Print this Article


යොවුන් දහම් සක්මන 10 වන දා

යොවුන් දහම් සක්මන 10 වන දා

“යොවුන් දහම් සක්මන” නම් වූ තාරුණ්‍යයේ දහම් වැඩසටහන සිව්වන වරටත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වී ඇත. පුහු ආටෝපයන්ගෙන් තරුණ සිත් වෙලා ඇද බැඳ තබාගෙන තරුණ සිතිවිලි, ආකල්ප වෙනස්කරනා ලෝකයක දහමේ සැබෑ අරුත වටහා දෙමින් සදහම් මග යමින් තම ජීවිතය දිනන්නට උත්සාහවත් කර තරුණ පරපුර දිරිගැන්වීම සහ දැනුවත් කිරීම උදෙසා 2016, 2017 සහ 2018 වසර වල දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් යොවුන් දහම් සක්මන පැවැත්විණි.

එම වැඩසටහන් ත්‍රිත්වයේදීම නිවැරැදිව තෙරුවන් සරණ යන ආකාරය, පාප මිත්‍රයන් බැහැර කොට කල්‍යාණමිත්‍ර සත්පුරුෂයින් හඳුනාගන්නා ආකාරය, සත්පුරුෂයින් ඇසුරු කරමින් ගුණධර්ම දියුණු කරගන්නා ආකාරය මෙන්ම නූතන තාක්ෂණය අන්ධානුකරණයෙන් භාවිත නොකොට සිහිනුවණින් නිවැරැදිව පරිහරණය කිරීමේ වැදගත්කම, වංචනික ව්‍යාපාර නිසා තරුණ ජීවිත විනාශ වන ආකාරය යනාදී වශයෙන් මෙලොව පරලොව දෙලොවටම වටිනා ඔවදන් රැසක් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් පැමිණි තරුණ පරපුරට පහදා දෙමින් පුරා හෝරා කිහිපයක් සදහම් අනුශාසනා සිදු කෙරිණි. මෙවර ‘යොවුන් දහම් සක්මන’ සදහම් වැඩසටහන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පෙබරවාරි 10 වන ඉරිදා ප.ව. 1.00 සිට ප.ව. 6.00 දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

එදින වැඩසටහනේ දී, බුද්ධ වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සූත්‍ර සජ්ඣායනා මෙන්ම නිර්මාණාත්මක ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන් සඳහා ද සම්බන්ධ විය හැකි අතර තරුණ ඔබේ ගැටලුවලට ඒ මොහොතේම ධර්මානුකූල පිළිතුරු ලබාගැනීමට ද අවස්ථාව ලැබේ. පැමිණෙන සියලු යොවුන් දරුවන් සඳහා කෙටි ආහාර පාන, දන්සල් සංවිධානය කොට ඇති අතර වටිනා සදහම් තිළිණ ද එහිදී බෙදා දෙනු ලැබේ.