Print this Article


කළ කම් පල දෙන හැටි 22: පින් පව් එනවා අපි පසුපස්සේ

පින් පව් එනවා අපි පසු පස්සේ

" බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම වැනි ක්‍රියා වචනයෙන් සිදුවන අකුසල ක්‍රියා ලෙස හඳුනාගෙන සිටිය ද, වචනයෙන් එයටත් වඩා අපායගාමී අකුසල සිදුකර ගත හැකි අයුරු කෝකාලික හිමියන්ට බුදුරජාණන් වහන්සේ ලබා දුන් අවවාදයෙන් හෙළි වේ. යමෙකුට නින්දා කිරීම, අවමන් කිරීම, අගුණ ප්‍රකාශ කිරීම වරදක් ලෙස බුදුදහම දකියි. ආත්මාර්ථකාමී පටු සිතිවිලිවලින් තොරව, නිවැරැදිව පිළිවෙළට යමක් කළ යුතු ය. එසේ නොවුණහොත් එහි විපාක විඳීමට සිදුවන්නේ ද තමාට ම ය. වරද කළ ද, නීතියෙන් ගැළවිය හැකි වුවත්, තමා කළ වරදෙහි විපාකය සෙවනැල්ල සේ තමා පසුපස හඹා ඒම වැළැක්විය නොහැකි ය. "

වර්තමාන සමාජයේ ජීවත්වන පුද්ගලයාගේ කතාව ද, ක්‍රියාව ද, එක හා සමාන නොවන බව දක්නට ලැබේ. කතා කරන විට ඔහු සමාජයේ ජීවත් වන යහපත්ම පුද්ගලයා ය. එම සද්්පුරුෂ බව ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාවෙන් හෙළි වන්නේ නැත. යහපත් බව අයහපත් බව පිළිබඳව බුදුදහම තීරණය කරන්නේ ක්‍රියාවට අනුව ය. පුද්ගලික, පටු න්‍යාය පත්‍ර අනුව තීරණය කිරීම බුදු දහම තුළ ක්‍රියාත්මක වන්නේ නැත.

බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම වැනි ක්‍රියා වචනයෙන් සිදුවන අකුසල ක්‍රියා ලෙස හඳුනාගෙන සිටිය ද, වචනයෙන් එයටත් වඩා අපායගාමී අකුසල සිදුකර ගත හැකි අයුරු කෝකාලික හිමියන්ට බුදුරජාණන් වහන්සේ ලබා දුන් අවවාදයෙන් හෙළි වේ. යමෙකුට නින්දා කිරීම, අවමන් කිරීම, අගුණ ප්‍රකාශ කිරීම වරදක් ලෙස බුදුදහම දකියි. ආත්මාර්ථකාමී පටු සිතිවිලිවලින් තොරව, නිවැරැදිව පිළිවෙළට යමක් කළ යුතු ය. එසේ නොවුණහොත් එහි විපාක විඳීමට සිදුවන්නේ ද තමාට ම ය. තමා වරද කළ ද, නීතියෙන් ගැළවිය හැකි වුවත්, තමා කළ වරදෙහි විපාකය සෙවනැල්ල සේ තමා පසුපස හඹා ඒම වැළැක්විය නොහැකි ය.

