Print this Article


හැඳීන වඳීමු මහ රහතුන් නිකෙලෙස්

හැඳීන වඳීමු මහ රහතුන් නිකෙලෙස්

" ස්පර්ශ වූ තැන වන මුඛයක් බවට පත්වන පතොක්, කටුපිල වැනි ගස් වර්ග වැවෙන මිහි මත, පිපෙන හතු, රස නහර පිනවන ආහාරයක් වන්නේ පසෙහි වූ විශේෂ ගුණයක් නිසාවෙන් නොවේ. වපුල බීජයෙහි ඒ රසදායක ශක්තිය ඇති බැවිනි. එලෙසින්ම සිතක වැඩෙන අශෝභන සිතිවිලි ධාරාව මගින් පුද්ගලයෙකුගේ හද සන්තානය විසම වන්නේ ද, සෝභන - ශාන්ත හැඟීම් සමුදාය හේතුවෙන් පාරිශුද්ධ වන්නේ ද, සිතෙහි වූ විශේෂ ගුණයක් නිසාවෙන් නොවේ."

චෛතසික ශක්තීන්ගේ අසමාන සංයෝගය පදනම් කරගෙන ය. ඒ අනුව නොකිලිටි මනසක් බලාපොරොත්තු වන තැනැත්තා විසින් අඳුරු සිතුවිලි හැරදමා සුප්‍රබුද්ධ කල්පනාවන්ගෙන් යුක්තව, විරාගීව, වීතදෝසීව මුලාවෙන් නිදහස්වීම උදෙසා තම කල්පනාව මෙහෙයවා ගත යුතු ය.

අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ යනු මායාවී මනෝපවිචාරයන්හි අක්මුල් සිඳ හෙලමින් දුර්දාන්ත වූ සිතිවිලි නිවා, හද සන්තාප ඉවත් කළ අභිනව මහා මුනි වරයාණෝ ය. ඉන් පසුව ඛේදංගත ලෝ සතුන්ට ඒ සුදම් අමා ඔසු පොවා එමගින් පැහැබර වූ සිත් මලේ විමුක්ති සුගන්ධය කසාවත් ධර බුදු පුතුන්ගේ හද සුමුඟෙහි බහාලමින් දේශ දේශාන්තරයෙහි පැතිරවූහ. කෙලෙස් බර බිම තබා නිවන් සුව හද දරා දස දිග වැඩම කළ ඒ රහතන් වහන්සේලා ඒකාන්තයෙන් සැපවත් වූවෝ ය. තණ්හාව ද, අස්මිමානය ද, මෝහ ජාලය ද පදාලනය කළහ. සිතේ කැළඹීම් රහිත, ලෝකයෙහි නොනැගෙන - නොපැටලෙන සැහැවි ඇති ඒ රහත්හු ගිම්හානයෙහි වට වැස්සක් සේ ඇවිලගත් සිත් සතන් නිවාලූහ. පඤ්චස්ඛන්ධය පිරිසිඳ අවබෝධ කොට, ප්‍රශංසා කළ යුතු සත්පුරුෂයන් බවට පත් වෙමින් බුදුරදුන්ගේ ලයෙහි උපන් දරුවෝ වූහ.

බුදුරදුන් වදාළ පරිදි මහා රහතන් වහන්සේ කිසි ලෙසකින් වෙනස් නොවන ධර්මතා සතක ඉන්ද්‍රඛීලයක් සේ පිහිටි සේක. ඒ අතර පළමු වැන්න ශ්‍රද්ධාවයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත ආදරයක්, ගෞරවයක් ඇතිව වෙසෙන ඒ ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා බුදු සිරිපා නමදින සේක් දණ මඩුලුවල පටන් මුලු සිරිපාදයම සිඹ සිඹ මල් ඇත්තේ නම් එකිනෙක පුදා සියල්ලන්ට ප්‍රථමයෙන් වන්දනා කරන සේක. ඒ අනුව බුදුන් නොවඳීන රහත්හු ලොව කිසි ලෙසකින්වත් සිටිය නොහැක. සෝවාන් ආදී සෙසු මගඵල ලාභීන්ටත්, මිනිසුන්ටත්, දිව්‍ය බ්‍රහ්මයන්ටත් වඩා බලවත් වූ ද, නොසිඳෙන උල්පතක් බදු වූ ද බුද්ධ ගෞරවය ඇති බව මහ රහත් ගුණයකි.

