Print this Article


සසර තරණය 03 : සිතෙන් හදාගත් වටිනාකම

සසර තරණය 03 :

සිතෙන් හදාගත් වටිනාකම

ලෝකය තුළ වස්තුවත්,දෘෂ්ටියත් දෙකම එකක් විදිහට අපට හම්බවෙන කොට. යම් වස්තුවක් සහ දෘෂ්ටියක් තියෙනවානම්, මේ දෙකම එකම ධර්මයක් හැටියට අපට පෙනෙනවා. අප මෙහෙම කිව්වොත්, තේරුම් ගන්නත් පහසු වෙන්නත් බොහෝ දෙනාට මතක් කරන උදාහරණයක් තමයි, අප රත්තරන් මාලයක් දාගෙන යනකොට, රත්තරන් මාලයකින් ලැබෙන සතුට, සැප අපට ඇඟට දැනෙනවාද? ඒක ඇඟට දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ කොතැනටද? සිතට.

මෙච්චර වටින මාලයක්? එතකොට අප ඒකෙ ආශ්වාදය විඳින්නේ , ඒකේ සතුට විඳින්නේ සම්පූර්ණයෙන් ම මානසික සතුටක්. ඒ මානසික සතුට අපට වස්තුව තුළ තිබී ආ දේ නෙවෙයි. ඒ මානසික සතුට අප සම්පූර්ණයෙන් ම මනස තුළ හදාගත්ත දේ. දෘෂ්ටිය හැටියට දකින්නේ ඒ වටිනාකමක් දෙන තමන්ගේ මනස, ඒකට කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. වස්තුව කියන පැත්තෙන්.

පාර අයිනේ යන මනුස්සයෙක් වැටිලා තියෙන වැල් කෑල්ලක්, අරගෙන කරේ දාගන්නවා. අප ඒ මනුස්සයට කියනවා පිස්සෙක් කියලා. ඇයි? නොවටින දෙයක් අරගෙන කරේ දාගත්තා. පින්වතුනි, ඒක අපට වටින්නේ නැති වුණාට ඒ මනුස්සයට ඒක වටිනවානේ? එහෙම නෙවෙයි ද? ඒ මනුස්සයට ඒ දේ වටිනවා. ගන්න ගියොත් බණින්නේ, ගහන්නේ නැති වෙයි ද? බණිනවා, ගහනවා. අපේ මාලය ගන්න ගියොත් බණින්න, ගහන්නේ නැති වෙයිද? අපත් ඒ දේ ම කරනවා. මේ වටිනකම , දකිනකම දෙන්නටම එක සමාන යි. හැබැයි, පුංචි වෙනසක් තියෙනවා, එච්චරයි. එයා ලෝක සම්මතයට එකඟ නැහැ. අප ලෝක සම්මතයට යටත් වෙලා ඉන්නවා. එපමණයි වෙනස තියෙන්නේ. හැබැයි, බාහිර වස්තුවේ වටිනාකම දකින මනස මේ දෙන්නටම එකම ස්වභාවයක් තියෙන්නේ.

පින්වතුනි, අද ඔක්කොම රත්තරන් මාල පළඳින නිසා ප්‍රශ්නයක් නැහැ. හැබැයි, හෙට වෙනකොට ඔක්කොම වැල් කෑලි කරේ දාගන්න අය වෙලා, අප විතරක් මාලය දාගත්තොත්, අන්න එදාට අප පිස්සෙක් වෙනවා. ඒක නතර වෙන්නේ නැහැ. හේතුව තමයි වටිනකම තිබුණේ කවදාකවත් වස්තුව පැත්තේ නෙවෙයි. වටිනකම තියෙන්නේ ඒ ඒ අයගේ චේතනාවේ. නැතිනම්, මනසිකාරය පැත්තෙන් හදාගන්න දේ යි.

අප දන්නවා රුපියල් පන්දාහේ කොළයක් වටිනවා. ඒකෙන් කරන්න පුළුවන් වැඩ බොහොමයක් තියෙනවා. අප හිතනවා වටිනකම තියෙන්නේ මේ පන්දාහේ මුදල් කොළය ඇතුළේ කියලා. මේ පන්දාහේ කොළය වටින්නේ කියලා. කඩදාසි කොළයක කිසිම වටිනාකමක් නැති බව අප හොඳට ම දන්නවා. ඒ කඩදාසි කොළ පාර අයිනේ වැටිලා තිබුණොත්, ඇහිඳ, ඇහිඳ යන මනුස්සයාට අප පිස්සෙක් කියලා කියනවා. හැබැයි, පන්දාහේ මුදල් කොළ ටිකක් වැටිලා තිබුණොත්, ඒක ඇහින්දට පිස්සෙක් කියන්නේ නැහැ. ඇයි? ඒක වටිනවා. ඇත්තටම වටින්නේ, කඩදාසි කොළයද? එහෙම නැත්නම්, ඒකෙ වටිනාකම හඳුනගන සිටින කෙනාගේ මානසික මට්ටමද? මානසික මට්ටම. මොකද? හෙට වෙනකොට රජයෙන් කිව්වොත් සියලුම පන්දාහේ මුදල් කොළ අවලංගුයි කියලා , තව දුරටත් එය වටියිද? තව දුරටත් එය වටින්නේ නැහැ. එහෙමනම් කොළයට නම් වටිනාකම තියෙන්නේ, කාටවත් පුළුවන් වෙයිද, එය නැති කරන්න. කොළය ඇතුළේ තිබ්බොත් වටිනවානේ? කාටවත් බැහැ , ඒක නැති කරන්න. කොළය ඇතුළේ නෙවෙයි වටිනාකම තිබුණේ. වටිනාකම තිබුණේ එක් ,එක් කෙනාගේ මානසික මට්ටමේ. ඒකට දෘෂ්ටිය කියලා කිව්වොත්, අන්න ඒ මානසික පැත්තෙන්, මනස තුළ හදාගත්ත දේට බාහිර තියෙන අනාක්ෂව දෙයට කිව්වා වස්තුව කියලා. වස්තුව යි, දෘෂ්ටියයි එකතු වුණාට පස්සේ මොකද, වෙන්නේ?

අපට පෙනෙනවා, බොහොම වටිනා වස්තුවක්. දැන් , අප එහි ඇලෙනවා. ඒ ඇලීමට සාධාරණව සාපේක්ෂව අපට ලෝකය තුළ ඕනතරම් ගැටෙන්න පුළුවන්කමක් හදා ගන්නවා. දැන්, ඇලීම සහ ගැටීම කියන එක ලෝකය තුළ අප හදා ගත්තා. කොහොමද? අප මානසික පැත්තෙන් ඇති කරගත්ත ටික දැක්කේ නැහැ. බාහිර තියෙන යථාර්ථය දැක්කේ නැහැ. නොදන්නාකම නිසා. මේ දෙකම එකම තැනකින් අල්ලාගෙන අප වටිනාකම සහිත ලෝකය අද දවසේ දී හොයනවා. විඳිනවා. පින්වතුනි, හිතලා බලන්න, ඔය කියපු උදාහරණයත් එක්කම අපේ ජීවිතයේ හැම තැනකම අප කොටුවෙලා ඉන්නේ ඔන්න ඔය රවුමට.