Print this Article


උපදේශාත්මක බණ කතා සාහිත්‍යය 03 : අප්‍රමාණ වූ දහම් රසය

අප්‍රමාණ වූ දහම් රසය

මහ වන මැදට පිවිසුණු රජතුමාට විෂඝෝර සතුන් සහ සිවුපාවුන් රාශියක් හමු විය.

වහා ක්‍රියාත්මක වූ ශක්‍ර දේවේන්ද්‍රයා දහම් සොඬ රජතුමා ඉදිරියේ භයංකර රාක්ෂ වේෂයක් ගෙන ගර්ජනා කොට රජතුමා ඉදිරියේ පර්වතයක් ද මවා පෙන්නුම් කළේ ය. සත්‍ය ධර්මය සොයන්නට යන දහම් සොඬ රජතුමා කෲර වූ යක්ෂයාගෙන් හෝ ධර්මය දැනගත හැකි නම් යහපතැයි සිතා ධර්මය තමාට නොවලහා කියවයි ප්‍රකාශ කළේ ය .

බුද්ධ භාෂිත නම් වූ ධර්ම රත්නයට සමාන වෙනත් රත්නයක් නැති බවත්, එම ධර්ම රත්නයෙන් සුළු කොටසක් තමා දන්නා බවත්, එයින් කොටසක් ප්‍රකාශ කිරීමට තමාට ලබාදෙන ලාභය පිළිබඳවත් විමසීය. තමා සතු වස්තු සම්භාරය, තමන් සන්තක නොමැති බැවින් ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරන බවත්, දැන්වීය. රජුගේ ප්‍රකාශය ඇසූ රාක්ෂයා තමා මේ වන විට අධික බඩගින්නේ පෙළෙන බවත්, රජු මරා මිනීමස් කෑමට අවශ්‍ය බවත් ප්‍රකාශ කළේ ය. තමා මළාට පසු ධර්මය දේශනා කරන්නේ කාටදැයි රජු ඇසීය. එවිට අරපේන පර්වතය මුදුනට ඔබ නැගිය යුතු ය. ඔබ මගේ කටට පනින අතර තුර එක බණ පදයක් කියා දෙන බවට පොරොන්දු වෙමි කීය. ඒ ඇසූ රජු තමාගේ ජීවිතය පූජා කර හෝ බණ පදයක් ඇසීමට තීරණය කළේ ය. එදා දහම් සොඬ රජතුමා දහම් පිපාසාවෙන්, ධර්මය වෙනුවෙන් ජීවිතය පූජා කළ ආකාරය හිතා බලන්න. ධර්මයේ ඇති පූජනීයත්වය, වටිනාකම දෙස බලන්න. ධර්මය සොයන ධර්මය පසුපස යමින් ධර්මයට අනුව ජීවත්වන්නන්ට ධර්මයෙන් ලැබෙන ප්‍රයෝජන සිතා බලන්න. 'ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී' යන කියමනට අනුව අද කාලයේ වුව ද ධර්මානුකූලව ජීවත්වන ඕනෑම කෙනෙකුට කරදර සිදු නොවෙයි. ධර්මය අනුව ජීවත් වන්නා සතුරු කරදරවලින් රැකෙයි. ධර්මයෙන් ආරක්ෂා වෙයි. ඔබද යුතු අයුතුකම් හොඳ නොහොඳ පින් පව් ආදී හොඳින් සොයා බලා ඔබගේ ජීවිතය සරු කරගන්න එවිට ඔබ බිය විය යුතු නැත. ධර්මයෙන් ඔබ සුරැකේ. ඔබට මෙලොව පරලොව යහපතක්ම සිදුවෙයි.

