Print this Article


මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි

වසරකට පෙර අපවත් වී වදාළබෙල්ලන්විල රාජමහා විහාරාධිකාරීව වැඩ සිටි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍රධර්ම මහා සංඝ සභාවේ අනුනායක

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි

 


සසුනඹර ඒකාලෝක කළ මහ යතිවරයාණෝ

බෙල්ලන්විල රාජමහා විහාරය, අත්තිඩිය මාලිගාවත්ත පුරාණ විහාරය යන උභය විහාරාධිකාරීව වැඩසිටි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍රධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරීණ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණෝ අධ්‍යතන සම්බුද්ධ ශාසනාම්බරය ඒකාලෝක කළ මහා යතිවරයාණන් වහන්සේ නමකි.

බෙල්ලන්විල රාජමහා විහාරය, අත්තිඩිය මාලිගාවත්තේ පුරාණ විහාරය සහ දිවුල්පිටිය ශ්‍රී මහා බෝධිරාජාරාමය යන විහාරත්‍රයාධිපතිව වැඩ සිටි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්මමහා සංඝ සභාවේ රත්මලාන පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක බෙල්ලන්විල සෝමරතන නාහිමියන්ගේ සහෝදරයකු වූ ඕමත්තගේ පෝල් පෙරේරා මැතිතුමාගේ සහ පල්ලගේ දෝන බුත්සිලිනා ද සිල්වා මැතිණියගේ සිව්වැනි පුත්‍රයා වශයෙන් 1942 අප්‍රේල් මස 14 වන සිංහල අවුරුදු දා උපත ලද අනුනාහිමිපාණෝ 1956 වසරෙහි දී බෙල්ලන්විල බුද්ධරතන නමින් බෙල්ලන්විල සෝමරතන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත් වූහ. ඉන් පෙර ද එම පවුලේ වැඩිමහල් දරුවෙකු පැවිදි කරවීමට සෝමරතන නා හිමියන් කටයුතු කළ අතර උන්වහන්සේ නම් වර්තමාන බෙල්ලන්විල රාජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණෝ ය.

මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙණ සහ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණින් වර්ග පටිපාටියෙන් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කළ බුද්ධරතන සාමණේර හිමියෝ බෙල්ලන්විල විමලරතන නමින් කෝට්ටේ රාජමහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාවට පත්වූහ. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලබා පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙණෙහි සහ රත්මලාන පරමධම්චේතිය පිරිවෙණෙහි පරිවේණාධිපති ධූරයන් ද රත්මලාන පාරිවේණික ගුරු අභ්‍යාස විද්‍යාලයාධිපති පදවිය ද හෙබවූහ.

නැවතවරක් ශාස්ත්‍රොද්ග්‍රහණයට යොමුව විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධියත්, මහා බ්‍රිතාන්‍යයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් හිමිකරගත් අනුනාහිමිපාණෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයෙහි කථිකාචාර්ය පදවියකට පත්ව අනුක්‍රමිකව මහාචාර්ය ධූරය දක්වා උසස්වීම් ලබා විශ්‍රාම ලැබීමෙන් පසු කුලපති පදවියෙන් සම්මානිත වූ හ.

බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක කටයුතුවලට නිබඳ සවියක් වූ අනුනාහිමිපාණෝ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය සහ අත්තිඩිය මාලිගාවත්ත පුරාණ විහාරස්ථානයෙහි සියලු කුදුමහත් කටයුතු සඳහා දායකත්වය ලබා දුන්හ. එකී කටයුතුවල මතු පැවැත්ම පිණිස ශාස්ත්‍රපති බොරලැස්ගමුවේ පේමරතන හිමි සහ ආචාර්ය උඩුගම්පොල හේමරතන හිමි යන ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා දෙනමක් ඇති කළහ. බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය හා බැඳුණු සියලු කටයුතුවල නියමුවාණන් වූයේ අනුනාහිමිපාණන් වහන්සේ ය. විහාරස්ථ ශ්‍රී බෝධිරාජ දහම් පාසල, දායක සභාව ඇතුළු සමිති සමාගම්වල කටයුතු ද විහාරස්ථානය හා සබැඳි ආගමික කටයුතු මැනවින් හැසිරවීම ද අනුනාහිමිපාණන් වහන්සේ සිදු කළහ.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රධර්ම මහා සංඝ සභාව, බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය, විශ්වවිද්‍යාල පාලක සභා, ජාත්‍යන්තර තලයේ බෞද්ධ සංවිධාන ආදියට ද තම දායකත්වය ලබා දුන් අතර ශාස්ත්‍රීය පොත්, ලේඛන, පුවත්පත් ලිපි සම්පාදනය කළහ.

