Print this Article


සතිපට්ඨාන භාවනාව 42: ධම්මානුපස්සනාව - බොජ්ඣංග විදර්ශනාවෙහි පීති සම්බොජ්ඣංගය: සිතේ සතුට පුණ්‍ය කර්මයක්

ධම්මානුපස්සනාව - බොජ්ඣංග විදර්ශනාවෙහි පීති සම්බොජ්ඣංගය:

සිතේ සතුට පුණ්‍ය කර්මයක්

බුදුසරණ පත්‍රයේ මාස ගණනාවක් ම සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ විස්තර සඳහන් කරනවා. එයින් කායානුපස්සනාව , වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව ඉදිරිපත් කළා. දැන් ධම්මානුපස්සනාවෙහි කොටස් වශයෙන් ඉදිරිපත් කරන්නේ. ඒ කොටස් අතරිනුත් බොජ්ඣංග විදර්ශනාවෙහි පීති සම්බොජ්ඣංගය ගැන අද සඳහන් කරමු.

පීතිය යනු සන්තෝෂය යි. සිතේ සතුට ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. සෑම විටකම සිතේ සතුටක් තිබුණොත් එය පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා. ‘සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා’ යනුවෙන් සිහි කල්පනාවෙන්, සන්තෝෂයෙන් මෙනෙහි කළොත් එය උතුම් පිනක්. තරහවෙන් සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා යනුවෙන් මෙනෙහි කළොත් එය සුදුසු නැහැ. සිත අපිරිසුදු යි. පී‍්‍රතිය නැහැ. සෑම පින්කමක ම සිත හොඳ නම්, පිරිසුදු නම්, පීති සම්බොජ්ඣංගය යෙදෙනවා. පීති සම්බොජ්ඣංගය දියුණු කර ගැනීම සඳහා අපි උත්සාහවන්ත විය යුතු වෙමු.

මෙලොව ජීවිතය හොඳින් සකස්කරගෙන, ආගමානුකූලව ජීවිතය හදාගෙන, පිනට දහමට යොමුව, විශේෂයෙන් පංචශීලය ආරක්ෂා කරගෙන , පෝයට අටසිල් සමාදන්ව , ධර්මශ්‍රවණය කර, භාවනා කර අපේ පින වැඩි කරගත යුතු යි. ඒ සෑම අවස්ථාවකම සිත හොඳ නිසා පීති සම්බොජ්ඣංගය හොඳට වැඩෙනවා. පීති සම්බොජ්ඣංගය වැඩෙන කරුණු එකොළහක් තිබෙන අතර ඒ තුළින් ම සන්තෝෂය සිතෙහි පහළ වෙනවා. බෝධි අංගය නම් වූ බොජ්ඣංගය සිතෙහි දියුණු කරගන්නට සමත් වෙනවා.

පළමුවැන්න බුදු ගුණ මෙනෙහි කිරීම යි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරද්දී අපේ සන්තානයෙහි පීති සම්බොජ්ඣංගය වැඩෙනවා. ඉතිප ිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ යන ගුණ පාඨය නිතර , නිතර මෙනෙහි කළ යුතු යි. අරහං ආදී බුදු ගුණ නවය කෙටියෙන් හෝ තේරුම දැනගත යුතු යි. ඒ මඟින් බුදු ගුණ භාවනාව සම්පූර්ණ කරගත හැකි යි. බුදු ගුණ භාවනාවෙන් රහත් ඵල ලැබූ භික්ෂූන් වහන්සේලා සිටිනවා. බුදු ගුණ භාවනාවෙන් සතර අපායෙන් අත් මිදිලා සුගතියකම වාසය කරන අය සිටිනවා. ඒ නිසා කවුරුත් නිදැල්ලේ හැසිරෙන සිතට යම් අරමුණක් දිය යුතු යි. තේරුම දැන ඉතිපි සෝ පාඨය සතර ඉරියව්වෙහිම මෙනෙහි කරන්න. එසේනම් එය පීති සම්බොජ්ඣංගය හොඳින් වැඩෙන ක්‍රමයක්. බුද්ධ පූජා තැබීමෙන්, දණ නමා වන්දනා මාන කිරීමෙන්, බුදු ගුණ මෙනෙහි කිරීමෙන් , සෑ රදුන් වහන්සේ, බෝධීන් වහන්සේ, සර්වඥ ධාතූන් වහන්සේ දැකීමෙන් බුද්ධානුස්සති භාවනාව සම්පූර්ණ කරගන්න පුළුවන්. එයින් අපට පීති සම්බොජ්ඣංගය හොඳින් වැඩෙනවා.

