Print this Article


පිරිත් දේශනාව 33: වසල සූත්‍රය

වසල සූත්‍රය

අතීතයේ සුනඛ මස් උයා කන සැඩොල් පුතෙක් මාතංග නමින් ප්‍රකට විය. හීන කුලයක ඉපදුණ නමුදු මොහුට උසස් සම්පත් හා ධන ධාන්‍ය තිබිණි. ඒ නිසා බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වංශිකයෝ ද ඔහුට සේවා සැපයීමට ඉදිරිපත් වූහ. දිනක් මොහු සුරාපානෝත්සවයක් පැවති දිනෙක පාරේ ගමන් කරමින් සිටියේ ය. එම අවස්ථාවේ දී දිට්ඨමංගලිකා නම් කුමරියක් මහා පිරිවරින් උයන් බිමට යයි. අතරමග දී මාතංග දකින දිට්ඨමංගලිකා තමන් නො දැකිය යුත්තක් දැක්කා යැයි කෝපයට පත් වූවා ය. ඇය මාතංගයන්ට නින්දා අපහාස කළා ය. පුරුෂයන් දමා පහර දීම ද සිදු කළා ය. මාතංග ටික වේලාවකට පසු තමාට පහර දුන්නේ , බැන වැදුනේ කවුදැයි විමසා දිට්ඨ මංගලිකා බව දැන දිට්ඨ මංගලිකාගේ ගෙදර ඉදිරියට ගොස් ඇය තමන්ට නො ලැබෙන්නේ නම් නො නැගිටින්නේ යැයි ප්‍රකාශ කරමින් එහි වැතිරී සිටියේ ය. දින ගතවෙද් දී දිට්ඨ මංගලිකාගේ මවුපියන් කහවනු දෙමින් ඔහු එයින් නැගිට්ටවීමට කටයුතු කළේ ය. එහෙත් මාතංග නොනැගිට්ටේ ය. අවසානයේ සමාව අයැද සිටියා ය. නමුත් දිට්ඨ මංගලිකා නොලැබෙන්නේ නම් තමා එහිම මියයන තෙක් ම සිටිනවා යැයි ප්‍රකාශ කළේ ය. චණ්ඩාල කුලයේ කෙනෙක් තමන්ගේ ගෙහි ඉදිරියේ මියැදුනොත් එය පරම්පරාවම කුලහීනයන් වන බවට මතයක් තිබිණි. එනම් එම ගෙදර ප්‍රමුඛව හාත්පස ගම් සත බැගින් සැඩොල් වෙන්නේ යැයි අදහස් කෙරිණි. මේ නිසා ගම්වාසීන් කලබල වී ප්‍රමාද නොකොට දිට්ඨ මංගලිකා මාතංගට විවාහ කර දෙන්නැයි යෝජනා කළේ ය. මවුපියෝ එසේ කළ හ. අවසානයේ දී දිට්ඨ මංගලිකා තමාට ඇතුල් ගමෙහි වාසය කිරීමට නොහැකි බවත් ඒ නිසා පිට ගමකට යමුයැයි යෝජනා කළා ය. මාතංග ද දිට්ඨ මංගලිකා රැගෙන ගොස් මම අඩ මසකින් පැමිණෙමි යි කියා ගොස් තවුස් පැවිද්දෙන් පැවිදිව අෂ්ඨ සමාපත්ති පංච අභිඥා උපදවා මම දැන් දිට්ඨ මංගලිකාට පිහිට වන්නෙමියි අහසෙන් අවුත් නගර දොරටුවෙහි බැස දිට්ඨ මංගලිකාවට දන්වා යැවී ය.

දිට්ඨ මංගලිකා තම ස්වාමියා පැවිදි වී ඇති බව දැන එහි ගොස් තමා අපහසුතාවයට පත් කළේ මන්දැයි පාමුල වැටී විමසුවා ය. දිට්ඨ මංගලිකාවනි, ඔබ දුකට පත් නොවන්න. සියලු දඹදිව වැසියන් ලවා ඔබට සත්කාර කරන්නෙමියි පවසා ඔබ හඬ නගා කියන්න. මහා බ්‍රහ්මයා මගේ ස්වාමියා ය.මාතංග නොවේ. ඔහු සත්වෙනි දවසෙහි සඳ දෙපලු කරගෙන මා සමීපයට එන්නේ ය. දිට්ඨ මංගලිකා පිළිතුරු දෙන්නේ ස්වාමීනි, බ්‍රාහ්මණ මහාසාර දියණියක වී මගේ පාපකර්මයෙන් මම බැගෑපත් බවට පැමිණියෙමි. ඒ නිසා එසේ කියන්නට නොහැකි යැයි කී ය. මාතංග පිළිතුරු දෙන්නේ තමාගේ තේජස ඇය නොදන්නේ ය. ඒ නිසා විවිධ ප්‍රාතිහාර්යයන් පෙන්වා ඇයට නියෝග කොට තම වාසස්ථානයට ගියේ ය. දිට්ඨ මංගලිකා මාතංග කියූ ලෙස සිදු කළාය.

