Print this Article


ශාසනික වශයෙන් අනුස්මරණීය වූ නවම් පුර පසළොස්වක

ශාසනික වශයෙන් අනුස්මරණීය වූ නවම් පුර පසළොස්වක

" ඒ මොහොතේ ආනන්ද හිමියන් වහන්සේට මාරයා ආවේශ වී සිටි බැවින් කිසිවක් නොවැටහුණි. එබැවින් බුදුන් වහන්සේට කල්පයක් වැඩ සිටින්නැ’යි ආරාධනා කරන්නට අමතක විය."

අද නවම් පුරපසළොස්වක පොහොය දිනය යි. බුද්ධ ශාසනයේ මෙවන් පොහෝ දිනක දී ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීම් කිහිපයක් සිදු වී ඇත.

1. බුද්ධ ශාසනයෙහි ප්‍රථම මහා සංඝ සම්මේලනය රජගහනුවර වේළුවනාරාමයේ දී පැවැත්වීම.

2. සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා සම්බුදු සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලැබීම.

3. ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම.

4. බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය අත් හැරීම.

යනු එකී වැදගත් සිද්ධි කිහිපයකි. මෙනිසා බෞද්ධයන් හට මෙම නවම් පොහොය දිනය ශාසනික වශයෙන් අනුස්මරණීය දිනයකි.

ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව

අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රධානයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු මහා සංඝයා විෂයයෙහි ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන ලදී. ඕවාද යනු අවවාද යන්නයි. බුද්ධත්වයෙන් මුල් විසිවස අවසන් වන තුරු ශ්‍රාවකයන් හට විනය ශික්ෂාපද පැනවීමට හෙවත් ආණා ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමට තරම් ප්‍රබල වරදක් සංඝයාගෙන් විද්‍යමාන නොවී ය. එබැවින් සංඝයාගේ හික්මීම පිණිස ඕවාද හෙවත් අවවාද ප්‍රාතිමෝක්ෂය පමණක් ප්‍රමාණවත් වුණි. මෙහි දී අවවාද ප්‍රාතිමෝක්ෂය යනුවෙන් හැඳින්වෙන්නේ සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවයි.

ඛන්තී පරමං තපො තිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහී පබ්බජිතෝ පරූපඝාති
සමනෝ හොති පරං විහේඨයන්තෝ

සබ්බ පාසස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං

අනූපවාදෝ අනූපඝාතෝ
පාතිමොක්ඛේ ච සංවරෝ
මත්තඤ්ඤුතා ච හත්තස්මිං
පන්තඤ් ච සයනාසනං
අධිචිත්තේ ච ආයොගො එතං බුද්ධාන සාසනං

(ධම්මපදය, බුද්ධ වග්ගය)

ඉවසීම් සංඛ්‍යාත ක්ෂාන්තිය ඇති තපස උතුම් ය. ක්ෂාන්ති ලක්ෂණ නිර්වාණය උත්තමය යි සියලු බුදුවරු වදාරති. අනුන් දිවි නසන තැනැත්තේ පැවිදි නම් නොවෙයි. අනුන් පෙළන තැනැත්තේ මහණෙක් නම් නොවෙයි.

කායාදී ද්වාරත්‍රයයෙන් සිදුවන්නා වූ ප්‍රාණඝාතාදි සියලු අකුසල කර්ම නොකිරීම ද, සියලු ලෞකික ලෝකෝත්තර කුසලයන් ඉපදීම ද, උපදවන ලද කුසලයන් වැඩීම ද පඤ්ච නීවරණයන් කෙරෙන් සිත පිරිසුදු කිරීම ද යන මේ කරුණු සියලු බුදුවරයන්ගේ අනුශාසනාවයි.

ජාත්‍යාදීන් පරහට ආක්‍රෝෂාදී වශයෙන් වචනයෙන් උපවාදයක් නොකිරීමත්, පාණී ප්‍රහාරාදී වශයෙන් පරහට කයින් උපඝාතයක් නොකිරීමත් ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය මනාව රැකීමත්, ආහාරයෙහි මාත්‍රඥතාවත් (ආජීව පාරිශුද්ධිය) ජනවිචික්ත වූ ප්‍රාන්ත සේනාසනයන්හි ඇලීමත්, සමථ විපස්සනා භාවනාවන්හි නිතර යෙදීමත් සියලු බුදුවරයන්ගේ අනුශාසනායි.