දෙවන කාරණය ධර්මයේ ගුණ මෙනෙහි කිරීම යි. ස්වාක්ඛාතෝ භගවතො ධම්මො යන පාඨය ඉතිපිසෝ භගවා අරහං කියන්නා සේ දිගටම නොනවත්වාම පැවසිය යුතු යි. සිතෙන් මෙනෙහි කළ යුතු යි. ධර්මයේ ගුණ හයක් තිබෙනවා. ඒවා මෙනෙහි කිරීම තුළින් පීති සම්බොජ්ඣංගය හොඳින් වැඩෙයි. සිතේ සතුට තිබෙන තරමට ම අපේ ගුණ හොඳට දියුණු තියුණු කරගෙන ඉදිරියට යන්න පුළුවන්.

තුන්වන කාරණය සඟ ගුණ මෙනෙහි කිරීම යි. ‘සුපටිපන්නො භගවතො සාවක සංඝො’ යන ගුණ නවය නිබඳවම මෙනෙහි කිරීමෙන් ද පීති සම්බොජ්ඣංගය වැඩෙනවා. සැරියුත් , මුගලන්, ආනන්ද, කාශ්‍යප , රාහුල ආදී මහ රහතන් වහන්සේලාගේත් අද දක්වා ලෝකයේ පහළ වන සංඝයා වහන්සේගේත් ගුණවලට සඟ ගුණ යැයි කියනු ලබනවා. ඒවා නිතර මෙනෙහි කිරීමෙන් සංඝානුස්සති භාවනාව හොඳින් වැඩෙනවා. ලෝකයේ උතුම්ම ගුණ සිහි කරන ක්‍රම තුනයි තිබෙන්නේ. බුදු ගුණ, දහම් ගුණ , සඟ ගුණ පමණයි. ඒවා හොඳට දැන කියාගෙන කවුරුත් මේ අනුස්සති භාවනා ක්‍රම දියුණු කරනකොට පීති සම්බොජ්ඣංගය හොඳට වැඩෙනවා.

හතරවැන්න සීලානුස්සතියයි. එනම්, සීලයේ අනුසස් මෙනෙහි කිරීම යි. පන්සිල් රැකීමෙන්, අට සිල් රැකීමෙන්, දස සිල් රැකීමෙන් ලැබෙන්නා වූ පින මෙනෙහි කළ යුතු යි. සීලය ගැන මෙනෙහි කළ යුතු යි. මා පන්සිල් හොඳින් රකිනවා, අටසිල් රකිනවා, යනුවෙන් සීලයේ අනුසස් මෙනෙහි කළ යුතු යි. ශීලයේ වැදගත්කම සිතිය යුතු යි. කෙසේ හෝ සීලය ගැන මනා කොට මෙනෙහි කිරීමට තමන් සමාදන් වුණ ශීලය නිබඳව ම මෙනෙහි කළ යුතු යි.

පස්වැන්න ත්‍යාගය මෙනෙහි කිරීම යි. තමන් දානමය පින්කම් කර තිබෙනවා. ඒවා නිතර මෙනෙහි කළ යුතු යි. ත්‍යාගයේ, දානයේ අනුසස් නිතර මෙනෙහි කළ යුතු යි. ත්‍යාගවන්තයා, ශීලවන්තයා සංසාරයේ සුගතියක ම වාසය කළා. තථාගත ධර්මය අවබෝධ කළා. නිවනට පත් වුණා යනුවෙන් නිතර මෙනෙහි කරන විට උතුම් පිනක් ලැබෙනවා. පීති සම්බොජ්ඣංගය හොඳට දියුණු කරගන්නට පුළුවන්කම තිබෙනවා.

හයවැන්න දේවතානුස්සතිය යි. ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් බලයෙන් දේවත්වයට පත් වුණ දෙවිවරු මෙන් තමා ද ඒ ගුණ දියුණු කරන්නට අවශ්‍ය යැ’යි සිතේ සතුටෙන් මෙනෙහි කළොත් පීති සම්බොජ්ඣංගය හොඳින් වැඩෙනවා. දාන , ශීල ,භාවනා, පින්කම් කර ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ඥාන දියුණුවෙන් දෙවිවරු දේවත්වයට පත් වුණා මෙන් තමා ද ගුණ දියුණු කරනවා යැ’යි දෙවියන් සාක්ෂියේ තබාගෙන දේවතානුස්සතිය දියුණු කරන්නට අවශ්‍ය යි . එයිනුත් පීති සම්බොජ්ඣංගය හොඳින් වැඩෙනවා.

හත්වැන්න උපසමානුස්සතිය යි. කෙලෙස් සංසිඳෙන ක්‍රමය, නිවනෙහි ඇති වැදගත්කම , නිවනෙහි අනුසස් මෙනෙහි කිරීම යි. උපසම යනු සංසිඳීම යි. කෙලෙස් සංසිදීම යි. ලෝභ, දෝශ, මෝහ ආදී පව් සන්සිඳීම ගැන නිතර මෙනෙහි කළ යුතු යි. නිවන ගැන, නිවනේ අනුසස් ගැන මෙනෙහි කළ යුතු යි. එවිට පීති සම්බොජ්ඣංගය හොඳටම දියුණු කරගන්න පුළුවන්.