2018 වසරේ පෙබරවාරි මස 2 වන දින පෙරවරුවේ විහාරස්ථානයෙහි සිටින මියන් කුමාර ඇත් පැටවාට ආහාර ලබාදීමට යාමේ දී සිදු වූ හදිසි අනතුරකින් පසු රෝහල් ගත කොට ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු ඇති වූ හෘදයාබාධයකින් පෙබරවාරි මස 3 වන දා අපවත් වී වදාළහ. ශ්‍රී දේහය පිළිබඳ ආදාහන කටයුතු පෙබරවාරි 8 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී සිදු කෙරුණි.


දෙස් විදෙස් පතළ පඬිරුවන

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් මෙය කියවන පාඨකයන්ට හඳුන්වාදීමට අවශ්‍ය නැති බව දැන දැනම මම මෙසේ ලියමි.

එක්දාස් නමසිය අසූහතර වර්ෂයේ අපගේ ගුරුදේවයන් වහන්සේ අපවත්වීමෙන් පසු මා විහාරාධිපති ධූරයට පත් වූ අතර වැඩිපුර සිංගප්පූරුවේ වාසය කළ මගේ ධූරයේ සියලු වැඩ ආවරණය කළේ විමලරතන හිමියෝ ය.

බෙල්ලන්විල වැනි කාර්යබහුල විහාරස්ථානයක හිඳ පෙරහර පවත්වමින්, දානමාන බණ පිරිත්වලට වඩිමින්, රට රටවල සම්මන්ත්‍රණවලට සහභාගී වෙමින්, විශ්වවිද්‍යාලයේ උගන්වමින්, සංඝ සභාවේ සියලු කටයුතුවලට සක්‍රීයව දායක වෙමින්, ඒ අතර පොත පත ද ලියමින් කළ සේවාව මහඟු එකකි.

ලංකාවේ වැඩසිටිමින් විදෙස් ලෝකයා සමගත් සම්බන්ධතාවක් පවත්වමින් උන්වහන්සේ ගෙනගිය මෙහෙවර අපූර්ව බව කවුරුත් පිළිගන්නා දෙයකි.

ලෝ දහම්හි අනියත බව පසක් කරමින් පසුගිය වසරේ අදවන් දිනක අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන මගේ සොහොයුරාණන් අනුස්මරණය කරනු පිණිස අපගේ ශිෂ්‍යයන් හා දායක කාරකාදීන් විසින් කරනු ලබන පින් බෙලෙන් නිවන් සුව අත්කරගනිත්වායි පතමි.


මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ගුණසමරු වැඩසටහන් මාලාව


බුදුවරු සහ බෝසත්වරු ග්‍රන්ථය පිළිගැන්වූ දා ...

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක මාහිමියන් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයට වැඩම කළ අවස්ථාවක්. එවකට අනුනායක ධුරන්ධරව වැඩ විසූ ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නාහිමියෝ ද මෙහි වෙති.

බෙල්ලන්විල ශ්‍රී විමලරතන අනුනාහිමියන් ස්වකීය පෞද්ගලික වියදමින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ විහාරස්ථානයකට ධර්මශාලා මන්දිරයක් තනවා විවෘත කළ අවස්ථාව

බෙල්ලන්විල විහාර භූමියේ රුක් රෝපණය කරමින් ...

ජනවාරි 20 දුරුතු පුන් පෝදා

ඉන්දීය විශේෂඥ වෛද්‍යවරුන් විසින් අනුනාහිමියන්ට උපහාර පිණිස බෙල්ලන්විල රාජමහා විහාරයේ දී පැවැත් වූ වෛද්‍ය සායනය

පෙබරවාරි 02 සෙනසුරාදා

බොරලැස්ගමුව මංසන්ධියේ සිට බෙල්ලන්තර හන්දිය දක්වා දිවෙන මාර්ගය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි මාවත ලෙසින් නම් කිරීම.

