Print this Article


පහන් සිතක කවි

කුළඟන සමිතිය

දෙව් බඹු පුදන සුරකින නිරතුරු කවදත්
දැකුමට නිවන් මඟ බුදුහිමි දෙසූ හරවත්
පින්කෙත මලියදෙව් හිමි වැඩසිටි අරහත්
කුළඟන සමිතියට ඇත මුල්තැන නැණවත්

පින් ලැදි දැහැමි දනහට යහගුණ බෙදමින්
අබිමානයෙන් වුණ පුදබිම තුළ දිලෙමින්
ඔබ යන ගමන කෙළවර මොක්සුව සොයමින්
නිම කළ හැකිය මතු මෙත් බුදු හිමි දැකුමින්

****

දුක

වාරු නෑ දෙපා යුග
නිදි බරයි දෙනෙත් අග
හිස බරයි මාගේ ඇඟ
වේදනාවයි දෙඅත් යුග

ගෙවමින් සසර දුර කතර
ඇති ඇති ආවා මේ දුර
රසයෙන් චතු මධුර
වඩමි සති පටන සතර

****

මරණානුස්මෘතිය

බුදු වදන සිහි වෙනවා මරණස්මුතිය වඩනවා
නෑ සියන් දුක් වෙනවා හුස්ම අපහසු වෙනවා
පපුව තද වෙනවා දෙනෙත් හෙමිහිට පියවෙනවා
සියල්ල අත් හරිනවා ගත නිසොල්මන් වෙනවා
සදා නින්දට යනවා ඈතට ඈතට ඇදී යනවා

****

රාගය

රාගය මහ ගිනි මැළයක්
ඇවිලුණු සඳ බැහැ නිවුමක්
සිත් සරසා විඳ වෙහෙසක්
කරලමු සීතල ගඟුලක්