අනුමාත්‍ර වූ ද, පාපයට ලජ්ජා වන ස්වභාවය හිරිය නමිනුත්, බියවන ස්වභාවය ඔත්තප්පය නමිනුත් වදාරා ඇත. ඒ ධර්මතා යුගලය රහතන් වහන්සේගේ ජීවිතයෙහි සෑම නිමේෂයකම එළැඹ පිහිටන බැවින් ඒ උතුමන් වහන්සේ රහසින් හෝ, එළිපිට හෝ කිසිදු පාපයක් නොකරන සේක. ගමනින් ශාන්තව, පැවැත්මෙන් සංවරව සෑම ඉරියව්වක් ම පරම වූපසමයකින් යුක්ත වන්නේ ය. නිග්‍රෝධ රහතන් වහන්සේ කුඩා සාමණේර නමකි. දිනක් ධර්මාශෝක රජුගේ රාජාංගණයෙන් වැඩම කරන සේක් උඩුමහල් තලයේ සිටි රජතුමා විසින් දක්නා ලදී. වර්ෂ ගණනක් සිදුකරන ලද කුරිරු යුද්ධයෙන් ඇළලී ගිය සිතක් ඇතිව; සිදු වූ මිනිස් ඝාතනයන් ගැන පසුතැවිලි වෙමින් හුන් රජුගේ චිත්ත සන්තාප මුලුමනින්ම නිවා දමන්නට ඒ දසුන හේතුවිය. අනතුරුව රජ මැදුරට වැඩම කරවා ගෙන සිංහාසනයෙන් පූජා කොට ඇසූ බණ පදයෙන් ලැබූ අස්වැසුම කෙතරම් ද යන වග ධර්මාශෝක රජුගේ ශාසන මෙහෙවරින් වටහාගත හැකි ය.

බුද්ධ පුත්‍ර වු ඒ රහතන් වහන්සේලා සතුරන්ය, මිතුරන්ය කියා හෝ පොහොසතුන්ය, දුප්පතුන්ය කියා හෝ කුලවතුන්ය, කුලහීනයන්ය කියා හෝ කිසිදු පුද්ගලයෙකු ප්‍රමාණ නොකරන අතර සියල්ලන්ම සංසාර දුක්ඛයෙන් දුක්ඛිත වූවන් ලෙස සලකා පිහිට වන සේක. සම සිතින් දම් දෙසන සේක. මහා කාශ්‍යප රහතන් වහන්සේගේ චරිතාපදානය මෙහිලා දෘෂ්ඨාන්තයකි. සක් දෙව් රජතුමා ඇතුලු දෙව් පිරිස විසින් දානය පූජා කිරීමට මග බලා සිටියදී අසරණ ලාදුරු රෝගියා දුන් බත් පාත්‍රයට ගැලවී වැටුණ සැරව මිශ්‍ර ඇගිලි පුරුක ඉවත් කොට ඔහුට පෙනෙන ලෙස වළඳා එපමණින්ම සැහීමකට පත්වූ සැටි සිහිකිරීම මගින් සැබෑ රහතන් වහන්සේ හඳුනා ගැනීමට හැකිවේ. රහත් වීමට ප්‍රථමයෙන් එතරම් දැන උගත්කමක් නොතිබුණද කෙලෙසුන් නැසීම තුළින් ලද ආනුභාවයක් ලෙස ඉතා උසස්, ජීවිතාවබෝධයක් ලබන ලදුව ඕනෑම පිරිසක් ඉදිරියේ විශාරදව කථා කිරීමට, දම් දෙසීමට, පැණ විසඳීමට තරම් බහුශ්‍රැත බවක් බොහෝ සෙයින් රහතන් වහන්සේලාට පහළ වේ. එය රහතන් වහන්සේ හඳුනා ගත හැකි සතරවන කාරණයයි. කිසිදු අයුරකින් ක්ෂීණාශ්‍රවයන් වහන්සේගේ ප්‍රකාශයක් බුදුන් වදාළ ධර්මයට පටහැනි නොවේ. අක්ෂරයකින්වත් ධර්මාර්ථයන්ට විශදෘෂ නොවන පරිදි මගඵල ලාභීහු ධර්මය ප්‍රකාශ කරති. තමන්ගේ බාහිර උගත්කම්, හැකියාවන්, ශිල්ප ඤාණ, කලා කුසලතා, සහජ තත්වයන්, දේශපාලන මති මතාන්තර ආදී ලෞකිකත්වය තුළ පුරසාරම් දොඩන්නෝ රහත්හු හෝ මගඵල ලාභීහු හෝ නොවෙති. යටත් පිරිසයින් කල්‍යාණ පෘථග්ජන භික්ෂුව ද උක්ත අවිෂයන්හි නොලැග සිටීමට වගබලා ගනියි.

