Print this Article


බොදු දනට කරුණාවෙන්:  බුදුරදුන්ගෙන් පැසසුම් ලැබූ පුද්ගලයෝ

 බුදුරදුන්ගෙන් පැසසුම් ලැබූ පුද්ගලයෝ

තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධයෙන් සරණ යන ඔබ අප සියලු දෙනා විසින් කෙසේ නම් අපේ ඉරියව් පැවතිය යුත්තේ දැයි අප විසින් ම තේරුම් ගත යුතුයි.

අප්පමත්තා සතීමන්තො
සුසීලා හෝථ භික්ඛවො
සුසමාහිත සංකප්පා
සචිත්ත මනුරක්ඛථ

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම් පෙළකි. කුසලයට අප්‍රමාදී වන්න. සතිමන්ත හෙවත් සතර සතිපට්ඨානය පුරුදු කරන ලද සිහියෙන් යුක්ත වන්න. ‘සුසමාහිත සංකප්පා’ ලෝභ, ද්වේෂ, මෝහ සංසිදුණා වූ සිතිවිලි ඇති කර ගන්න. ඒවා පවත්වා ගන්න. ‘සචිත්ත මනුරක්ඛථ’ එසේ පවත්වමින් සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දැක ගන්න. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, මරුගෙන් ආරක්ෂාවෙන්න යන අදහසයි. එනමුත් උච්ඡංග පඤ්ඤා නම් වූ පුද්ගලයා අසාගෙන සිටින විට, පින්කම්වල යෙදෙන විට ඇතිකරගත්තා වූ සංයමය, අවබෝධය සාමාන්‍ය ජීවිතයේ නොපවත්වා ගැනීම නිසා ධර්ම මාර්ගය තුළ පිරිහුණු පුද්ගලයෙක් හැටියට හැඳින්විය හැකියි.

අප සඳහන් කළ පුද්ගලයන් තිදෙනාගෙන්, තුන්වෙනි පුද්ගලයා හඳුන්වන්නේ ‘පුථු පඤ්ඤා” යනුවෙනුයි. මේ පුද්ගලයා භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රශංසිතයි. ධර්ම විනයෙන් පිරිපුන් භික්ෂූන් වහන්සේ නමක් විසින් ‘ආදි කල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං” නම් වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුල, මැද, අග මනාකොට ගලපා දේශනා කළ සේක.

මේ ශ්‍රාවකයා ගිහි හෝ පැවිදි හෝ වේවා, මේ ශ්‍රාවකයා තමා තුළ රාග, දේවේෂ, මෝහ සංසිෙඳන ආකාරයෙන් සිත එකඟකොටගෙන ධර්මය ගලපා බලනවා. ශ්‍රවණය කරනවා. හැම දහම් වචනයක් ම, සිතිවිල්ලක් ම ‘අජ්ජත්ථ’ හෙවත් අධ්‍යාත්මික වශයෙන් තමා කෙරෙහි ම ගලපමින් විරාගයට, වීත දෝෂයට, වීත මෝහයට ළං කර ගන්නවා. තමා ඒ තුළින් චිත්ත පස්සද්ධියක්, සිතේ සංසිඳීමක්, නිවුණු බවක් ඇති කර ගන්නවා. ඒ වගේ ම මේ ශ්‍රාවකයා බාහිර ආරම්මණයන් කෙරෙන් පවා ඒ සංසිඳීම වඩනවා.

ඇසට රූප, කනට ශබ්ද, නාසයට ආඝ්‍රහණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතිවිලි වශයෙන් ආරම්මණ බාහිර වශයෙන් පරිහරණය කරන විට, සම්මුතිය තුළ සීලයේ පිහිටා ධර්මානුකූලව පරිහරණය කරනවා. ‘ඔබ මගේ යැයි පවසමින් මවුපියෝ, දරුවෝ, ස්වාමි, භාර්යා ආදී වශයෙන් පැවැත්වූවත්, පරමාර්ථ ධර්මයට අනුව සිතින් අත්හැර සසරෙහි හා නාම රූප ධර්මයන්හි යථා ස්වභාවය නුවණින් දැක හා දුටු දේ සිතින් පුරුදු කරමින් එය සිතින් පිළිගෙන ජීවිතය පවත්වන්න දක්ෂ කෙනෙකුයි.

