Print this Article


සසරෙන් එතෙර වීමට

සසරෙන් එතෙර වීමට

බුදුරදුන් සමඟ සතුටු සාමීචියේ යෙදුන බ්‍රාහ්මායු සහ සේල යන බ්‍රාහ්මණ දෙපළට “බුද්ධ” යනු කවරෙක්දැයි පහදා දෙන අන්දම හෙළි වේ. ඒ අනුව දත යුතු සියල්ල දැනගත්, පුරුදු කළ යුතු සියලු ධර්ම පුරුදු කළ, ප්‍රහාණය කළ යුතු සියලු කෙලෙස් දුරු කළ නිසා තථාගත බුදුරදුන් “බුද්ධ” නම් වේ. සියලු රාගාදී කෙලෙස්වලින් මිදුණු පිරිසුදු වු සිතක් වේද, උපත සහ මරණය ප්‍රහීණ කළේ ද, සියලු ලෝකෝත්තර ගුණ දම් ඇත්තේ ද, සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය එබඳු උත්තමයෝ බුද්ධ නමින් හැඳින්වෙන බව මජ්ක්‍ධිම නිකායේ සේල සූත්‍රයේ සඳහන් වේ.

බුද්ධ යනු “බුධ” බෝධනේ ධාතුවෙන් නිපන් නාම ප්‍රකෘතියකි. එහි ‘බුධ’ යනු අවබෝධයයි. කුමක් අවබෝධ කළේද යත්, චතුරාර්ය සත්‍ය අවබෝධය ‘බුද්ධ’ නම් වේ. ලොව පවතින සියල්ල හේතු ඵල දහමට අයත්වේ. චතුරාර්ය සත්‍යය තුළ ද අර්ථවත් වන්නේ නිර්මාණවාදී මැවීමක් නොව හේතු ඵල සිද්ධාන්තයයි. දුක්ඛ, සමුදය, නිරෝධ , මග්ග යනු ආර්ය සත්‍යය සතර වේ. දුක්ඛ ආර්ය සත්‍යය ඔස්සේ සංසාරගත සහ සමාජගත දුක ප්‍රකාශ වේ. ජාති, ජරා, ව්‍යාධි, මරණාදි ක්‍රමවලින් ‘දුක’ ඉදිරිපත් වේ. දුක සඳහා හේතුවන දෙය දුක්ඛ දමුදය ආර්ය සත්‍යය තුළින් ප්‍රකාශ වේ. දුකට හේතුව තණ්හාව වේ. දුක්ඛ නිරෝධ සත්‍ය තුළ තෙවනුව ඉදිරිපත් වන්නේ ‘දුක’ නැති කිරීම නම් වූ ‘නිවන’ යි. එය බුදු දහමේ පරම නිෂ්ටාව වේ. නිවන අවබෝධ කරගත හැකි, ඒකායන මාවත දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදා ආර්ය සත්‍යයෙන් ප්‍රකාශ වේ. එනම් සම්මා දිට්ඨි (නිවැරැදි දැකීම) ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගය වේ. මෙය බුදු දහමේ සඳහන් මධ්‍යම ප්‍රතිපදාව වේ.

ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරන්නා විසින් සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව සම්පූර්ණ කරනු ලැබේ. කායික සහ වාචික සංවරය “සීලය” නම් වේ. සිල් දම් පුරන්නා ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර යන කායික දුශ්චරිතවලින් මිදෙයි. බොරුව, කේලම , පරුෂ වචන සහ හිස්වචන යන වචී දුශ්චරිතවලින් ද මිදෙන පුද්ගලයාගේ වත් පිළිවෙත් සමුදාය සීලය ලෙස අර්ථවත් වේ. ඒ නිසාම සිතේ එකඟකම නම් වූ උත්තම සමාධිය ද,අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකින ප්‍රඥා ප්‍රතිලාභය ද සඵල කර ගැනීමට ආර්ය සත්‍ය සතර උපකාරි වේ.

බෞද්ධ ජනතාවට ශ්‍රද්ධාව පෙරදැරිකරගෙන තිසරණගතව අවම වශයෙන් පංචසීල ප්‍රතිපදාව සමාදන් වී එයට අනුරූපීව ජීවත්වීම තුළින් පවා බුදු දහමේ වටිනා හර පද්ධතිය ආරක්ෂා කරගත හැකි ය. බුදුරදුන් සිහිකරන පුද්ගලයාට නිතර කුසල සිතිවිලි පහළ වේ. ඒ නිසා නිතර හෙතෙම උපේක්ෂා සහගතව හෙවත් මධ්‍යස්ථව සියල්ල විඳ දරා ගැනීමට සමත් වේ. ලාභ,අලාභ,අයස, යස, නින්දා, ප්‍රශංසා, සැප, දුක යන අටලෝ දහමෙන් අකම්පිතව තාදි ගුණයෙන් පිරිපුන් අයෙකු ලෙස සමාජය තුළ ජීවත්වීමට අවශ්‍ය පසුබිම සකස් වූයේ සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය ඇසුරු කිරීම නිසාවෙනි.

