Print this Article


කතාවෙන් සහ හැඩරුවින් පමණක් මිනිසා යහපත් නොවේ

කතාවෙන් සහ හැඩරුවින් පමණක් මිනිසා යහපත් නොවේ

වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාමය පලල්ල ශ්‍රී නිදංගලාරාමය,
ජඹුරේගොඩ ශ්‍රී බෝධිරුක්ඛාරාමය යන විහාරත්‍රයාධිපති
කනංකේ රාජමහා විහාර පරිවේණාධිපති
වැලිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක
ශාස්ත්‍රපති
කැටවල ඉන්දසාර හිමි

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

වාක්කරණ මත්තෙන
වණ්ණ පොක්කාර තායවා
සාධු රූපො නරෝ හෝති
ඉස්සුකී මච්ඡරි සඨො

පින්වත්නි,

අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂූන් වහන්සේ පිරිසක් මුල්කරගෙන දේශනා කරන ලද ඉහත ගාථාව ඛුද්දක නිකායට අයත් ධම්ම පදයේ ධම්මට්ඨ වර්ගයේ සඳහන් වෙනවා.

ඊර්ෂ්‍යාව, මසුරුකම හා කපටි අදහස් ඇති පුද්ගලයා මනා රූ සපුවකින් යුත් මිහිරි වචන කතා කරන්නෙකු වුවත් ඔහු යහපත් මිනිසෙකු නොවන බව ඉහත ගාථාවේ සරල අදහසයි. බුදුරජාණන් වහන්සේ වැඩ වසන සමයේ ධර්මධර හා විනයධර මහ තෙරුන් වහන්සේලා දෙනමක් බොහෝ පැවිදි ශිෂ්‍යයන්ට ධර්ම විනය ඉගැන්වූහ. එම ශිෂ්‍යයන්ගෙන්, උන්වහන්සේලා දෙනමට අපමණ ගරු බුහුමන් පුද සත්කාර ලැබෙන්නට විය.

එම ගුරු හිමිවරුන් ලබන පුද සත්කාර ඉවසා සිටිය නොහැකි වූ තවත් පුහුදුන් භික්ෂූන් වහන්සේ දෙනමක් තමන්ට ද ඒවා ලබා ගැනීමේ අදහසින් බුදුරදුන් හමුවීමට ගොස් තමන් වහන්සේ දෙනමට ධර්මය විනය ඉගැන්වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.

ධර්මය හා විනයේ අර්ථ නොදන්නා නමුත් තමන්ට ඒවා මිහිරි ලෙස කීමට හැකි බවත් ගුරුවරයෙකුට අවශ්‍ය මනා රූප විලාසයක් ද තමන්ට තිබෙන බවත් උන්වහන්සේලා බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කළහ. උන්වහන්සේලා දෙනමගේ සිත් තුළ ඇති නරක අදහස් දැනගත් බුදුරජාණන් වහන්සේ ඒ දෙනමට අවවාද වශයෙන් මෙම දහම් ගාථාව හා තවත් ගාථාවක් දේශනා කළහ.

මෙම ගාථාවේ සඳහන් අන්දමට අනුන්ගේ සිත් ඇදී යන මිහිරි වචන භාවිත කරන, එසේම බාහිර අලංකාරයෙන් යුක්ත කෙනෙකු වුවත් ඊර්ෂ්‍යාව, මසුරුකම හා කපටි අදහස් තිබෙන තුරු ඔහු යහපත් පුද්ගලයෙකු නොවේ.

ඔහු යහපත් පුද්ගලයෙකු ලෙස සමාජය මුළා කරන්නෙකි. ඔහුගේ සිත තුළ පවතින අවගුණයන් ඔහුට පමණක් නොව සමාජයට ද අයහපත පිණිසම හේතු වෙයි.

අනුන්ගේ ගුණ, නුවණ හා සැප සම්පත් ඉවසීමට නොහැකි බව ඊර්ෂ්‍යාව යි. එය වර්ධනය වූ විට විවිධ අනර්ථකාරී ක්‍රියාවන්ට යොමු වෙයි. මසුරුකම ද පුද්ගලයාට දෙලොවම පසු තැවීම ඇති කර දෙන අකුසලයකි. මසුරු පුද්ගලයා තමා සතු දෙය ප්‍රයෝජනයට නොගන්නා අතර අන්‍යයන්ට අයිතිවීමටද අකැමැතිවෙයි. අන්සතු දෙය පවා තමා සතු කර ගැනීමට වෙහෙසෙයි.

මසුරු පුද්ගලයෙකුට සසර සුගතිගාමී ජීවිත ලබා ගැනීම අපහසු වෙයි. සිත තුළ වෙනත් අරමුණු තබාගෙන නිවැරැදි පුද්ගලයකු ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටීම කපටිකමයි.

සමාජය මුලා කිරීම සඳහා මිහිරි වචන භාවිතය හා බාහිර පෙනුම ඒ සඳහා ඔහු යොදා ගනියි. එහෙත් දිගින් දිගටම එය කළ නොහැක. ඔහුගේ කපටි අදහස් ප්‍රකට වූ විට සමාජයේ පිළිකුළට භාජනය වෙයි. එසේම කපටි ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාක සසර අපමණ දුක් පීඩාවට පමුණුවයි.

එබැවින් තමාට හා සමාජයට අවැඩ දායක මෙම දුර්ගුණ නැතිකර ගැනීමට කටයුතු කිරීම දෙලොවටම වැඩදායක වෙයි. මනස පිරිසුදුව තබා ගැනීම තුළින් පමණක් යහපත් පුද්ගලයකු වන අතර එය උතුම් නිවන් සුව අවබෝධ කර ගැනීමට මහෝපකාරී වෙයි.

ඔබ සැමට තෙරුවන් සරණයි!