Print this Article


රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

රත්නපුර රද්දැල්ල පල්ලෙභාගේ චන්දනහාමි රෙජිස්ටාර් රාළහාමි සහ පතිරන්නැහේලාගේ රන්මැණිකේ දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස 1909 ජනවාරි 12 වන දා උපත ලද කුමරු පොඩි මහත්මයා නම් විය.

එම පින්වත් කුමරු කරන්ගොඩ විද්‍යාලයෙන් සහ එල්ලාවල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අමුහේන්කන්ද සිරිවිමලාරාමයේ දී 1925 අප්‍රේල් 23 වනදා පැවිදි දිවියට ඇතුළත් විය. උන්දුරුගොඩ සුමනසාර නාහිමියන් සහ ගොඩිගමුවේ විමලසාර නාහිමියන් උන්වහන්සේගේ ආචාර්යෝත්තමයන් වහන්සේලා වූහ.1928 දී කෝට්ටේ සිරිමංගල උපෝසථාගාරයේදී අධිසිල් ලැබූහ. වලානේ සිරි සිද්ධත්ථාරාමයේ දී කිරුළපණේ ශ්‍රී විමල අනුනාහිමියන් වෙතින් මූලික අධ්‍යාපනය ලබා 1927 දී කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත්ව පළන්නොරුවේ විමලධම්ම නාහිමියන් වෙතින් අධ්‍යාපනය ලැබූහ. 1936 දී ශ්‍යාමරාජ ත්‍යාගය ද දිනාගත් උන්වහන්සේ 1941 දී රාජකීය පණ්ඩිත උපාධිය ලැබූහ. 1944 දී විද්‍යා විශාරද උපාධිය හිමිකරගත් රද්දැල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවෝ 1962 දී ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්හ.

මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයට එක්ව අධ්‍යාපන සේවය ඇරැඹු උන්වහන්සේ රත්මලාන පරිවේනාචාර්ය අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස ද, කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනෙහි පරිවෙනාධිපතින් වහන්සේ ලෙස ද අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ පීඨාධිපති වශයෙන් ද උදාර සේවාවක නිරත වූහ.

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ බෞද්ධ උපදේශක මණ්ඩල සාමාජික ධූරය මෙන්ම, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ සාමාජික, කාරක සභික, උප සභාපති ආදී තනතුරු ද, ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සාමාජික ධුරය ආදී ධූරයන් හොබවමින් ඉමහත් මෙහෙවරක නිරත වූහ.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය ධූරයට 1949 දී පත් වූ රද්දැල්ලේ පඤ්ඤාලෝක නායක හාමුදුරුවෝ අනතුරුව සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක පදවියට ද, අනුනායක ධුරයටද පත්ව වෙසෙස් ශාසනික මෙහෙවරෙහි නිරත වූහ. අසූ හතර වසරක් ආයු ශ්‍රී වින්දනය කරමින් වැඩ සිටි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්දර රද්දැල්ලේ පඤ්ඤාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1994 ජනවාරි 20 වන දා අපවත් වී වදාළහ. අනු නාහිමිපාණන් වහන්සේට අමා මහ නිවන් සුව පතමු.