කෝකාලික හිමියන් නින්දා කරනු ලැබුවේ සැරියුත් මුගලන් දෙනමට ය. පැසසිය යුත්තාට නින්දා නොකරන්නැයි බුදු හිමියන් වදාළේ එම නිසා ය. යමෙක් නින්දා කළ යුත්තාට ප්‍රශංසා කරයි නම්, පැසසිය යුත්තාට නින්දා කරයි නම්, ඔහු කටින් අපරාධ රැස් කරයි. යහපත් ගති ඇත්තන් කෙරෙහි සිත දූෂ්‍ය කිරීමෙන් සිදුවන අපරාධ බොහෝ බරපතළ ය. බුදුරජාණන් වහන්සේ එම දහම් පණිවුඩය කෝකාලික හිමියන් ට දේශනා කළ සේක. එම දේශනාව කෝකාලික හිමියන්ට පමණක් නොව, සාවද්‍ය අයුරින් වචනයෙන් කටයුතු කරන සියලු දෙනාට ම පොදු ධර්මතාවයක් වෙයි. මිනිසා කරන බොහෝ පව්කම්වලට අමතරව වචනයෙන් ඔහු නොදැනම කරන පව්කම්වල බරපතළකම මෙයින් හෙළි වෙයි. සමාජයේ ජීවත්වන විට බොහෝ දෙනා තමන් පරම නිවැරැදි පුද්ගලයා ලෙස තමා විසින් ම හඳුන්වා ගන්නටත්, අන්‍ය අය අතරින් වැරැදි කෙනෙකු තෝරා දෙන්නටත් දක්ෂයන් වෙයි. එසේ වුව ද, තමන්ගේ වචනයෙන් තමාටත්, සමාජයටත්, සිදුකරන හානිය අපමණ ය. නීතියට පවා මෙබඳු ස්වභාවයන් අල්ලා ගැනීමට නොහැකි ය. සිදු කරන්නා පවා එහි ආදීනව නොදැන පුරුද්දට හෝ ලාභාපේක්ෂාවෙන් හෝ තනතුරු නම්බුනාම ඉහළ නැගීම සඳහා ඇතිකරගත් අනවරත වෙහෙස නිසා හෝ අන්‍යයන් අතර ඇතිකර ගත් මානසික තරගය නිසා හෝ , එසේ සිදුකරයි. ඇතැම් විට අනෙකාගේ ඉහළ යාම නුරුස්නා නූගත් දුර්ජන තැනැත්තා විසින් ද, එබඳු දේ සිදුකරනු ලබන අවස්ථා තිබෙන්නට පුළුවන. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වුව ද, මෙබඳු අවර ගති සිරිත් ඕනෑතරම් තිබේ. බුදුදහම මිනිසා තුළ නොමැති බව ඒ තුළින් හෙළි වෙයි. අන්‍යයා ළඟ බුදු දහම තිබේ දැයි සොයන මිනිසා එය තමා තුළ නොමැති බව වටහා නොගනියි. තමාට යහපත උදාකරන පුද්ගලයා හොඳ යැයි තමා නිගමනය කරයි. තමා කැමැති කෑමක් හෝ වේවා නියම් හෝ අනියම් ලෙසින් යමක් තමාට ලබා නොදෙන්නා අයහපත් පුද්ගලයා ය. ඒ අනුව ප්‍රශංසා කළ යුත්තා ද, නින්දා කළ යුත්තා ද හඳුනා ගනී. මිනිසාගේ ක්‍රියා කලාප තෝරා බේරාගෙන ඇත්තේ මේ ආකාරයට විය හැකි ය. එම අදහස බුදු දහමට අනුව වැරැදි ය. තමා නිවැරැදි ම පුද්ගලයා යැයි සිතින් සිතාගෙන සිටින දුර්ජන ඔබට එය නිවැරැදි ලෙස සිතෙයි. යම්කිසි වාසියක් හෝ ප්‍රයෝජනයක් ලබා ගනු රිසිව අදාළ පුද්ගලයා ළඟ දණින් වැටී හෝ මනසින් වැටී ඔහුගේ ගුණ මහිමය වර්ණනා කරන ඔබ සත්‍යවාදියෙක් ද? මිථ්‍යා වාචකයෙක් ද? අයථා ටලෙස ගත් මුදලින් දරුවන්ට කන්න බොන්න දෙන ඔබ සත්‍යවාදී පියෙක් ද? වංචාකාරයෙක් ද? තැන තැන හැසිරී සිරුර විකුණා ගත් මුදලින් ද දන් පහන් දෙන ඔබ පිනැතියෙක් ද? ආදී වශයෙන් ඔබ කල්පනා කළ යුත්තේ තමා සමාජය තුළ අර්ථවත් චරිතයක් රඟපානවා ද කියා නොවේද? ඔබ තුළ පවතින හොඳ නොහොඳ මින් පෙර සිතා තිබේ ද?

කෝ්කාලික හිමියන් අපවත් වූයේ ද චර්ම රෝගයකිනි. වර්ණනා නොකළ යුත්තා වර්ණනා කිරීමත්, වර්ණනා කළ යුත්තා වර්ණනා නොකිරීමත්, ද්වේෂයෙන් මනස පුරවා ගැනීමත්, එම ධර්මතාවලට එරෙහිව සිත රුචි ආකාරයට ක්‍රියා කිරීමත්, චර්ම රෝග වැළඳීමට ද හේතුවන බව පැහැදිලි වෙයි. බොහෝ පුනරුප්පත්ති සාධකවලින් ද, වර්තමානයේ ජීවත්වන මිනිසුන් අධ්‍යයනය කිරීමෙන් ද එම කාරණය පැහැදිලි වෙයි.