රහතන් වහන්සේගේ ජීවිතයේ ඇති සතිමත් භාවය ඒ උතුම් ජීවිතයෙන් කැපී පෙනෙන පස්වන කරුණයි. පමණ සහ විනය උල්ලංඝනය කොට කෙරෙන ගිහි - පැවිදි ඇසුර නිසරු ලෙස දක්නා ඔවුන් සැතපෙන කාලය හැර සෙසු අවස්ථා ගත කරන්නේ සතර සී වටන්හි යොමුකළ මනසිකාර ඇතිවමය. ඒ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ ඔවුනොවුන්ට අපවාද නගන්නෝ, දොස් පවරන්නෝ, වාදය පිණිස ධර්මය කියන්නෝ රහත්හු හෝ රහත් මාර්ගයට පිළිපන් අය හෝ මගඵල ලාභීහු නොවෙතියි යන්නයි.

පඨවීසමො නො විරුජඣති
ඉන්දඛීලූපමො තාදි සුබ්බතො
රහදොව අපෙත කද්දමො
සංසාරා න භවන්ති තාදිනො

යන මෙය බුදු මුවින් රහතන් වහන්සේ ගැන වදාළ දෙසුමකි. ඒ අනුව රහතන් වහන්සේ සෑම කල්හි, මහා පොළොවට මළ මුත්‍රා බහාලන්නේ නමුදු, සුවඳ මල් පෙති විසුරුවන්නේ නමුදු කිසිවෙකු හා හාද වීමක් හෝ විරුද්ධ වීම නැතිව සියල්ල සම සිතින් ඉවසන සේක. අෂ්ට ලෝක ධර්මයෙන් අකම්පිත වන සේක් ඉන්ද්‍රඛීලයක් මෙන් සියල්ල අභිබවනය කරන සේක.

රොන් මඩ නොමැති විලක් කලතා අපිරිසුදු කළ නොහැක්කා සේ රහත් මුනිවරු කෝප ගැන්විය නොහැක්කෝ ය. ලැබෙන චීවරයකින්, කුස පිරෙන බොජුනකින්, රුක් මුලක, ගල් ලෙනක සෙවනකින් යැපෙමින් බ්‍රහ්මචරිය වාසයෙහි නොතිත්ව කල් ගෙවන්නෝ බුදුරදුන් විසින් මනු ලොවට දායාද කළ රහතන් වහන්සේලා පමණි. නොපනත්කම් හපන්කම් ලෙස සලකන ඇතමුන්ට රහතන් වහන්සේලාගේ ගුණ සුවඳ මකා දැමීමට හෝ රහත් ගුණ තමා කෙරෙහි ආරෝපණය කරගැනීමට එතරම් කාලයක් ගත නොවේ. දහමෙන් ලැබෙන රක්ෂණාවරණ ගුත්තිය හෙවත්, සතර සතිපට්ඨානයෙහි සිත හැසිරවීමෙන් ලැබෙන සැහැල්ලු පැවතුම් වලින් යුතු ජීවන සුවය මොහොතක් වත් නොවිඳී ගිහි - පැවිදි දෙපිරිසටම රහතන් වහන්සේලා ගැන කියාදීම විහිළුවකි.