මිනිසුන් දිට්ඨ මංගලිකාට සිනාසේ. තම පාප කර්මයෙන් සැඩොල් බවට පැමිණි මැය මහා බ්‍රහ්මයාට අයිති වන්නේ කෙසේ ද? දිට්ඨ මංගලිකා මෙයින් සයවෙනි දවසේත්, පස්වෙනි දවසේත්, හතරවැනි දවසේත් ආදි ලෙසම තම ස්වාමියා තමා සමීපයට එන්නේ යැයි ප්‍රකාශ කළා ය.

අවසාන දවසෙහි අහස බලා සිටිද්දී මාතංග අහස් තලයට නැග සඳ විමන බලා සිටින්නවුන් පුදුමයට පත් කරමින් මහා බ්‍රහ්ම රූපයෙන් නික්මුණේ ය. ජනතාව ද අනුක්‍රමයෙන් තමන් වෙත මහා බ්‍රහ්ම ලීලාවෙන් පැමිණෙන්නා දැක දිට්ඨ මංගලිකා ඇත්තක් ම කීයැයි යන අදහස ඇති කර ගත්හ. මහා බ්‍රහ්ම තෙමේ ද දිට්ඨ මංගලිකා සිටි තැනට ම බැස්සේ ය. දිට්ඨ මංගලිකා ඒ මොහොතෙහි දරු ගැබක් දරා ගැනීමට සුදුසු තත්වයට පත් වූවා ය. මාතංග ඇඟිලි අගින් නාභිය පිරිමැද ඇයට දරු ගැබක් දුන්නේ ය. අනතුරුව ඇයට, ඔබට අනාගතයේ දී පුතෙකු ලැබෙන්නේ ය. ඔහු හේතු කොටගෙන ජීවත් වේවායි ප්‍රකාශ කොට මහජනයා බලා සිටියදීම නැවත සඳ විමනට පිවිසියේ ය. නගරවාසීන් ද, ජනපදවාසීන් ද අප්‍රමාණව පැමිණ දිට්ඨ මංගලිකාට සැලකිලි සත්කාර කරති. කාලයාගේ ඇවෑමෙන් දිට්ඨ මංගලිකා දරුවෙකු බිහි කළා ය. විවිධ දේශයන්ගෙන් සිය දහස් ගණන් කුමාරයා ඉල්ලාගෙන පිරිස් පැමිණියේ ය. මාතංග පණ්ඩිතයා ද තමාගේ පුතා දන් දෙන්නේ දැයි බලා බ්‍රාහ්මණයන්ට පමණක් දන් දෙන බව දැක සිවුරු පොරවා සියල්ලන්ට ම දන් දෙන්නේ යැයි පැමිණ දොරකඩ සිටියේ ය. කුමාරයා ඔහු දැක මෙබඳු අපිරිසුදු චණ්ඩාලයෙකු , වසලයෙකු කොහේ සිට පැමිණියේදැයි කෝපයෙන් ප්‍රශ්න කළේ ය. නුඹ මේ ස්ථානයට නොපැමිණිය යුත්තෙකි. දක්ෂිණාවට නුසුදුස්සෙකු වී යි කී ය. බමුණෝ ද අල්ලා ගනුවයි කියමින් අල්වා ගෙන මාතංග පණ්ඩිතයාට පීඩාවන් කළහ. දෙවියෝ ඒ අවස්ථාවේ දී කිපී කුමාරයා අල්ලා ඔහු බෙල්ලෙන් අල්ලා හිස පොළවට ද, පා ඉහළට සිටින සේ පිහිටෙව්වේ ය. දිට්ඨ මංගලිකා තම පුතා මුහුණ දී ඇති තත්වය දැක එය සිදුවූ ආකාරය විමසා වහා මාතංග පණ්ඩිතයා වෙත දිව ගියා ය. දිට්ඨ මංගලිකා තමාගේ දාසයන් නොදැන කළ දේට සමාවන්නැයි මාතංග පණ්ඩිතයාගෙන් ඉල්ලා සිටියේ ය. එකල්හි මාතංග පණ්ඩිතයා තමන් අනුභව කළ කැඳ කෝප්පයෙන් ටිකක් ඉතිරි කර යමෙකුට භූත විකාර ඇත්නම් ඔහුගේ ශරීරයට මෙම කැඳ ටික ඉසීමෙන් විකාර රහිත වන්නේයැ යි ප්‍රකාශ කළේය. දිට්ඨ මංගලිකා එසේ කළා ය. කුමාරයා ප්‍රකෘති තත්වයට පත් විය. පණ්ඩිතයන් වහන්සේ සමා කර ගන්නා ලෙස දිට්ඨ මංගලිකා කීය. පුතා ද බමුණන් ද එහි ගොස් සමාව ඉල්ලී ය. මාතංග පණ්ඩිතයා ඔවුන්ට ධර්ම කතාවක් ද සිදුකර සමාව දුන්නේ ය.