එමගින් අද්ධ්‍යත්ත හා බාහිර වශයෙන් එනම්, තමා කෙරෙන් හා බාහිර ආරම්මණයන් කෙරෙන් ඉපදවිය හැකි ලෝභාදී කෙලෙස්වල සංසිඳීමක් ඇති කර ගන්නවා. කෙටියෙන් සඳහන් කළොත් , අකුසල ධර්මයන්ගේ සකස්වීම ක්‍රමයෙන් අඩු කරනවා. නැති කරනවා. ජීවන මගේ දී අවශ්‍ය කරන කර්ම විඥානය වැඩීම පාලනය කරනවා. බැහැර කරනවා. යම් කෙළවරකට එන විට කර්ම විඥානය නතර කිරීමට තරම්, එනම් කර්ම විඥානය පැවැත්ම නතර කිරීමට තරම් දක්ෂ කෙනෙක්, සතිමන්ත කෙනෙක්, වීර්යය වන්ත කෙනෙක්, ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත්වෙනවා. මෙවැනි පිරිස් බොහොමයක් දැක ගන්නට පුළුවනි. ඔබ ද එවැනි අයෙක් දැයි නුවණින් සිතා බලන්නට යැයි ආරාධනා කරනවා.

මෙය පවසන මම ද එවැනි අයෙක් දැයි මා විසින් මා පිළිබඳව සිහිපත්කොට බලනවා. ඒ වගේ ම මේ ‘පුථු පඤ්ඤා’ නම් වූ පුද්ගලයා මුලින් සඳහන් කළ දෙදෙනාට ම වඩා විශේෂත්වය වන්නේ දහම් ශ්‍රවණය කරන විට වගේ ම, පින්කමක යෙදෙන විට වගේ ම ඉන් අනතුරුවත්, එදිනෙදා ජීවිතයේ එනම් සාමාන්‍ය ජීවිතයේදීත් තමන් ශ්‍රවණය කොට, ඉගෙන ගත්, සංසිඳුවා ගත් සිත, කය, වචනය නම් වූ ත්‍රිවිධ ද්වාරයන් ම ඒ ලෙසින් ම පවත්වා ගැනීමට තරම් දක්ෂයෙක් බවට පත්වීමයි. මොනතරම් කෙලෙසුන්ගෙන් පිරිපුන් පිරිසක් මැද ජීවිතය පැවැත්වූවත්, මහ වනයක් මැද හුදකලාව සිටින පුද්ගලයෙක් සේ බාහිර ආරම්මණයන් කෙරෙන් නොබැඳී, නොගැටී නොඇවිස්සී ව්‍යාකූල නොවී සිත පවත්වන්නට තරම් හැකියාවක්, පුරුද්දක් ඇතිකොට ගෙන තිබෙනවා.

ධර්මය ශ්‍රවණය කිරීමේ දී ඇතිකර ගන්නා වූ සමාහිත සිත, එනම් ඒ ඒ ආරම්මණයන් හි ලෝභයෙන් විනිර්මුක්තයි. ද්වේෂයෙන් විනිර්මුක්තයි. මෝහයෙන් විනිර්මුක්තයි. එසේ ම හැකිතාක් දුරට එදිනෙදා ජීවිතය පවත්වන විට කුමන ආකාරයේ පිරිසක් ඇසුරු කළත්, කුමන ආකාරයේ අවිඤ්ඤාණක වස්තු, එනම් ගේදොර, ධන ධාන්‍යය, ඇඳුම් පැළඳුම්, ආහාරපාන, ස්වභාවික පරිසරය ආදී වශයෙන් ඇසුරු කළත් තමාට අයිතිව තිබුණත් ඒවා පාලනය කළත් සිතෙහි කෙලෙස් සකස් නොවන ආකාරයෙන් පවත්වා ගන්නට ඒවා හා සමඟ කටයුතු කරන්නට තරම් සමාහිත සිතක් පවතිනවා. එයට හේතුව කුමක් ද? අවබෝධයෙන් යුතුව තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යාමයි.