‘ආරද්ධ විරියතා’ යනු විශුද්ධි දේව රහතුන් ගැන වදාළ සවැනි කරුණයි. එනම් අරඹන ලද වීර්යයෙන් යුක්ත බවයි. රහතන් වහන්සේට අමුතුවෙන් සාදාගත යුතු නිවනක් නැත ද, අමුතුවෙන් දුරුකළ යුතු ක්ලේශයක් නැත ද පෙර සේඛ භූමියෙහි දී මගඵල පිණිස යම් මානුෂීය වූ ද කායික වූ ද වැර වෑයමක් ගත් සේක් නම් අරිහත් ඵල ප්‍රතිවේදයෙන් පසුව ද එලෙසින් ම වීර්යය පවත්වන සේක. එය සැබවින්ම විශ්මිත කරුණකි. ඇතැම් රහතන් වහන්සේලා වර්ෂ ගණන් සැතපෙන ඉරියව්ව හැර සෙසු තුන් ඉරියව් වලින් විමුක්ති සුව විඳීමින් කල් යවති. එය එසේම ය. සැරියුත් - මුගලන් ස්වාමීන් වහන්සේ වර්ෂ තිහක් ද, අනුරුද්ධ තෙරුන් වර්ෂ පණස් පහක් ද, බක්කුල තෙරුන් වර්ෂ අසූවක් ද, නාලක තෙරුන් පිරිනිවෙන තුරු ද ඇඳක පිට නොතබා කල් යැවූ බව සක්ක පඤ්හ සූත්‍ර වර්ණනාවේ සඳහන් වේ. එබැවින් ලෝකයේ වැඩ සිටි වීර්යවන්තම පිරිස රහතන් වහන්සේලා බව කිව යුතු ය.

මෝහ ඇඳීරිය දුරු කොට ප්‍රඥා චක්ෂුසින් ලොව දකින බව හත්වැනි මහා රහත් ගුණයයි. රූපාදී අරමුණක් විෂයයෙහි කිසිදු ක්ලේශයක් හට නොගන්නා ලෙසත්, සිත පැවැත්වීමේ හැකියාව පරිපූර්ණ වශයෙන් ලැබෙන්නේ අරිහත් ඵල විමුක්තියෙනි. කාමාදී ලෝකත්‍රය විෂයෙහි මෝහනීය බව ඇති තාක් ඔහු සදොස් පුද්ගලයෙකි. අඩුවැඩි වශයෙන් අවුල් වියවුල් ඔහුගෙන් බලාපොරොත්තු විය යුතුමය. එහෙත් සව් කෙලෙසුන් නැසූ උතුමන්ගෙන් කුහුඹුවෙකුටද වන අනතුරක් නොමැත. අනෙක් අතට රහතන් වහන්සේගේ මෙත් සිතෙහි ශක්තිය පැතිරවීම මගින් වන්නේ සියල්ලන්ටම නවෝදයකි. උන්වහන්සේලාගේ කරුණාවට පාත්‍ර වූ දෙවියාද, මිනිසාද, තිරිසනාද, යන සෑමදෙනාම අපමණ අස්වැසුමක් ලැබූ බව ථේර ථේරී ගාථාවන්ගෙන් ප්‍රකට වේ. රහතන් වහන්සේලා අසංවර වචනය හෝ ක්‍රියාව නිසා කිසිවකුගේ හෝ දෝෂ දර්ශනයට ලක් නොවෙති. එබඳු කාය වාග් ප්‍රගල්බ මුලිනුපුටා දමා හුදෙකලාවක, නිහැඬියාවක, මිහිර විඳීන ඒ උතුමෝ වස්ත්‍ර, ආහාරපාන, බෙහෙත් රැස් නොකරති. යාන වාහන, වතු කුඹුරු, ගෝල බාලයන් වගේම තනතුරු තාන්න මාන්න පිටුපස ද කිසි ලෙසකින්වත් නොයති. ‘සන්තං තසස මනං හොති - සන්තවාචාච කම්මච’ සංවර වූ සිත ඇති රහතන් වහන්සේගේ වචනය සහ කය සංවර වීම පුදුමයක් නොවේ. සිතේ හැසිරීම ප්‍රකට වන්නේ පුද්ගලයෙකුගේ වචන සහ කායික ක්‍රියාකාරකම් - ඉරියව් පැවැත්වීම් ආදියෙනි.

