Print this Article


ධම්මාදාස හෙවත් බුදුන් වදාළ අනාවැකි කීමේ ශාස්ත්‍රය

ධම්මාදාස හෙවත් බුදුන් වදාළ අනාවැකි කීමේ ශාස්ත්‍රය

වෛදික යුගයේ තරම් ඈත කාලයක සිට පෙරදිග සමාජය ඡ්‍යොතිෂ නක්ෂත්‍ර ආදී ගුප්ත ශාස්ත්‍ර විෂයයෙහිත්, පේන බැලීම්, අංජනම් බැලීම්, සාත්තරඇසීම් ආදී අනාවැකි කියවා ගැනීම්, කෙරෙහිත් උනන්දුවක් දක්වා ඇත.

ඡ්‍යොතිෂ්ශාස්ත්‍රය දීර්ඝ ඉතිහාසයක් ඇති පෙරදිග විද්‍යාවකි. එහි යම් ප්‍රමාණයක සත්‍යතාවක් ඇත. අනාවැකි කියන්නට නොයෙක් ක්‍රමවලින් පුළුවන. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවා අහස නිරීක්ෂණය කිරීමෙන් කාලගුණ අනාවැකි ප්‍රකාශ කරයි. මේවායේ සත්‍යාසත්‍යතාවය රැඳී ඇත්තේ මෙකී විද්‍යාවන් ප්‍රගුණ කළ අයගේ දැනුම හා අත්දැකීම මත ය. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ බුදුන් වහන්සේට ද විවිධ හේතු මත හා යම් යම් අයගේ ඉල්ලීම මත අතීතය හා අනාගතය ගැන අනාවැකි කියන්නට සිදුව තිබූ බව පෙන්වා දීමටයි.

බුදුන් වහන්සේ හා රහතන් වහන්සේලා ද, ඇතැම් විට ධ්‍යානලාභී වූ බමුණන් හා සෘෂිවරුන් ද අතීතයේ අනාවැකි කියා ඇති බව බෞද්ධ හා වෙනත් පොත්පත්වල සඳහන්වේ. ඔවුන් අනාවැකි පවසා ඇත්තේ දිවැසින් එසේත් නැත්නම් සිත දියුණු කිරීමෙනි. මහාපරිනිබ්බාණ සූත්‍රයට අනුව සුනීධ වස්සකාර නම් ඇමතිවරුන් දෙදෙනෙක් අජාසත්ත රජතුමාගේ නියෝගය පරිදි බුදුන් වහන්සේ හමුවී යුද්ධයෙන් වජ්ජි ජනපදය යටත් කර ගත හැකිද නැද්ද යන්න විමසා ඇත. බුදුුන් වහන්සේ එහි දී ඔවුන්ට පිළිතුරු දෙනු වෙනුවට ආනන්ද තෙරුන් දෙස බලා සප්ත අපරිහානිය ධර්ම කියාදීම් වශයෙන් අජාසත්තගේ අරමුණ ඉටු නොවන බව අවධාරණය කර ඇත. එක්තරා අඹුසැමි දෙපළක් තම ළදරුවා බුදුරදුන් හමුවට පැමිණ වූ විට ඔහුට තවත් ආයුෂ ඇත්තේ දින හතකට පමණකැයි කියා පිළියමක් හැටියට පිරිත් දේශනා කරවූ බව ධම්මපදට්ඨකථාවේ දැක්වේ. එකල වැඩ සිටි වංගීස නම් තෙරුන් වහන්සේට මියගිය කෙනෙකුගේ හිස්කබලට තට්ටුකර උපන් තැන කියන්නට හැකියාවක් තිබී ඇත. බුදුන් වහන්සේ වදාළ අනාවැකි ගැන ත්‍රිපිටකයේ සඳහන් වන්නේ නුවණින් බලා කළ දේශනා හැටියටයි.

සංයුත්ත නිකායේ පස්වන කොටසේ මහාවග්ගයෙහි ගිජ්ක්ජකාවසථ නමින් සූත්‍ර තුනක් ඇත. මේවා දේශනා කර ඇත්තේ බුදුන් වහන්සේ ඤාතක නම් ගමක ගිජ්ක්ජකාවසථ හෙවත් උළු සෙවිලි කළ ආවාසයක වැඩසිටියදී ය. මේ වන විට බුදුන් වහන්සේ අසූවියැතිව ජීවිතයේ අවසාන සති කීපය ගත කරමින් සිට ඇති බව මහා පරිනිබ්බාණ සූත්‍රයට අනුව පෙනී යයි. බුදුන් වහන්සේ එකී ගමේ වැඩ සිටියදී එහි පැමිණි බොහෝ මනුෂ්‍යයන් ආනන්ද තෙරුන් මගින් බුදුන් වහන්සේට යම් යම් ප්‍රශ්න ඉදිරිපත් කර ඇත. ඒවා බොහොමයක් තමතමන්ගේ මියගිය ඤාතීන් මරණෙන් පසු උපන් තැන පිළිබඳව කළ විමසීම් ය.

