිමත් කරමින් අප නාහිමිපාණන් ඇරඹු සියලු සේවාවන් ඉදිරියට ගෙන යති.

දේශීය විදේශීය ජනතාවගේ ද අතිශය ගෞරවාදරයට පාත්‍ර වූ උන්වහන්සේ සැටවෙනි වයස පියමං කරමින් සිටිය දී 1982 ජූලි මස 25 වෙනි දින අපවත්වී වදාළහ. මුළු ජීවිතය පුරාම මහානීය පින්කම් කරමින් සම්බුදු සසුනට මුළු දිවියම කැපකළ මේ සංඝ නේතෘන් වහන්සේගේ අනූ හත්වෙනි ජන්ම දිනය සමරමින් කුල දරුවකු සසුන්ගත කරන අතර උන්වහන්සේට ප්‍රාර්ථනිය බෝධියකින් අමා මහ නිවන් සැප ලැබේවායි පතමු.