Print this Article


දඩබ්බරකමට එපා පව් කරන්න

දඩබ්බරකමට එපා පව් කරන්න

පින්වත් දරුවනේ, සිත දූෂණය කරගෙන, සිත නරක් කරගෙන සිදු කරන සෑම ක්‍රියාවකින් ම අකුසල් සිදුවෙනවා. ඒවායින් ලැබෙන විපාක අතිශයින් ම ඝෝරයි. කටුකයි. අමිහිරියි. එවැනි විපාක ලැබෙන, වැරැදි කරන හැම කෙනෙක් ම මිය ගිහින් උපදින්නේ දුක් ම වැඩියෙන් ඇති, සැප අඩුවෙන් ම ඇති සතර අපායේ. සතර අපාය හැටියට හඳුන්වන්නේ නරකාදියයි. නිරය කියන්නේත් ඒ අපායටමයි.

දරුවනේ, නිරය එකසිය තිස් හයකට බෙදා තිබෙනවා. ඒ එකම නිරයකවත් අසුරුසනක් ගසන කාලයක් තරම්වත් සැපයක් නම් නෑ. ඉතින් එකසිය තිස්හයක් තිබෙන නිරයන් අතර අපාය අටක් ප්‍රධාන වෙනවා.

අටමහා නරකය කියන්නේ එයටයි. මේ අටමහා නරකයේ ඉන්නා නිරි සතුන් නිතරම ගින්නෙන් දැවෙනවා.දැවි දැවී පිච්චෙනවා. වෑ පොරෝ ආදී ආයුධවලින් ශරීරය කැපී යනවා. ගිනියම් වූ යම පොළවට තබා යකඩ උල්වලින් පහර දෙනවා. ගිනියම් කළ යකඩ ගුලි ගිල්වනවා. එහාට මෙහාට පෙරළෙන පර්වතවලට යට කරනවා. යකඩ හොට ඇති කපුටන්, ගිජු ලිහිණියන් ආදී සතුන් ශරීරයේ මාංශ කඩාගෙන අනුභව කරනවා. යම පල්ලන් විසින් මුගුරුවලින් පහරදෙනු ලබනවා. ඒ විතරක් නොවෙයි දරුවනේ, ගවයින් වගේ කරත්තවල ගැට ගසා මහා බර අද්දවනවා.දැලි පිහිවගේ කැපෙන තණ කොළ, කඩු වගේ කැපෙන පත්‍ර තිබෙන ගස් ඇති ප්‍රදේශවලට රැගෙන ගොස් ශරීරයම කැපීයන තුරු එහාට මෙහාට ඇවිදවනවා. ශරීරය කැපී මාංශ කැබලි එල්ලෙනවා. ඊට පස්සේ ලුණු රස තිබෙන කරදිය ගංගාවන්ට ඇද දමනවා. ‘පුවක් ගස්, පොල් ගස්, කිතුල් ගස් වගේ මහා දඬුවලින් මේ අපායේ දුක් විඳින නිරි සතුන්ගේ ශරීරය විදගෙන යනවා.මුළු ශරීරයම කා දමන්නේ ලෝහ වැනි තුඩ තිබෙන පණුවන් විසින්. ඒ විතරක්ද? යම පල්ලන් විසින් මේ නිරි සතුන් අසූචි වළවලට ඇද දමනවා.

දරුවනේ, මේ සඳහන් කළේ නිරයේ විඳින මහා දුක් කන්දරාවෙන් ස්වල්පයක් පමණයි. දැන් අපි අටමහා නිරයට යන්නට කරන අකුසල් ගැන දැන ගනිමු.

සංජීවය නරකය

සංජීවය නරකය කියන නිරයේ උපන් අය ගිනියම් වූ පොළොවේ පෙරළ පෙරළා, කැබලි කැබැලිවලට කපා දැමූවත් ඒ නිරි සතුන් කර්ම බලයෙන් නැවත ජීවත් වෙනවා. නැවත නැවත උපදිනවා. ඒ නිසයි ‘සංජීවය’ කියන්නේ. ඉතින් දරුවනේ, මේ නරකයේ උපදින්නේ අධික තරහවෙන්, මාන්නයෙන් සිටින, අනෙක් අය සමඟ කල කෝලාහල කරන, රණ්ඩුවෙන, සත්ව ඝාතනය කරන, දුර්වලයන්, බාලයන් පෙළන රජවරු සහ රාජ්‍ය නිලධාරීන් වගේ අයයි.

කාල සූත්‍ර නරකය

මෙහි උපදින නිරි සතුන් ගිනියම් වූ යම පොළොවේ පෙරළා දැලි නූල් ගසා වෑ වලින් රහිනවා. ඒ නිසා තමයි කාල සූත්‍රය කියන්නේ. දරුවනේ, මෙහි උපදින්නේ අම්මාට, තාත්තාට ගහන අම්මට තාත්තට බනිණ, අම්මා තාත්තා ඝාතනය කළ තමන්ගේ මිතුරන්ට අපරාධ කළ, මිතුරන් රැවටූ අයයි. ඒ විතරක් නොවෙයි. ගුණවත් ස්වාමීන් වහන්සේලාට අපහාස කළ, පන්සල් විනාශ කළ, බුදුපිළිම වහන්සේ කඩා බිඳ දැමූ, බෝධීන් වහන්සේගේ අතු කැපූ, කඩා බිඳ දැමූ අයයි.

සංඝාත නරකය

මේ නරකයෙහි උපදින නිරි සතුන් යොදුන් නවයක් ඝනකම ඇති පොළොවෙහි එරී නිශ්චලව සිටිනවා. එවිට මුළු අහසම ගුගුරවනවා වගේ මහා හඬ නංවමින් ඒ නිරි සතුන් අඹරවමින් විශාල පර්වත ඒ මේ අත පෙරළෙනවා. ඒවාට යට වී ඔවුන් සුනු විසුණු වෙනවා. දරුවන් දන්නවාද? මේ නරකයේ උපදින්නට හේතුව, ඇත්, අස්, ගව ආදී සතුන්ට, කූඩුවල ඉන්නා සතුන්ට නිදහසේ ඉන්නට නොදී වධ දෙමින් වැඩ ගන්නා අය මේ නිරයෙහි උපදිනවා. ඒ වගේම සත්ත්ව ඝාතනය කරන අයට, සතුන්ට හිරිහැර කරන අයට යන්නට වෙන්නේත් සංඝාත නරකයට ම තමයි. ඔන්න ප්‍රවේශම් වෙන්නට ඕනෑ. දඩබ්බරකමට මේ වගේ පව් කළොත් ලැබෙන දඬුවම් පෙනෙනවා නේද?

ඉතිරි නිරයන් පිළිබඳව තොරතුරු අපි එළඹෙන නවම් අටවක පෝදා (26) බුදුසරණ පුවත්පතේ ‘බෝසත් දරුවන්ට’ ලිපි පෙළෙන් දැන ගනිමු.