මුල් විසිවස තුළ රහතන් වහන්සේ බහුල වූ හෙයින් වැරැදි අඩු විය. එබැවින් මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණක් ප්‍රමාණවත් විය. බුදුරජාණන් වහන්සේලා දීර්ඝායුෂ්ක හා අල්පායුෂ්ක වශයෙන් දෙ කොටසකට බෙදිය හැකි ය. ඒ අනුව අප ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු අසූවක් පමණක් වැඩසිටි බැවින් අල්පායුෂ ඇති බුදුන් වහන්සේ නමකි. දීර්ඝායුෂ්ක බුද්ධ ශාසනයෙහි ශාසනාන්තර්ධානය දක්වා ම ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරනු ලැබේ. එහෙත් අල්පායුෂ්ක ශාසනයෙහි ඕවාද ප්‍රාතිමෝක්ෂය මුල් අවුරුදු විස්සේ දී පමණක් දේශනා කෙරේ. සංඝයා ගණනින් වැඩි වීමත් සමඟ වැරැදි සිදුවීම් බහුල වේ. එබැවින් විනය ශික්ෂා පද පනවමින් මුල් විසිවසෙන් අනතුරුව ආණා ප්‍රාතිමෝක්ෂය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී.

ආයු සංස්කාරය අත්හැරීම

ආයු සංස්කාරය අත්හැරීම යනු ‘අසවල් දිනයේ දී පිරිනිවන් පාන්නෙමි’ යනුවෙන් නිශ්චිත වශයෙන් කාලය සීමා කර ගැනීමයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තීරණය කළේ හෙවත් ආයු සංස්කාරය අත් හැරියේ ද අද වැනි පොහෝ දිනක දී ය. අගසව් දෙනමගේ පිරිනිවනින් අනතුරුව ශාන්තිනායකයාණන් වහන්සේ ආනන්ද හිමියන් සමඟ චාපාල චේතිය වෙත වැඩම කළහ. එහි දී විවේකී සුවයෙන් වැඩ හුන් බුදුන් වහන්සේ ආනන්ද හිමියන් අමතා “ආනන්දය, සතර ඉද්ධිපාද වැඩූවන්ට කැමති නම් ආයුෂ්කල්පයක් වැඩ සිටිය හැකි යැ”යි වදාළහ. තෙවරක් ම මෙය වදාළ නමුත් ඒ මොහොතේ ආනන්ද හිමියන් වහන්සේට මාරයා ආවේශ වී සිටි බැවින් කිසිවක් නොවැටහුණි. එබැවින් බුදුන් වහන්සේට කල්පයක් වැඩ සිටින්නැ’යි ආරාධනා කරන්නට අමතක විය. ඉක්බිති මාරයා අවුත් බුදුන් වහන්සේට පිරිනිවන් පානා ලෙස ආරාධනා කළේ ය. එවිට බුදුරජාණන් වහන්සේ මාරයා හට ‘තව තෙමසකින් පිරිනිවන් පාන්නෙමි.’ යි වදාළහ. ඒ මොහොතෙහි මහපොළොව කම්පා වූයේ ය. සිහි එළවා ගත් අනඳ හිමියන් ඒ පිළිබඳ බුදුරදුන්ගෙන් විමසූ විට තථාගතයන් වහන්සේ ආයු සංස්කාරය හළ බව අසා තව කාලයක් වැඩ සිටිනු මැනවැ’යි ආරාධනා කළමුත් බුද්ධ වචනයෙහි වෙනසක් නොමැති හෙයින් බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට තීරණය කළහ. ඉක්බිති තථාගතයන් වහන්සේ ඉදිරි තෙමස තුළ ද ධර්ම චාරිකාවෙහි හැසිරෙමින් ලෝකසත්වයා සනසමින් වැඩ හිඳ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනයේදී මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සාල වනෝද්‍යානයේ දී පිරිනිවන් පා වදාළහ.

මෙලෙසින් සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂී සිදුවීම් කීපයක් මෙම නවම් පුරපසළොස්වක් පොහෝ දා සිදු වී ඇත. පුරා පන්සාළිස් වසරක් මුළුල්ලේ ලෝක සත්වයා සනහාලමින් ධර්ම චාරිකාවෙහි යෙදුණු සම්බුදුරජාණන් වහන්සේ ඒත්තු ගන්වන්නට යෙදුණේ “වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ” (සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු ය. නොපමාව කුසල් දහම් වඩව්) යන්නයි. එබැවින් බුද්ධ ශ්‍රාවකයන් හැටියට සෑම බෞද්ධයකුගේ ම ප්‍රාර්ථනය විය යුත්තේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි. එහෙයින් මෙම පොහොය දිනයේ දී පින්වත් ඔබගේ කුසල් දහම් වර්ධනය වේවා! සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිවනින් සැනසෙත්වා! සාධු සාධු සාධු.....!!!