Print this Article


අතට ගත් දේ හැර දමා හිතට ගත් දේ රැගෙන යනවා

අතට ගත් දේ හැර දමා හිතට ගත් දේ රැගෙන යනවා

මේ මහා දිග සසර ගමන කොහෙන් පටන් ගත්තා ද? කොහොම කෙළවර කරන්න ද? මෙතරම් කාලයක් ඉපදී ඉපදී ආ මේ සසර ගමනේ මොනව ද අරගෙන ආවේ. අතට ගත් යමක් තියෙනවා ද? හිතට ගත් දේ විතරනේ අරගෙන ආවේ. අපට ලස්සන හිතක් තියෙනවනම්, කොච්චර වටිනවා ද?

නිසල විලක් කියන්නේ සෙලවෙන්නේ නැති විලක්. අපේ හදවත නිසල විලක් කරගනිමු. ගොහොරු මඩේ නෙළුම්, මානෙල් මල් පිපෙනවා. ඒත් නෙළුම් මානෙල් මල් පිපෙන්නත් සුදුසු මඩ වගුරක් තියෙන්න ඕනෑ. නේද? මලකඩ වතුර පිරුණ මඩ ගොහොරුවක ලස්සන නෙළුම් මානෙල් මල් පිපෙනවා ද? අපේ බුදුහාමුදුරුවෝ නිසල විලක්නේ. එක පහනකින් පහන් සියයක් දැල්වූවත් ඒ පහන නිවෙනව ද? ඔබේ හද මඬල නමැති නිසල විලේ නෙළුම් මානෙල් වගේ මල් පිපෙන්න ඉඩ හරින්න. ඒ මල් මොනව ද පින්වතුනේ. අරි අටඟි මගනේ. එපා ලෝකය දිහා නපුරෙන් බලන්න. බුදුහාමුදුරුවන්ට ඔබේ හදවතේ ඉඩ දෙන්න.

මතකයි එදා කදිර මිගර ජාතකය. කදිර මිගර සිටුතුමා හුඟක් කැමතියි. දන් පින් කරන්න. දවසක් පසේ බුදුහාමුදුරු නමක් කදිර මිගර සිටු මාලිගයට දනකට වඩිනවා. කදිර මිගර සිටුතුමාට හරිම සතුටුයි, දානය පිළිගන්වන්න. පසේ බුදුහාමුදුරුවනුත් දන් ශාලාවේ බලාගෙන ඉන්නවා දානය පිළිගන්න.

ඔන්න මාරයා කදිර මිගර සිටුමාලිගයේ දන් ශාලාවට පැමිණියා. මහා ගිනි ජාලාවක් දන් ශාලාව මැදින් ඇවිලෙනවා. අනේ පසේ බුදුහාමුදුරුවන්ට දානය පිළිගන්වන්න. විදිහක් නැහැ මිගර සිටුතුමාට. සිටුතුමා උත්සාහය අත් ඇරියේ නැහැ. මොන තරම් ගිනි ජාලාවක් තිබුණත් මගේ මුළු ඇඟම දැවිලා අළුවෙලා ගියත් මේ ගිනි මැලය මැදින් ගොස් මම දානය පිළිගන්වනවාමයි කියලා එකම අධිෂ්ඨානයකින් ගිනිමැලයට පැන්න නේ. බලන්න හොඳ දෙයක් කරන කොට මොනතරම් බාධක පැමිණෙන්නේ ද? ඒ වුණත් නිසල විලක් වගේ හදවතේ අධිෂ්ඨානය ජය ගන්නව නේ. හරි පුදුමයි. ගිනි මැලය මැදට කදිර මිගර සිටුතුමා පැන්න ගමන් ගිනි මැලය නිවී ගියා. මොනතරම් බාධක ආවත් උත්සාහය අත් නොහරින ඇත්තා ජයගන්නවනේ. යහපත් සිතිවිලි මොන තරම් බාධක ආවත් පරදවන්න බැහැ.

ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ එක ආත්මෙකින් නොවෙයි සසර දුක වටහා ගත්තේ. මොන තරම් දුක් වින්ද ද අපට සසර දුක, සංසාර බිය වටහලා දෙන්න ඔබවහන්සේ මොන තරම් සසරේ දුක් විඳින්න ඇති ද? ඒත් ඒ එක ආත්මෙකදිවත් ඔබ වහන්සේගේ හදාගත්තු හිත වෙනස් වුණේ නැහැ. ස්වාමිනි, එහෙම උත්සාහය අත් ඇරියානම් අද මෙතරමින්වත් සැනසිල්ල ලැබෙනවා ද? ස්වාමිනි, මිනිසුන් මොන තරම් කුරිරු ද? ස්වාමිනි, මොනතරම් නපුරු ද? ඒත් ඔබ වහන්සේ පිළිගත්තේ නැහැ. අද ලෝකය මොන තරම් දරුණු ද? කුරිරු ද? බොහෝ සිත්වල ම ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම, නපුරු අදහස් පමණයි අද පෙරට එන්නේ. ඔබ වහන්සේගේ බුදු කරුණාව හරි පුදුමයි.

එදා මිනිසෙකුට උදව් කරන්න ගිහින් බෝසත් වඳුරුතුමාණන්ට සිදුවුන විපත මතක ද? ඒත් ඔබ වහන්සේ වෛර කළේ පළි බැන්දේ නැහැ. බුදුහාමුරුවනේ. එදා බෝධිසත්ව පෙරුම් පුරන සමයේ ඔබ වහන්සේ වඳුරු කුලයක ඉපදිලා මහා ඝන වනාන්තරයේ මහ වල ක වැටිලා අතරමං වූ මිනිසෙකුට උදව් කළා. ස්වාමිනි, ඒත් ඒ ගුණමකු මිනිසා මේ බෝසත් වඳුරුතුමාට නින්ද යනකන් ඉඳලා ඔහුට බඩගිනි දැනුනම මේ වඳුරා මරාගෙන කන්න ඕනේ කියලා හිතලා මහ ගලක් අරගෙන බෝසත් වඳුරුතුමාගේ හිසට ගැහුවනේ. අනේ ලේ පෙරාගෙන හිස බදාගත්ත. මේ වඳුරුතුමා ඒත් මේ මිනිසාට වෛර කළේ නැහැනේ. අනේ පව් මේ මිනිසාට බඩගිනි නිසානේ මාව මරාගෙන කන්න හැදුවේ කියලා හිතලා ගහින් ගහට පැන පැන මේ මිනිසාට ගම්මානයකට යන පාරක් පෙන්නුවනේ. හරි පුදුමයි.

ඒත් ඔබ වහන්සේට තිබුණා නේද ස්වාමිනි, මේ නපුරු මිනිසා මහ වනයේ කොටි වලසුන්ට මුණගස්වන්න. ඒත් බුදුහාමුදුරුවනේ, ඔබ වහන්සේගේ හදාගත්තු හිත නපුරු මිනිසෙක් නිසා ඔබ වහන්සේ වනසා ගත්තේ නැහැ. අපිත් නිසල විලක් වගේ අපේ හදවත පිරිසුදු කරගනිමු. අවටින් මොන තරම් කරදර බාධක ආවත් අපේ සිත් අපි පරිස්සම් කරගනිමු. එතකොට අපේ හදවත්වලින් අපේ බුදුහාමුදුරුවෝ ඉවත් වෙන්නේ නැහැ. නිසල විලක පිපුණ නෙළුම්, මානෙල් මල් වගේ ලොවට ම සුවඳ හමන ජීවිත ගොඩනගා ගැනීමට ඔබටත් වාසනාව ලැබේවා!