ඒ අනුව සාළ්හ නම් භික්ෂුව රහත්ව පිරිනිවන්පා ඇති බැවින් නැවත නූපදින බවත් නන්දා නම් භික්ෂුණිය අනාගාමීව සිට මියගිය බැවින් බ්‍රහ්මලෝකයේ ඉපදී ඇති බවත් සුදත්ත උපාසක තැන සකදාගාමීව මියගොස් ඇති බැවින් තවත් එක්වරක් මනුෂ්‍ය ලෝකයට පැමිණෙන බවත් සුජාතා නම් උපාසිකාව මියයන විට සෝවාන් තත්වයේ පසුවී ඇති බැවින් නියත වශයෙන් ආත්ම හතක් ඇතුළත නිවන් අවබෝධ කරගන්නා බවත් බුදුන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

ඤාතක ගමේ පමණක් පනහකට වැඩි දෙනෙක් මරණින් මතු අනාගාමී බවටත්, අනූවකට වැඩි දෙනෙක් සකදාගාමී බවටත්, පන්සිය හයදෙනෙක් සෝවාන් බවටත් පත්ව ඇති බව වැඩිදුරටත් ප්‍රකාශකර ඇත. මෙසේ සැකෙවින් පිළිතුරු දී ඇති බුදුන් වහන්සේ එක් එක්කෙනා ගැන තොරතුරු කීම වෙහෙසකර බැවින් කෙනෙකුට තමන් ගැන තමන්ට ම අනාවැකියක් කරගත හැකි ක්‍රමවේදයක් ඉගැන්වී යයි තෙවැනි ගිජ්ක්ජකාවසථ සූත්‍රයේ සඳහන් වේ. එම ක්‍රමවේදය ධම්මාදාස ධම්මපරියාය හැටියට නම් කළ බව ද එහි සඳහන් වෙයි.

අතීතය ගැන නොතැවී, අනාගතය ගැන කල්පනා කරමින් නොසිට, වර්තමානය නිවැරැදිව සකස්කර ගත යුතු බවත් එසේ ජීවත් වන්නා ප්‍රසන්න තැනැත්තෙකු වන බවත්, සංයුත්ත නිකායේ ගාථාවක සඳහන් වෙයි. කෙනෙක් තමන්ගේ ජීවිතය දෙස වැරැදි තක්සේරුවකින් තොරව අගතිගාමී නොවී සාධාරණ ලෙස බලා සිටින විට ඔහුට හෝ ඇයට මරණින් පසුව නිරය, තිරිසන්, ප්‍රේත, අපාය යන ආත්මභාවවලට නොගොස් සෝවාන් වීමට හැකිවේදැයි කියා තේරුම් ගන්නට පුළුවන. කෙනෙක් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නය පිළිබඳ ගුණදැන පැහැදීමෙන් වාසය කරයි නම් ආර්යකාන්ත සීලයෙන් හා සමාධියෙන් යුක්ත නම් ඔහුට හෝ ඇයට සෝවාන්වීමට හැකි බව පහසුවෙන් හා නිශ්චිතව තහවුරු කරගත හැකි බව බුදුන්වහන්සේගේ ඉගැන්වීමයි.

මෙම සූත්‍රයට අනුව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ තමන්ගේ සිතුම්පැතුම්, ක්‍රියාකලාපය අනුව තමන්ට තමන්ගේ මතු ආත්මය ගැන නිගමනයකට පැමිණිය හැකි බව ය. මෙමගින් මරණින් මතු ආත්මය පමණක් නොව මෙලොව ජීවිතයේ ඉතිරි කාලය ගැන ද සෑහෙන දුරකට සිතාගත හැකි ය. හොඳීන් ඉගෙන ගතහොත් විභාග සමත්විය හැකි බවත්, විභාග සමත්වුවහොත් උසස් රැකියාවක් ලැබිය හැකි බවත් ඉවසීමෙන් හා සැලකිල්ලෙන් ගැලපෙන සහකරුවෙක් හෝ සහකාරියක් සොයාගෙන අවබෝධයෙන් යුතුව ජීවත් වන්නේ නම් පවුල අවුල් වීමට ඉඩ අඩු බවත් ජීවිතයේ මුල්භාගය සාර්ථක වීනම් මහලු වියේ තැවෙන්නට ඉඩක් නැති බවත් හැම කෙනෙකුට වටහාගත හැකි ය.