පුද්ගලයකුට දැහැමින් ජීවත්වීමට බෞද්ධාගම නමැති ලේබලයම අවශ්‍ය නොවේ. බෞද්ධාගමිකයෙකු නොවුව ද, බුදුදහමෙන් කෙනෙකුට ජීවිතය සාර්ථක කරගත හැකි ය. මිනිසෙකුට පමණක් නොව, අපා, දෙපා, සිව්පා, බහුපා යන ඕනෑම අයෙකුට ජීවත්වීමේ අයිතියක් නිදහසක් ඇත. දෙපා ඇති මිනිසාට අනෙකුත් සතුනට වඩා කල්පනා කිරීමේ හැකියාවක්, බුද්ධියත් හා ප්‍රඥාවක් තිබේ. එසේ නම්, උපන් මිනිසාට බහ තේරෙන වයසට පා තැබූ පසු සමාජයේ හොඳ නරක දෙක හොඳින් දැනෙයි. වැටහෙයි. එවිට ඔහු ආගමක් ඇදහුවත්, නැතත් සමාජයේ පවත්නා සත් සිරිත්, යහ දහම් තම ජීවිතයට එකතු කරගත යුතු වෙයි. ඒවා අනුගමනය කළ යුතු වෙයි. සමාජයේ ප්‍රබුද්ධ මිනිස්සු සතුනට වඩා තමන් උසස් බව පිළිගනිති. කෙදිනක හෝ මියයන බවද, තේරුම් ගනිති. ඒ අනුව ඔවුහු අධ්‍යාත්මිකව පෝෂණය වෙති. ඉගෙන ගන්නා කාලය තුළ හා අධ්‍යාපනයෙන් පසුව වුවද, යහළු මිත්‍රයන්ට මෙන්ම, ගුරුවරුන්ට ගරු බුහුමන් දක්වති. තමන්ගේම නිවසෙහි ජීවත්වන දෙමව්පියන් හොඳින් හඳුනති. ඔවුන්ට උදව් කරති. ඔවුන්ගේ අනුශාසනා පිළිපදිති. තමන් කුමන රැකියාවක් කළත් ඔවුනට ඇප උපස්ථාන කිරීමට කිසිදා අමතක නොකරති. ගරු කරති. තමන්ට ඇති නම්බු ප්‍රශංසා තුළින් මොවුන් ද මනාසේ ඇගයීමට ලක් කරති. තමා වාසය කරන නිවස අසල ජීවත්වන අයෙකුට උදව් උපකාර කරති. ඔවුනට හිරිහැරයක් නොවන සේ ජීවත්වෙති. රජයේ හෝ පෞද්ගලික අංශයේ හෝ රැකියාවක් කරන අවස්ථාවලදී ද එම ආයතනයේ තමන් හා එකට වැඩ කරන අය සමඟ ද, විනිවිද යන සේ හිතවත්ව, සහයෝගයෙන් ක්‍රියා කරති. ආයතනයේ මෙන්ම ගණුදෙනු කරුවන් සමඟ ද සහයෝගයෙන් වැඩ කරති. සමස්ත වශයෙන් සලකතොත් එම ආයතනයට නැතිවම බැරි පුද්ගලයන් සේ ඇප කැප වී කටයුතු කරති. සේවක තරාතිරම කෙසේ වෙතත් එවැනි පුද්ගලයන්ට ආයතනවල වැඩ කරන හැම දෙනෙක් ම ගරු කරති. සලකති. පිදුම් ලබති. එසේ නම්, ඒ පුද්ගලයා ළඟ තිබිය යුතු යහපත් ධර්මාන්විත වූ දැහැමි ලක්ෂණයයි. ධර්මයට බර ලක්ෂණයයි.

දහම් සොඬ රජතුමා තම ජීවිතය පවා පරදුවට තබා සිදුකළේ කුමක්ද? ලෝකයේත් සමාජයේත් ඉතා අල්ප වශයෙන් පවත්නා ධර්මය සොයා යෑමයි. ධර්මය රජ කරන තැන හොරමැරකම්, දාමරිකකම්, කපටිකම් පළා යයි. අයුතුකම් ගිලිහී යයි. පාප ධර්ම ගිලිහී යයි. ධර්මය ඇති තැන අධර්මය රජ නොකෙරෙයි. එසේ නම් අපි මදක් සිතා බලමු. ධර්මයට ගරු කරමු. ධර්මය වැළඳ ගනිමු. ධර්මය ඇසුරු කරමු. ධර්මය ඇසුරු නොකරන පිරිස ද ධර්මයට යොමු කරවා ගනිමු. සද්ධර්මාලංකාරයට අනුවත්, ධම්ම පදයට අනුවත් සුචරිතයෙහි යෙදී ධර්මයෙහි හැසිරුණොත් මේ සමාජයේ අනුන්ගෙන් පවා කීර්ති ප්‍රශංසා ලබා මෙලොව, පරලොව, දෙලොවහිදීම යහපත, සුවය ලබා ගත හැකි ය. දහමෙහි හැසිරීමට වෙර දරන ඔබ සැමට දහම් සොඬ කතාවෙන් ධර්මයෙහි ඇති වටිනාකම එහි ඇති දුර්ලභ බව මෙයින් පෙන්නුම් කෙරේ. ඔබත් ධර්මයෙහිම හැසිරීමටත්, එයින් මහඟු පළ ප්‍රයෝජන ලබා ගැනීමටත් උත්සාහ වන්න.