අටවැන්න රළු, සැදැහැ නැති පුද්ගලයන් ආශ්‍රයෙන් වැළකීම යි. පීති සම්බොජ්ඣංගය වැඩෙන්නට නම්, දරදඬු පුද්ගලයන්ගේ ආශ්‍රයෙන්, සද්ධාදී ගුණ නැති පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකිය යුතු යි.

නවවන කාරණය සැදැහැවත් පුද්ගලයන් ආශ්‍රය කිරීම යි. තුනුරුවන්ට සමීප වූ උදවිය ආශ්‍රය කරනවිට තමන්ගේ පීති සම්බොජ්ඣංගය හොඳට වැඩෙනවා. ඒ උදවියගේ ගුණ ධර්ම ඇති නිසා, තමනුත් ඒ ගුණ ධර්මයන්හි යොමු වී කටයුත කරන්නට ඕනෑ යනුවෙන් සිත් පහළ වෙනවා.

දසවැන්න රත්නත්‍රයේ ගුණ ප්‍රකාශ සූත්‍ර මෙනෙහි කිරීම යි. බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ ඇතුළත් සූත්‍ර දේශනා, ප්‍රසාද ජනක දේශනා තිබෙනවා. මේවා හොඳින් මෙනෙහි කළ යුතු යි. ප්‍රසාද ජනක දේශනා මෙනෙහි කරද්දී සිතෙහි සතුටට පත් වෙනවා. දම්සක් සූත්‍ර දේශනාව, මහා සමය සූත්‍ර දේශනාව, රතන සූත්‍රය, මහා මංගල සූත්‍රය වැනි ප්‍රසාද ජනක සුත්‍ර දේශනාවන් මෙනෙහි කිරීම තුළින් පීති සම්බොජ්ඣංගය හොඳින් දියුණු වෙයි.

එකොළොස්වැන්න පීති සම්බොජ්ඣංගය දියුණු කර ගැනීමට ඒ පිළිබඳව ඇලී ගැලී වාසය කිරීම යි. පීති සම්බොජ්ඣංගය දියුණු කර ගැනීම සඳහා මේ කරුණු වලින් සමන්නාගතව තමන්ගේ ජීවිතයට ශක්තිය ලබා ගත යුතු යි. එලෙස දියුණු කරගත්විට පීති සම්බොජ්ඣංගය දියුණු කිරීමට ලැබෙන්නේ. එසේනම් ඒවා පහළ වන ආකාරය, පවතින ආකාරය , නැතිවන ආකාරය හොඳින් මෙනෙහි කරගත් විට කරදර, පීඩා , බාධක නැතිව ඒ ගුණ ධර්ම ටික දියුණු කරගන්නට පුළුවන්කම තිබෙනවා. මේ ගැන සිතා, කල්පනාවෙන් හැකිතාක් ගුණ ධර්ම දියුණු කරගනු ලැබුවොත්, තමන්ට බණ, භාවනා ක්‍රම ඉදිරියට ගෙන යන්න පුළුවන්කම තිබෙනවා. එසේනම්, තම චිත්ත සන්තානයෙහි පීති සම්බොජ්ඣංගය හට ගන්නා ආකාරය, නැතිවන ආකාරය එකක් පාසා ම මෙනෙහි කරගත් විට පීති සම්බොජ්ඣංග භාවනාව හොඳට වැඩෙනවා. එය එකළොස් ආකාරයකින් මෙනෙහි කරගත් විට තමන්ගේ සිතෙහි උපන්නේ නැති වීර්යය, උපන්නේ නැති පීති සම්බොජ්ඣංගය උපදවා ගන්න පුළුවන්. උපන්නා වූ පීති සම්බොජ්ඣංගය දියුණු කර ගැනීමට පුළුවන්කම තිබෙනවා. මේ ගැන හසල දැනුමක් ඇතිකරගෙන ශීල, සමාධි, ප්‍රඥා ගුණ ධර්ම දියුණු කරගන්න මහන්සි ගත යුතු යි. එවිට තම සිතේ නූපන්නා වූ පීති සම්බොජ්ඣංගය උපන් බව ද, උපන්නා වූ පීති සම්බොජ්ඣංගය දියුණු වන බව ද දැනගත යුතු යි. එලෙස පීති සම්බොජ්ඣංගය ඇතිවන, නැතිවන බැවින් අනිත්‍ය, දුක්ඛ , අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම පීති සම්බොජ්ඣංග විදර්ශනාව වෙයි.

මේ ගැන හොඳින් දැන කියාගෙන බුදු දහමෙන් ලබාගත යුතු සියලු ධර්ම සම්පත්තිය ලබාගෙන බුද්ධ ශාසනයත් රැකගෙන, පාරමී ගුණත් දියුණු කරගන්නට වාසනා සම්පත්තිය සැලසේවා!