මේ අතර කෙනෙක් කනබොන හැටි දෙස බලා ඔහු හෝ ඇයගේ අනාගත සෞඛ්‍ය තත්වය ගැනත්, වාහන පදවන අයුරු දෙස බලා අනතුරක් කරගනීද නැද්ද යන්න ගැනත් වියදම් කරන ඉතිරිකරන ආකාරය දෙස බලා පසුකලෙක දුප්පත් වේද නැද්ද යන්න ගැනත්, විවාහ ජීවිතය ගතකරන ආකාරය අනුව පවුල අල්ලාහිටීවිද නැද්ද යන්නත් ඉගෙන ගන්න ආකාරය අනුව උසස් රැකියාවක් ලැබේ ද, නොලැබේ ද යන්නත්, දේශපාලනය කරන ආකාරය අනුව දිනයිද පරදීද යන්න ගැනත් සැලකිය යුතු තරමකට අනාවැකි කිවහැකි ය. මේ පිළිබඳව බලා සිටින අයටත් අනාවැකි කිව හැකි නමුත් හැබෑම අනාවැකියක් ප්‍රකාශකොට ගත හැකි වන්නේ තමන්ටම ය.

කර්මය හෝ වෙනත් යම්කිසි හේතුවක් නිසා තමන්ට තමන්ගේ ජීවිතයේ භෞතික පැත්ත හසුරුවා ගන්නට බැරිම තත්වයකට පැමිණියත් බුදුදහමේ ඉගැන්වෙන පරිදි ලෝකස්වභාවය, කර්මය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වැනි කරුණු වෙත අවධානය යොමුකොට මානසික පරිවර්තනයක් ඇති කර ගත හැකිනම් තවදුරටත් ඔහුට හෝ ඇයට වෙනත් මඟකින් සාර්ථක විය හැකි ය. ජයගත නොහැකි යයි පෙනී යන අභියෝග සමඟ ගැටෙමින් සිටිනු වෙනුවට සමහරවිට විදේශගතවීම, පැවිදිවීම, බැඳීම් හා පුරුදුවලින් නිදහස්වීම, යම් යම් දේ අත්හැරීම වැනි ක්‍රම අනුගමනය කළ හැකි ය. මේ මගින් පළිගැනීම්, සියදිවි හානිකර ගැනීම්, දුරාචාරයට යොමුවීම්, අපේක්ෂා භංගකරගැනීම් වැනි වැරැදි තීරණවලට නොඑළඹී ජීවිතය අර්ථවත් කර ගත හැකි ය. අවසාන වශයෙන් කිවහැක්කේ පිරිහීම් අවම කොට ගෙන උපරිම කාලයක් මනුෂ්‍ය ලෝකයේ ජීවිත් විය හැකි නම් අප සාර්ථක ජීවිතයක් ගතකළා බවට පත්වෙන බවයි.

ජීවිතයක් සාර්ථකද, අසාර්ථකදැයි තීරණය වන්නේ ධනවත්කම හෝ බලවත්කම හෝ නිසා නොව ඔහු හෝ ඇය ජීවිත අභියෝගවලට මුහුණ දී ඇත්තේ කෙසේද යන්න අනුව ය. ලෝසක තෙරුන්, අංගුලිමාල, පටාචාරා, සුප්‍රබුද්ධ, සුනීත, සෝපාක, කුණ්ඩලකේසී, රජ්ජුමාලා පමණක් නොව යශෝධරාව පවා අසීරු ජීවිත ගතකළ අයයි. එහෙත් මේ සෑම කෙනෙක් ම අවසානයේ ජීවිතය සාර්ථක කොටගත් අය හැටියට බෞද්ධ ඉතිහාසයට එක්වී ඇත.

බුදුන් වහන්සේ මේ අයට පිහිට වන්නට තීරණය කොට ඇත්තේ ඔවුන්ගේ ලොකු මහත්කම් දෙස බලා නොව අතීත ආත්මයන්හි ඔවුන් හැසිරී ඇති ආකාරය දෙස නුවණින් බැලීමෙනි . උපතිස්ස කෝලිත දෙදෙන ඈත තියාම දැක බුදුන් වහන්සේ වදාළේ මේ අය ඉදිරියේ දී තමන්ගේ අග්‍රශාවකයන් වන බවයි. දේවදත්තගේ ක්‍රියාකලාපය අනුව ඔහු නිරයට යන බව කිව හැකි විය.