Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 19 : අනුරාධපුර ජේතවනාරාම පුදබිමේ බෝධිඝරය

අනුරාධපුර ජේතවනාරාම පුදබිමේ බෝධිඝරය

මහින්දාගමනයෙන් මාස කීපයකට පසුව දුමින්දාගමනය හෙවත් ජයශ්‍රී මහා බෝධි ශාඛාව මහමෙවුනා උයනේ රෝපණය කිරීම ගැන සඳහන් වේ. බුද්ධගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සංඝමිත්තා මහ රහත් මෙහෙණිය වරප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේලා මෙරටට වැඩම කරවූ බව වංසකතාවන්හි සඳහන් වන කරුණකි. ඉන්පසු අෂ්ඨපල රුහ සහ දෙතිස්ඵල රුහ බෝධින් වහන්සේ පුදබිම් හතළිහක රෝපණය කළේ දේවානම්පියතිස්ස රාජ යුගයේ දී ම ය.

බෝධි වන්දනාව පුරාණ ලංකාවේ ඇතිවූයේ ඉන්පසුව ය. ප්‍රතිමා සඳහා “ප්‍රතිමාඝර” ස්තූප සඳහා “ථූප ඝර” ආසන පූජාව සඳහා ආසන ඝර ද වංසකතාවල සඳහන් වන්නා සේ ම, අපේ පුරාණ කලාශිල්පවල නටබුන් වලින් ද මෙම කරුණ හෙළි වේ. ඝර යනුවෙන් මෙහි සඳහන් වන්නේ ගෙය යන්න ය.

“බෝමළුවක සතර දිසාවේ තොරණ සතරක් ද, බෝධිය වටා වේදියක් හෙවත් උස් ශෛලමය මළුවක් ද විය. වන්දනාකරුවන් වඳින්නට දන නැමුවේ මේ ශෛලමය මළුවෙහි ය. බෝධිය ඊට වඩා කිට්ටුවෙන් බෝධිඝරය හෙවත් බෝ ගෙයක් විය. මේ ගෙය සාදන ලද්දේ සෑගෙය වගේ උඩින් නොව ශාඛාවලට පහතින් බෝධිය වටේ ය. ඇතැම්විට බෝ ගෙය තුළ බුදුපිළිමය විය. සෑගෙය (ථූපගෙය) මෙන්ම මේ ගෙය ද බෝධිය පැදකුණු කළ ශ්‍රද්ධාවන්තයින්ට ආරක්ෂාව දීමේ අදහසින් සෑදුවා විය හැකි ය. (ලංකාවේ බුදුසමයේ ඉතිහාසය – මහාචාර්ය වල්පොල රාහුල නාහිමි. පි. 126-1962)

පුරාණ ජම්බුද්වීපයෙහි ඇති පැරණිතම මූර්තිකැටයම් හමුවන භාරුත් පුදබිමෙහි අල්ප උන්නත (BSA –RELIEF)බාර්ලිෆ් මූර්ති කැටයමක බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධින් වහන්සේ මූර්තිමත් කර ඇත. එම මූර්ති කැටයමෙහි ශ්‍රී මහා බෝධිය අසලම වජ්‍රාසනය ද, ශ්‍රී මහා බෝධිය වටා ඇති ශිලා වැට ද නිරූපණය කර තිබේ. මෙය ඉතා ප්‍රකට මූර්ති කැටයමකි. (දඹදිව සිව් මහ පුදබිම් – සිරිසමන් විජේතුංග පි. 36-2011 ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට් ලිමිටඩ් )

පුරාණ ලංකාවේ බෝධිඝර කිහිපයක් හමු වේ. ශ්‍රී මහා බෝධින්වහන්සේට ද ඝරයක් තිබූ බව මහාවංසයේ සඳහන් වේ. අනුරාධපුරයේ නෂ්ටාවශේෂ අතර ගඩොලින් හා ගලින් කළ පනා බැමි අධිෂ්ඨාන හා පියගැට පෙළ සහිත බෝධිඝර යැයි සිතිය හැකි නටබුන් හමු වේ. වයඹ පළාතේ නිල්ලග්ගම බෝධිඝරය ඉතා උසස් නිර්මාණයක් සේ සැලකේ.දඹුල්ලේ සොමවති චෛත්‍යය අසල වෘත්තාකාර බෝධිඝරයක නටබුන් ඇත. අනුරාධපුර ජේතවනාරාමයේ බෝධිඝරය ආයත චතුරශ්‍රාකාර ය. එහි ප්‍රාකාරය හා දොරටු ගලින් නිමවා ඇති අතර දොරටු දෙපස කල්ප වෘක්ෂ අල්ප උන්නතව කුළුණුවල දැක්වේ.

