Print this Article


දඹදිව වන්දනාවේ යෙදෙන සැදැහැවතුන් ලියාපදිංචි වන්දනා සංචාරක ආයතනයක් මගින් වන්දනාවේ යෙදෙන්න

දඹදිව වන්දනාවේ යෙදෙන සැදැහැවතුන්

ලියාපදිංචි වන්දනා සංචාරක ආයතනයක් මගින් වන්දනාවේ යෙදෙන්න

දඹදිව වන්දනාවට ඉන්දියාව බලා පිටත්වන බැතිමතුන් වෙනුවෙන් සහන මිලකට ගුවන් ටිකට්පත් ලබා දීමට කටයුතු සලසා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයේ සභාපති රෝහිත සිරිවර්ධන මහතා අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයෙන් පසුගිය දා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ බව පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

ශ්‍රී ලංකා ගුවන් තොටුපළ බද්ධ 100% කින් වැඩි වී තිබෙනවා. මෙවැනි කාරණා නිසා සංවිධායකයන් දැඩි අපහසුතාවට පත් ව තිබෙනවා. දඹදිව වන්දනාවට ශීඝ්‍රයෙන් ඉහළ යන ගුවන් ටිකට් පත්‍රයට රාජ්‍ය මැදිහත් වීමෙන් සහන මිලක් ලබා දිය යුතුයි. එසේ නොවුවහොත්, දඹදිව සංචාරක ව්‍යාපාරය කඩා වැටීමට ඉඩ තිබෙනවා.

ශ්‍රී ලාංකික බෞද්ධයන්ට නිවැරැදිව දඹදිව වන්දනාවේ යෙදෙන්නට, අඩු මුදලට දඹදිව වන්දනා කිරීමට යෑමෙන් තම සිතැඟි පරිදි එම කටයුත්ත සිදු කිරීමට නොහැකියි. අප සංගමය වසර 25 ක් පැරැණි සංගමයක්, දඹදිව යන්නේ කොහොමද කියා ශ්‍රී ලාංකිකයන්ට කියා දීම අපේ යුතුකමක්. අපේ සංගමයේ නිවැරැදි මඟ පෙන්වන්නන් සිටිනවා. මෙහි සාමාජිකයන් 200 කට ආසන්න පිරිසක් සිටිනවා.

දිනෙන් දින ඉහළ යන මිල ගණන් සමඟ වර්තමානයේ දඹදිව සංචාරක කර්මාන්තය ඉමහත් අර්බුදයකට පත්ව තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව ලෙස ගුවන් ටිකට් පත්වල මිල ඉහළ අගයක් ගැනීම, ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දී ඇති ගුවන් බලපත්වල නව මිල ගණන් සංශෝධනය හා අමෙරිකන් ඩොලරයේ මිල ඉහළ යෑමෙන් ඉන්දියාවේ සංචාරක ගමන් සංවිධානය කිරීමේ පිරිවැය ඉහළ ගොස් තිබෙනවා. මෙවැනි කරුණු මධ්‍යයේ ග්‍රාමීය මට්ටමේ සංචාර සංවිධානය කරමින් සිටින බව සංගමයට වාර්තා වී තිබෙනවා.

මෙවැනි ආර්ථික පසුබිමක් තුළ අඩු මිලට දඹදිව යෑම යනු ව්‍යාජ ප්‍රචාරයක්. මෙහි දී නියමිත මුදල් ප්‍රමාණයක් නොමැතිව දඹදිව සංචාරවලට සම්බන්ධවීමෙන් ඉන්දියාවේ දී මහත් අර්බුද රැසකට මුහුණ දීමට සිදු වෙනවා. එනිසා අඩු මිලට දඹදිව සංචාර යෝජනා කරන සංවිධායකයන්ගෙන් ප්‍රවේශම් විය යුතු යි. බොහෝ විට මෙරටින් දඹදිව යන්නේ වැඩිහිටියන්. ඔවුන්ට නිසි ආරක්ෂාව සලසා දීම අපේ යුතුකමක්. ඒ වගේම වගකීමක්.මව්පියන් දඹදිව යවද්දී දරුවන්ට වගකීමක් තිබෙනවා. මොන වගේ සංවිධානයක් සමඟ ද යවන්න ඕන කියලා. ඒකට හේතුව තමයි මවුපියන් ගමන ආරම්භයේ සිටම අසරණ වෙනවා. ගුවන් තොටුපළට ගියාම අපේ රටේ ඈත ගම්වල මව්පියන්ට නිසි ගෞරවයක් හිමි වන්නේ නෑ. ඒ නිසා අපි ඔවුන්ව නිතරම යවන්න උත්සාහ කරන්න ඕන අපේ ශ්‍රී ලන්කන් ජාතික ගුවන් සේවයෙන්. එහි දී මේ මව්පියන්ට වතුර උගුරක්වත් ඉල්ලා ගැනීමට අපේ ම භාෂාව කතා කරන අය සිටින නිසා. ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයේ ලේකම් රංගනාත් කරුණාදාස, භාණ්ඩාගාරික ජයසිරි කෝට්ටේගොඩ, ප්‍රධාන සංවිධායක හර්බට් විජේතුංග සහ ප්‍රචාරක ලේකම් සමීර බණ්ඩාර මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.