මම බුදුරජාණන් වහන්සේ සරණ යමි. මම ධර්ම රත්නය සරණ යමි. ආර්ය සංඝරත්නය සරණ යමි. යන අවස්ථා තුනේ දී ම අවබෝධයක් හා ශ්‍රද්ධාවක් සිතේ ඇතිකර ගැනීමයි. සරණ යාම යනු අවබෝධයෙන් යුතුව ඒ මඟ අනුගමනය කිරීම නොවේ දැයි නිතර නිතර සිහිපත් කොට බලනවා. ඒ අනුව තමාගේ මාර්ගයෙහි ධර්ම විනයට නොගැළපීමක් වේ නම් එය වහා බැහැරකොටගෙන භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට ඇති ආකාරයෙන් මනාව සිහිය පවත්වාගෙන ධර්ම මාර්ගය අනුගමනය කරන්න තරම් සිත පවත්වනවා.

අශ්‍රැතවත් පෘතග්ජන ස්වභාවය අනුව යම් සිතිවිල්ලක් සිතෙහි නැගුණත්, ඒ සිතිවිල්ල අස්සාද ආදීනව වශයෙන් දැක, නිස්සරණ වශයෙන් කෙලෙස්වලට හසුනොවෙන්නට තරම් සිත පවත්වා ගන්නට හැකියාවක් මේ ශ්‍රාවකයාට පවතිනවා. මනාව සිහිය පවත්වා ගැනීමට තිබෙන හැකියාව නිසා ඇසට, රූපයක්, කනට ශබ්දයක්, නාසයට ආඝ්‍රහණයක් වශයෙන් ආරම්මණ සකස්වීමේ දී ඒවා විඤ්ඤාණයට අනුව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එනමුත් ඒවා කිසිවක් ‘මමය, මාගේ’ ය යන දෘෂ්ඨියෙන් කෙලෙස් සකස්වන ආකාරයෙන් හා වැඩෙන ආකාරයෙන් සිතත්, සිතිවිලිත්, වචනත්, ක්‍රියාවත් අවබෝධයෙන් යුක්තව පවත්වා නොගන්නට තරම් වීර්යයක් හා ප්‍රඥාවක් මේ ශ්‍රාවකයා තුළ පවතිනවා. ‘හරියට මහ මඟ ගමන් කරන විට ගලක්, මුලක්, කටුවක්, විසකුරු සත්වයෙක් දැක මග හැර යන්නේ යම් සේ ද රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සිතිවිලි වශයෙන් රාග, ද්වේෂ, මෝහයන්ට සමීප වූ හෝ යුක්ත වූ අරමුණක් පැන නගින්නේ ද? ඒවා අස්සාද, ආදීනව, නිස්සරණ වශයෙන් ධර්ම විවරණය කොටගෙන සිත සමාහිතව පවත්වා ගන්නට තරම් මේ ශ්‍රාවකයාට හැකියාව තිබෙනවා.

යම් කෙනෙක් එවැනි කෙනෙකුගෙන් මෙ වැනි ප්‍රශ්නයක් අසන්නට පුළුවනි. මේ තරම් ගැටලු මැද්දෙත් ඔබ මේ තරම් නිවුණු කෙනෙක් හැටියට සැනසුණු කෙනෙක් හැටියට ජීවිතය පවත්වන්නේ කෙසේ ද? මට නම් ඔය ආකාරයෙන් දරාගෙන සිටිය නොහැකියි. මම නම් මේ කරුණෙදි මේ වන විටත් කෑ ගසා රණ්ඩු දබර කරගෙන හඬා වැළපී සිටිනවා නො අනුමානයි. නමුත් ඔබ බොහෝ විට දකින ආකාරයෙන් ම සංසිඳුණු මනසකින්, නිවුණු පෙනුමකින් සමාහිත බවකින් කටයුතු කරන බව පැහැදිලියි. ඔබ නූගත් කෙනෙක් නොවන බව, ඔබ අත්දැකීම් පළපුරුදු නැති කෙනෙක් නොවන බව මා ඉතා හොඳින් දන්නවා. රට ලෝකය ගැන බොහෝ ලෞකික දැනුමක් පවතින, බොහෝ පිරිස් ආශ්‍රය කරන, අත්දැකීම් සම්භාරයක් ඇති ඔබ සමාහිත හිතකින් කටයුතු කිරීම නම් හැබෑවට ම විශ්මය ජනකයි.