(පොළොන්නරුවේ පැරැණි ස්මාරකයන්හි චිත්‍රගත සැරසිලි – මෝස්තර , මහාචාර්ය සරත්ඥාණසිරි – පි. 50- 2016)

ජේතවනාරාමය පුදබිමේ බෝධිඝරය

ජේතවනාරාම දාගැබට දකුණු ප්‍රදේශයෙහි බෞද්ධ වාස්තු විද්‍යාවට අයත් සුවිශාල බෝධිඝරයක නටබුන් හමු වී ඇත. මෙහි සඳහන්වන ඡායාරූපයෙන් එය පැහැදිලිවේ. මීටර් 43 දිග වු ද, මීටර් 34 පළල වූ ද මෙම බෝධිඝරය මුල් කාලයේ දී හැඳින්වූයේ BUDDHIST RAILING SITE (බුඩිස්ට් රේලින් සයිට්) යන නාමයෙනි. මේ සඳහා ශිලාමය වූ මෙම ගොඩනැගිල්ලට ඇතුළු වීමට ප්‍රධාන දොරටු සතක් ද නිර්මාණය කර ඇත. මෙය මධ්‍යයෙහි බෝධි වෘක්ෂයක් රෝපණය කර තිබුණි.

(The Cultural Triangle – UNESCO publishing p’78- CENTRAL CULTURAL FUND – 1993)

මුල්කාලයේ දී මෙය “බෞද්ධ ගරාදි වැට” නමින් ප්‍රකට වූයේ ය. ජේතවන විහාරයේ වන්දනාවට පාත්‍ර වූ බෝධියක් තිබූ බවට සාධක වශයෙන් ඒ වටා වූ බෝධිඝරයේ නටබුන් අද දක්නට ලැබුණ ද අභයගිරි විහාරයේ බෝධි ඝරයේ මෙන් මෙහි වූ බෝධියක් අද දක්නට නොලැබේ. එය විනාශ වූයේ කුමන කාලයකදැයි දැක්වීමට සාක්ෂ්‍ය නොමැත. අභයගිරි විහාරයේ වූ බෝධිය දඹදිව ශ්‍රී මහා බෝධියේ ඵලයකින් හටගත් එකක් බව චීන ජාතික ෆාහියන් හිමියන් සඳහන් කර ඇතත්, ජේතවන විහාරයේ බෝධියේ ආරම්භය පිළිබඳ කිසිදු සඳහනක් දක්නට නොලැබේ. එහෙත් දෙවැනි අග්බෝ රජතුමා ( ක්‍රි.ව. 608-618) මෙම බෝධිය අසල ළිඳක් සෑදූ බව මහාවංසයේ සඳහන් වේ. එසේම දෙවැනි දප්පුල (ක්‍රි.ව. 815-831) එම බෝධි ඝරයට රන් බුදු පිළිමයක් පූජා කළ බව එහි වැඩිදුරටත් සඳහන් වේ. වර්තමානයේ මෙම බෝධිඝරය හඳුනා ගැනීම පිළිබඳව පුරාවිද්‍යාඥයින් අතර යම් යම් වෙනස් අදහස් දක්නට ලැබේ. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම බෝධිය අද දක්නට නොලැබීම ය.