එහෙත් එම ධර්මය ශාන්ත වේ. ප්‍රණීත වේ. නිපුණ ය. තර්කයට හසු නොවේ. බුද්ධියට විෂය වේ. ප්‍රඥාවට හසු වේ. මෙම පණ්ඩිත වේදනීය ධර්මය බුදු මුවින් දේශනා කරද්දී බොහෝ සත්වයෝ එහි හරය වටහා ගත්හ. මජ්ක්‍ධිම නිකායේ අරියපරියේෂණ සූත්‍රය සඳහන් කරන අන්දමට බුදුරදුන්ගේ විශිෂ්ට බුද්ධි ඥානයට පර්යේෂණ ක්‍රම දෙකක් ඉලක්ක විය.

1. ආර්ය පර්යේෂණය

2. අනාර්ය පර්යේෂණය යනුවෙනි.

මෙලොව ජීවත්වන ඇතැමෙක් ජාති ( ඉපදීම) ස්වභාව කොට ඇත්තේ යළි යළිත් ජාති (ඉපදීමම) ධර්මයම සොයමින් වාසය කරයි. ජරා (මහලු බව) ව්‍යාධි (රෝග) මරණ ආදිය ස්වභාව කොට පවත්නේ ඒවා ම සොයමින් ඒ මත්තෙහි ම ඇලී ගැලී වාසය කිරීමට කල්පනා කරයි. එය අනාර්ය පර්යේෂණ නම් වේ.

සම්බුදු දහම් මග තුළ අනාර්ය පර්යේෂණ නිෂ්ප්‍රභ වී ආර්ය පර්යේෂණ ඉස්මතු විය. මෙලොව ඇතැමෙක් ජරා ධර්ම (මහලුවීම) ස්වභාවකොට ඇත්තේ ඉපදීමේ (ජාති) ආදීනව දැක, යළි ඉපදීමක් නැති, යළි මරණයක් නොමැති අනුත්තර වූ අජර අමර නිර්වාණ ප්‍රතිපදාව සොයයි ද, එම මාවත ආර්ය පර්යේෂණ නම් වේ. ලොව මහජනයා ආමිෂ – ප්‍රතිපත්ති පූජාවල නිතරම නිරතව වාසය කරති. ආමිෂ පූජාවෝ ලෞකික ඥාන සාධනයට ද, ප්‍රතිපත්ති පූජාවෝ ලෝකෝත්තර ඥාන සාධනයට ද උපකාරි වෙති.

ශාසනයේ චිර පැවැත්ම ප්‍රතිපත්ති පූජාව තුළම පරිපූර්ණ වේ. බුද්ධ ශාසනයේ නිරත වත් පිළිවෙත් පුරන ගිහි – පැවිදි දෙ පිරිසම ආර්ය ශ්‍රාවක ගණයට අයත් වේ. ධර්මය දන්නා , ධර්මය පිළිපදින, ත්‍රිපිටක දහම යළි යළිත් ගවේෂණය කරන්නා ආර්ය ශ්‍රාවක නමින් හැඳින්වේ. මෙම ආරිය සාවක පිරිස ත්‍රිවිධ රත්නය සරණ පරායණව ශාසනික වත් පිළිවෙත් පුරමින් ශාසනික ප්‍රතිපදාවේ අවංකවම නිරතවෙමින් සංසාරගත දුක්ඛ දෝමනස්සයන් පරාජිත කිරීමට වෑයම් කරති.

චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් සාක්‍යසිංහ බුදුරදුන් අපට ද එම උත්තම දහම අවබෝධය පිණිස දහම් දෙසූ සේක. සංසාරය තරණය කළ තථාගත බුදුරදුන් සසර තරණය පිණිස අමා දොර විවර කළ සේක. සියලු පව් නොකළ යුතු ය.කුසලය ප්‍රගුණ කළ යුතු ය. තම චිත්ත සන්තානය පිවිතුරුව පවත්වා ගත යුතු ය. සියලු බුදුවරුන්ගේ ඒකායන පණිවුඩය පිළිගෙන ජාති, කුල මල භේදයෙන් තොර ප්‍රෞඪ වූ පිරිසක් ලෙස ප්‍රබුද්ධ මනසකින් දිවා – රාත්‍රී විහරණය කිරීමට අධිෂ්ඨාන කර ගත යුතු ය.