මෙවැනි නිදසුන්වලින් අප දකින්නේ කුමක් ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පුථු පඤ්ඤා නම් වූ මේ පුද්ගලයා ධර්මය ශ්‍රවණය කරන විටත්, ඉන් අනතුරුවත් ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙසුන් සංසිඳවාගෙන ජීවිතය පවත්වා ගන්නා වූ ආකාරයයි. අශ්‍රැතවත් පෘතග්ජන ස්වභාවයේ දී නම් මේ පුද්ගලයා තුළත් රාගාධි කෙලෙස් හට ගැනීමක් නොවනවා නොවෙයි. යම් යම් වූ අරමුණයන්හි දී ඇලීම්, බැඳීම් වශයෙන් කෙලෙස් හටගත හැකියි. නමුත් තමා ධර්මය ශ්‍රවණය කරමින් පුරුදු කළ ඒ සිත, නැවත වහා මතු වී ඒවා නැවත සතිමන්ත ලෙස පවත්වාගෙන සිතෙන් කෙලෙස් සිතිවිලි බැහැර කර ගන්නත් සංසිඳුවා ගන්නට තරම් හැකියාවක් පවතිනවා. සතිය හෙවත් සිහිය ගැන සඳහන් කරනවිට උගන්වන සතිය යෝනිසෝ මනසිකාරය අනුපස්සනා එනම් නැවත නැවත මෙනෙහි කොට බැලීම මනසිකාරය කිරීම සම්පජඤ්ඤය එනම් විදර්ශනා නුවණින් පරික්ෂා කොට බැලීම මේ පුරුදු නිසා අශ්‍රැතවත් පෘතග්ජන සිතේ සකස්වන කෙලෙස් වැඩෙන්නට නොදී ඒවා බැහැර කර ගැනීමට තරම් හැකියාවක් තිබෙනවා.

නිදසුනක් මෙසේ දැක්විය හැකියි. සම්මග්ප්‍රදාන සූත්‍රයට අනුව

“උප්පන්නං කාමවිතක්කං නාධිවාසේති
පජහති විනොදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති
උප්පන්නං ව්‍යාපාද විතක්කං නාධිවාසේති
පජහති විනොදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති
උප්පන්නං විහිංසා විතක්කං නාධිවාසේති
පජහති විනොදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති

උපන්නා වූ කාම විතර්කය, ව්‍යාපද විතර්කය, විහිංසා විතර්කය එනම් ඉවසන්නේ නැහැ. එය අවබෝධයෙන් ඉවත් කරනවා. ගලවා දමනවා. බැහැර කරනවා. නැවත හට නොගන්නා සේ සිහිය පිහිටුවනවා යන ආකාරයයි.

පුථු පඤ්ඤා නම් වූ පුද්ගලයා “කට උඩු දෙසට හරවා මනාව තබන ලද කළයක් හා සමානයි. පැන් වත් කරන විට ඒ කළය ඇතුළට මනා සේ ජලය ඇතුලුවන්නා සේ, රැස්වන්නා සේ, පිටතට ඉහිර නොයන්නා සේ මේ පුද්ගලයාට ධර්මය මැනවින් වැටහෙනවා. ජීවිතය පුරාම ඒ ධර්මය පවත්වා ගන්නවා. එනම් රාග, ද්වේෂ, මෝහ සංසිඳවමින් නිවුණු පුද්ගලයෙක් හැටියට ජීවිතය පවත්වනවා.

තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්මා දිට්ඨියට අනුව සම්මා වීර්යයත්, සම්මා සතියත්, සම්මා ප්‍රඥාවත් මනාව එකට එකතුකොටගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය ම අනුගමනය කරමින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස පිළිපන් ශ්‍රාවකයෙක් බවට පත්වෙනවා. පුථු පඤ්ඤා නම් වූ පුද්ගලයා ම භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රශංසිතයි.