එහෙයින් බෝධිඝරයේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සැලකිල්ලට ගෙන මෙම ස්ථානය හඳුනා ගත යුතුව තිබේ. ජේතවන විහාර භූමියේ කටුගෙයට පිටුපසින් ඇති “බෞද්ධ ගරාදි වැට” යනුවෙන් ප්‍රසිද්ධ ස්මාරකය මෙම බෝධිඝරය බව ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා හඳුනාගනී. 19 වන සියවසේ අවසාන දශකයේ දී මෙම ස්ථානය අධ්‍යයනය කළ පුරාවිද්‍යා කොමසාරිස් H.C.P.බෙල් මහතා මෙහි ඡායාරූප හා සැලසුම් දක්වමින් එය බුදුපිළිම සහිත ස්තූපයක් පිහිටි ස්ථානයක් ලෙස දක්වා තිබේ. එසේ සඳහන් කිරීමට ප්‍රධාන සාධකය වී ඇත්තේ එම ස්මාරකය කැණීමේ දී යන්ත්‍රගල නමින් ප්‍රකට නිදන්වස්තු තැන්පත් කර තිබූ පද්මපීඨ හමුවීම ය.මේ අනුව මෙම ස්මාරකය තිබෙන්නට ඇති ආකාරය පිළිබඳ උපකල්පිත සැලැස්මක් ද සටහන් කර දක්වා තිබේ. එහි කුඩා ස්තූපයක් ද, ඒ වටා හිටි බුදුපිළිම ද දක්නට ලැබේ.

දැනට වසර සියයකට පෙර මෙම බෝධිඝරය හරහා ප්‍රසිද්ධ මාර්ගයක් වූ බවත්, බෙල් මහතාගේ කාලය වන විට එම මාර්ගය බෝධිඝරය ඉදිරිපිටින් යන සේ වෙනස් කර ඇති ආකාරයත් බෙල් මහතාගේ සැලසුම්වල දක්නට ලැබේ. බෝධිඝරයේ විනාශයට මෙම මහා මාර්ගය තිබීම ද එක් හේතුවක් වන්නට ඇත. ඉහත කී පුරාවස්තු හමුවීම නිසා මෙය පිළිම ගෙයක් ලෙස සැලකීමට ද ඇතැම්හු කැමති වෙති.

එහෙත් ලංකාවේ බෝමළු (බෝධිමාලක) වැට හා බෝගෙය (බෝධිඝර) පිළිබඳ විශේෂ අධ්‍යයනයක් කළ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා මෙය බෝධිඝරයක් බව පවසන්නේ මේ හා සමාන පුරාවස්තු හමුවූ වෙනත් බෝධිඝර හා සන්සන්දනය කරමිනි. නිදසුනක් වශයෙන් දෙමට මල් විහාරයේ බෝධිඝරය කැණීමේ දී බෝධිය රෝපණය කළ පාත්‍රයට යටින් තිබූ මෙවැනි ගර්භ ගලක් වූ බව ද, වෙනත් බෝධි ඝරවල බෝමළුවේ මෙවැනි හිටිපිළිම තිබූ බවට සාධක හමුවී ඇති බවද පෙන්වා දී ඇත.

එච්.සී.පී. බෙල් මහතා විසින් මෙම ස්මාරකයේ කැණීමේ දී එහි වූ ඉදිකිරීම් අවධි දෙකක් හමු වී ඇත. එහි මුල් අවධිය වට කළ වේදියක් හා ආසන සහිතව තිබෙන්නට ඇති බවත්, පසු අවධියේ දී එහි සංවර්ධනයක් වශයෙන් බෝධිය ද ඒවටා වූ වේදිය ( වැට) ආසනය සඳහා වූ ගෙය හා දොරටු සහිත වු පිටවේදිය ද ඉදිවෙන්නට ඇති බව සඳහන් කරන අතර පසුකාලයේ වේදියක අවශේෂ යොදා ගනිමින් පළමු අවධියේ ස්මාරකය සංරක්ෂණය කර ඇති බව පවසයි. එසේම මෙම කැණීමේ දී ආසන හමුවී නැති බව සදහන් වේ.

එහෙත් මෑත කාලීන කැණීම් මගින් එහි ආසනය මෙන්ම මධ්‍යයේ වූ බෝ කොටුව ද හමුවී තිබේ. ජල කානුව මෙම බෝධි මුලය තෙක් වූ බව පෙනේ. ස්තූපයක් හෝ ප්‍රතිමා ගෘහයක් සඳහා මෙවැනි ජල කානුවක් අවශ්‍ය නොවේ.(අනුරපුර ජේතවන විහාරය – මහාචාර්ය ටී.ජී.කුලතුංග පි. 32-36 -2001)

ඉහත සඳහන් කරුණු අනුව මෙම පුදබිම බෝධිඝරයක් ලෙසින් විද්වතුන් විසින් පිළිගෙන තිබේ.