භික්ෂු – භික්ෂුණී, උපාසක – උපාසිකා යන සිව් වණක් පිරිස ශාසනයේ භාරකරුවෝ වෙති. දම්වැලක පුරුක් සේ මේ සියලු දෙනා ශාසනික පිළිවෙත් වල නිරත වීම අගය කළ යුතු ය. වර්ෂ දෙදහස් පන්සියය ඉක්ම වු බෞද්ධ ශාසනය ලොව පැරැණිම ආගමික සංස්ථාවලින් එකකි. බෞද්ධ සාහිත්‍යය සූත්‍ර, විනය,අභිධර්මය යන ත්‍රිපිටකය ඇසුරින් පෝෂණය වී තිබේ.

‘අප්පමාදෝ අමතපදං’ යන දේශනා පාඨයට අනුව අප්‍රමාදිව කුසල ධර්ම ප්‍රගුණ කර සංසාර බන්ධනයෙන් නිදහස් වීමට බෞද්ධ ජනතාව බුදු දහමේ හරය දෙසට ගමන් කරති.

යමෙක් තිසරණ ගත වීමෙන් බොදුනුවකු බවට ද, බෞද්ධ උපාසක උපාසිකාවක බවට ද පත්වෙන බව බුදුරදුන් වදාළ සේක. එසේම යමෙක් තිසරණ සහිත පංචසීලය සමාදන් වීමෙන් පිළිවෙත් පුරන උපාසක ගණයට පත් වේ. පංචසීල ප්‍රතිපදාව අර්ථවත් ජීවන මාවතකට ප්‍රවිෂ්ඨ වීමේ ශුභ සංකේතයක් වේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාරය, මුසාවාද සහ සුරාපානය යන සමාජ විරෝධි ක්‍රියාවන්ගෙන් වැළකී පංච සීල ප්‍රතිපදාව පිළිපදින්නේ නම්, රටක ජනතාවක නියම සමෘද්ධිය රැකවරණය සහ අයිතිවාසිකම් සුරක්ෂිත වේ. පංචසීල ප්‍රතිපදාවට ගරු කරන සමාජයක බන්ධනාගාර අවශ්‍ය නොවේ.

සම්මා සම්බුදුරදුන් වදාළ ආර්ය මාවත ඉතා පිරිසුදු එකකි. එය මනසට ගෝචර වන දහමකි. අප විසින් කරන කියන, සිතන, පතන සියලු දේට අපේ සිත, මනස ප්‍රමුඛ වේ. සිත සෑදීමෙන් මිනිසා සෑදේ. මිනිසා සෑදීමෙන් සාධු ජන සමාජයක් රටට පළාතට ගමට උදාවේ. නව අරහාදී බුදු ගුණ වලටත්, ස්වාක්ඛාතාදී දහම් ගුණ හයටත්, සුපටිපන්නාදී සඟ ගුණ නමයටත් යන සුවිසි මහ ගුණයන්ට ගරු කොට ධාර්මික රටක් බිහි කිරීමට ගිහි – පැවිදි සියලු දෙනා කැප විය යුතු කාලය එළඹ තිබේ.

සියලු දේට වඩා මිනිස්කම වටනේ ය. සියලු ලෞකික ධන සම්පත්වලට වඩා ශ්‍රද්ධා ධනය , සීල ධනය, හිරි – ඔත්තප්ප ධන, ශ්‍රැත ධනය, චාග ධනය සහ ප්‍රඥා ධනය යන සප්ත ආර්ය ධනයෙන් සමන්විත වීම වැදගත් වේ. සාරිපුත්ත, මොග්ගල්ලාන, අඤ්ඤා කොණ්ඩඤ්ඤ ආදී මහරහත් පරපුරෙන් පාරම්පරික වැඩ සිටින මහ සඟරුවනේ අනුශාසනා ලබමින් ක්‍රියා කිරීමට ජනතාව අධිෂ්ඨාන කරගත යුතු ය.

ගෞතම බුදුරදුන්ට කරන උසස්ම වන්දනය නම් බුදු සිරිතට අනුව අපේ ජීවිත හැඩ ගස්වා ගැනීම සහ පරාර්ථ චර්යාවේ නිරතවීම වේ.