සප්ත බොජ්ඣංග නම් වූ සප්ත රත්නයන්ගෙන් යුක්ත ත්‍රි ශික්ෂාවන්ගෙන් ලැබූ ඤාණය ඇති සංයමීන්ට ජන සමාජය තුළ කැපී පෙනීමේ ආශාවක් නොමැත. තම ජීවිතයේ පුද්ගලිකත්වයන් බුදු බණ හා මිශ්‍ර කොට පවසන්නට යාමෙන් පරියත්ති ශාසනයට වන බලපෑම ගැන හොඳීන්ම දන්නේ රහතන් වහන්සේලා මගඵල ලාභීහුය. එබැවින් ඔවුහු සූත්‍රයද, විනයද අභිධර්මයද, සුදුසු පරිදි අර්ථකථාව ඇසුරු කර ගනිමින් දේශනා කිරීම හැර ධර්මාර්ථ විකෘතියක් දැන හෝ නොදැන සිදු නොකරති. තමා අන්‍යයන්ට වඩා හීනය හෝ උසස්ය යන හැඟීම් ඇතිවූ විට ඊර්ෂ්‍යාව හෝ මසුරුකම හට ගනී. සම ලෙස සිතන්නට පුරුදු වීමෙන් නිහතමානීකම වැඩිහිටි ගෞරවය ආදී යහගුණ මැකී යයි. රහතන් වහන්සේලා ‘විධාසු න විකම්පන්ති’ යැයි වදාළ පරිදි ත්‍රිවිධ මානයන්ට පත් නොවෙති. එනිසාම ලෝකයේ කිසිම පුද්ගලයෙකු සමඟ සිතිවිල්ලකින් වත් උරණ වීමේ ස්වභාවයක් රහත් මුනිවරුන්ට නැත. ඒ උතුමන් වහන්සේලා පා තබන භූමිය පවා පරම පාරිශුද්ධ වන්නේ එබැවිනි.

නැති ගුණ හුවා දැක්වීම පුහුදුන් ගතියකි. එහෙත් රහතන් වහන්සේලා ඇති ගුණයන් ද සඟවා ගන්නේ ගුණය විෂයෙහි පවා අල්පේච්ඡ වන බැවිනි.

පඤ්චස්ඛන්ධයෙහි හෝ කාලත්‍රයෙහි හෝ භවත්‍රයෙහි හෝ තෘෂ්ණා දෘෂ්ඨි බැඳීම් නැති රහත් උතුමෝ ද නිවන් රස විඳීන ලද මගඵල ලාභීහු ද ලොව වෙසෙනා පරම අහිංසකයෝ වෙති. යමෙකු විසින් ඒ අවිහිංසා ගුණය නිවට නියාලු කමක් ලෙස සලකන්නේ නම් හෝ , තමා කෙරෙහි එළවා මවා දක්වන්නේ නම් හෝ විපාක අවස්ථාව අතිශයින් බිහිසුණු වනු ඇත.