අඩු ආදායම්ලාභී පවුලකට නිවසක් ප්‍රදානය කිරීම – පිළියන්දල දී

රුධිර දාන පුණ්‍ය කර්මය බෙල්ලන්විල රාජමහා විහාරයේ දී

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පවත්වනු ලබන ගුණානුස්මරණ ධර්ම දේශනාව (රාත්‍රී. 7.00 ට)

පෙබරවාරි 03 ඉරිදා

ශතාධික මහාසංඝරත්නය උදෙසා දාන පූජාව

මාර්තු 03 ඉරිදා

මහාචාර්ය අසංග තිලකරත්න සූරීන් විසින් පවත්වන අනුනාහිමි ගුණසමරු

ශාස්ත්‍රීය සංකථනය – බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී

අනුනාහිමියන් විසින් රචනා කරන ලද මෙතෙක් නොපළ ලිපි සංග්‍රහයක් පාලි හා බෞද්ධ අධ්‍යයන ලිපි නමින් කෘතියක් ලෙස එළිදැක්වේ.


විමල රුවනකි සුදුසු නෙළුමකි

හිමි සඳුනි බෙල්ලන්විලින් දිනු සරා සඳ ඔබ වහන්සේම ය
එයින් විහිදුණු එළි දහර සමඟියට නිති අත්වැල් වුණේම ය
ආගමෙන් ජාතියෙන් කුලයෙන් බෙදෙන දැය හිමි එක් කෙළේම ය
දැයේ පෙර මඟ ගමන් කරුවෙක් යළිත් ඒ දැයි සැක සිතේම ය

රජ මහා වෙහෙරකට කොටු වී නොසිට සීමා පැරැණියාවෙන්
අලුත් දැනුමින් අලුත් දැකුමින් පෙරට විත් නව නිමැවියාවෙන්
දැනුම මහිමය වියත් කරමින් ජන සෙතට හුරු සිතැඟියාවෙන්
ලොවේ දන තුඩ තුඩග පුද බිම තැබූවෝ ඔබ දැහැමියාවෙන්

හිමි සඳුන් නැති සඟ සබය අද නො පිරැවිය හැකි හිස්තැනක් ලෙද
පෙනේ අප හට එහෙත් පසුබට නොවී එක් වී සමඟියෙන් හිඳ
මෙලක සුරකින, දහම දුළවන හැම දනන් ගේ දිනිය හැකි හද
දැයේ විරු නයුවකු තැනීමයි සමිඳු හට අප කරන මහ පුද


මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් විසින්

රචනා කරන ලද කෘති

සිංහල බසින් පළ කළ ග්‍රන්ථ

බෞද්ධ සම්ප්‍රදාය හා සංස්කෘතිය (1984)

බුදුදහම සහ වෙනත් ආගම් (1989)

බුදුපිළිම මුද්‍රා සහ ආගම් (1991)

බුද්ධ ප්‍රතිමාව කලාව හා බුදුපිළිමයේ විකාශය (1995)

ලබුගම ලංකානන්ද මාහිමි ධර්ම ශාස්ත්‍රීය සේවය (1996)

බෞද්ධ මහාපුරුෂ සංකල්පය (2000)

ප්‍රඥා පාරමිතා සාහිත්‍යය (2000)

විචාර ලිපි සරණිය (2006)

විචාර ලිපි සරණිය (2006)

බණ දහයක් (2006)

බුදුදහම, සාහිත්‍යය හා කලාව (2006)

බුදුපිළිමයට පෙර බුදු හාමුදුරුවෝ (2010)

බෞද්ධ පුද පූජා සංස්කෘතිය (2013)

බුදුවරු සහ බෝසත්වරු ( 2015 )

බුදුදහම හඳුනා ගැනීම (2016)

බෞද්ධ මූලධර්මවාදය, ප්‍රොතෙස්තන්තවාදය හා අනගාරික ධර්මපාල (2018 – අමුද්‍රිත)

පරිවර්තන ග්‍රන්ථ

අංගුත්තර නිකාය – ප්‍රථම භාගය (1990)

නොසැලෙන මනස (1992)

මිනිසාගේ ආගම් (1999)

ඉංගී‍්‍රසි බසින් පළ කළ ග්‍රන්ථ

Buddhism Society and Enviroment (1989)
The Concept of Great – Man in Buddhist Literature and lconography (1996)
Buddhism among the other Religions (2000)
Essays on facts of Buddhism (2006)